Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Hena Little Hut

Thangalle road, Devinuwara, Matara


Good place to have a delicious Sri Lankan buffet with a beautiful view.



“මෙහේ කීයටද මන්දා කඩවල් අරින්නෙ. ඇයි අප්ප, දැන් 8ටත් කිට්ටුයි. තාම නෑනෙ කඩයක් සෙට් වුණේ කෑම ටිකක් කන්න”

“ඒකට බලාංකො ලී බඩු කඩයි, හාඩ්වෙයාරුයි නම් උදෙන් ම ඇරලා. අනේ මංදා බං මාර පැති තමයි”

හයිවේ එකෙන් එළියට දාලා මාතර ටවුම පුරා ම රවුම් ගැහුවට අපිට ඒ වෙද්දිවත් හරිහමන් කෑම කඩයක් හොයාගන්න බැරි වුණා. පස්සෙ ඉතින් දෙන්නත් එක්ක හිත හදාගත්තෙ එහෙම්ම හම්බන්තොට පැත්තට ඇදලා බලන්න.

ඒ යනකොට තමයි…

“අර බලංකො අර ප්ලේස් එක. මාර විව් එකක්නෙ බං.” අඩ නින්දෙ වගේ ඉඳපු මාව, මසා ඇහැරෙව්වෙ.

වැඩේ කියන්නෙ මම ඇස් දෙක පාදල පියවි සිහියට එද්දි වාහනේ කඩේ ළඟ නවත්තලත් එක්ක.

“බැහැංකො. මං කියන්න. බලමු ගිහින් මොනවද තියෙන්නෙ කියල. සෙට්වෙන එකක් තිබ්බොත් කමු, නැත්නම් එමු”

මසා කියන කතාවත් ඇත්ත. හොඳ කඩ බලබල ගියොත් කවදාවත් මේ ඒරියල් එකේ කන්න හම්බුවෙන්නෙ නෑ. අනික ඉතින් නවත්තපු ප්ලේස් එකෙත් නරකක් නෑ වගේනෙ.

නෙළුම් විලක් ඉස්මත්තෙ, ඕපන් භෝජනාගාරයක… ඇතුළට ගියාම කියන්නකො දැක්කෙ, උදේ කෑමත් බුෆේ එකක!

අනික කඩේ ඇතුළත් හරි ලස්සනට පිරිසිදුවට තියෙනව. ලී පුටු මේස දාලා, බුෆේ එකටත් මැටි ඇතිලි එහෙම තියල, සර්විස් එකත් නරකම නෑ.

“ම්ම්… චිකන් (රු. 120) තියෙනවද?”

බුෆේ එකේ පේන්න නොතිබුණ නිසා මම නිකමට වගේ එතන ඉඳපු සේවකයගෙන් අැහුවා.

“තියෙනව, බුෆේ එකෙන් (රු. 200) බෙදා ගන්නකො. මම කරියක් මේසෙට එවන්නම්”

“ඕකේ! එහෙනම් තව බුල්සායි එකකුත් (රු. 30) එවන්න” කුස්සියට ඕඩරේ යවපු මම පිඟානක් අරගෙන ලෑස්ති වුණේ කෑම බෙදාගන්න.

ඒත් කොහෙද, තියෙන ජාති ටිකත් එක්ක මොනවද කන්නෙ කියල හිතාගන්න බෑ. ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල මුලින් ම බෙදාගත්ත ඉඳිආප්පයි, පානුයි. ඊට පස්සෙ දාගත්ත කිරි හොදියි, පරිප්පුයි, පොල්සම්බෝලයි, ලූණු තෙල්දාපුවයි. ඒ අතරට හිතාගෙන හිටියෙ මුංඇට ටිකකුත් බෙදාගන්න කියල. කෝ ඒත් පිඟානෙ නෑනෙ ඉඩක්. කරන්න දෙයක් නැති තැන ගත්තා තව පිඟානක්. අරගෙන ඒකට බෙදාගත්ත මුංඇටයි, කට්ට සම්බෝලයි. බෙදාගෙන ඉතින් කිට්ටු කළා ‘මසා’ ඉඳපු මේසෙට. යද්ද එයා රතු බත් කනව. චිකන් කරියත් මේසෙට ඇවිල්ල.

ආයෙ ඉතින් බල බල ඉන්න දෙයක් නෑ කියල චිකන් හොදිත් ඉඳිආප්ප එකට ම බෙදාගත්ත මම පටන් ගත්ත වැඩේ දෙන්න.

සැහ්! මාර කේස් එකනෙ. චිකන් හොද්ද පට්ට අවුල් කියන්නකො. තනිකර ම පහේ අමුයි. අනික තුනපහ දාපු ප්‍රමාණයත් සෑහෙන්න වැඩියි. හරියට රසම් එකක් වගේ. හැබැයි චිකන් කෑල්ල නම් පට්ට රසයි. හොඳ හැටි තුනපහ අල්ලල නිසා තලු මර මර කන්න පුළුවන්. ඊටත් ඒකෙ සැර ගතිය එහෙමත් ගාණටනෙ. හැබැයි චිකන් හොද්දත් එක්ක පරිප්පු, කිරි හොදි කලව්ම වුණාම නම් නියමම ගාණ. ආයෙ, ඉඳිආප්ප දෙසා බාන්න පුළුවන් 20ක් 30ක් වුණත්. අැයි ඉතින් අමුමිරිස් සැරට, තුනපහ පදමට හැදුණු පරිප්පුවයි, මදි නොකියන්න කිරි දාලා හදපු කිරි හොද්දයි, මිරිස් හොදියි එකතු වුණාම… සප්පේ! ඉඳිආප්ප විතරක් නෙවෙයි පාන් වුණත් ලෙසටම නැගල යනව.

එයාලගෙ ලූණු තෙල් දැමුමත් නරකම නෑ. හැබැයි ඒකට කරවල කෑල්ලක්, උම්බලකඩ කෑල්ලක් එහෙම වැටිලා තව ගම්මිරිස් ටිකක් එක්ක එහෙම පදම් වුණා නම් තමයි මරු. කොහොම වුණත් පොල්සම්බෝලෙ තිබ්බා ලෙසට ම. ලුණු ඇඹුල් වගේ ම සැර ගතියත් ගාණට. ඒත් තව කොච්චි කරලකුයි, උම්බලකඩ කෑල්ලකුයි එහෙම ඒකටත් වැටුන නම්… පිස්සු හැදෙනව ඈ.

උගුර ළඟට එනකම්ම පාන් ඉඳිආප්ප කාපු මම ඊළඟට මුංඇට එක ළඟට ගත්තා. අරගෙන කටයි දෙකයි කෑවෙ යාළු කන්වලින් දුම් දැම්මෙ, බුදාප්පෝ… ඒකෙ සැර! පොල්සම්බෝලෙට දාන්න තිබ්බ කොච්චි ටිකත් ඒකට දාලාද කොහෙද. පට්ට සැරයි. හැබැයි ඉතින් රස නම් සුපිරි. එකම අවුල තිබ්බෙ මුංඇට කන්න සම්බෝලෙත් එක්ක පොල් නොතිබ්බ එක තමයි. ඒ නිසා මම චිකන් හොදියි, කිරි හොදියි පදමට ගලපගෙන මුංඇට ටිකත් ඉවර කළා.

ඉවර කරල ඉතින් ප්ලේන්ටියක් එහෙමත් ගහලා තමයි පාරට බැස්සෙ, යන්න කියල. ඒත් ඒ දයියා පාරට නම් යනකනුත් හායි හූයි ගෑවෙන ගාණක් තිබ්බෙ හොඳේ!


TIP

Try Lunch

Have you visited this place?

Write your own review!
Leave a comment