Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Machang (Kaduwela)

No. 27, Kandy Road, Bandarawatte, Biyagama


ගඟක් අයිනට වෙලා රසම රසම බයිට් එකක් නිදහසේ බොන්න කඩුවෙල පැත්තෙන් තැනක් හොයනවා නම් ඒ ඉතිං මචං අවන්හලම තමයි.



මේ දවස්වල එක දිගට වැටෙන වැස්ස නිසා අවන්හල් වලයි බාර් වලයි සෙනඟ පිරිලා. බොන එක නිදහසේ බොන්න ඕන නිසා එහෙම තැනක් ගැන කල්පනා කර කර ඉන්න අතරෙ තමයි මට මතක් වුනේ මචං අවන්හල. පන්නිපිටියේ මචං අවන්හලට මම ගහින් තියෙනවා. ඒක ටිකක් පොඩියිනෙ. අනික තමන්ගෙ පාඩුවෙ‍ ෂොට් එකක් දාන්නත් බෑ. කඩුවෙල මචං එක, කැළණි ගඟ අයිනෙ තියෙන්නෙ. ලොකු මිදුලක් එක්ක තැනින් තැන බංකුත් දාලා තියෙනවා. ඉතින් පටස් ගාලා ෆෝන් එක අතට ගත්ත මම යාළුවෝ කට්ටියට කෝල් කරලා හවස හය වෙන්න කලින් කඩුවෙල මචං එක ළඟට එන්න කිව්වා. මමත් ෂෝර්ටකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන ඉක්මණට ගෙදරින් එළියට බැස්සෙ ඒ වෙන කොටත් වෙලාව පහට කිට්ටු වෙලා තිබුණ නිසා.

වාතාවරණය

කොහොම හරි මම කඩුවෙල මචං එක ළඟට යන කොට යාළුවො දෙන්නත් එතනට ඇවිල්ලා. ඉතිං ‘‘යමං යමං ඇතුලට’’ කියාගෙනම මම යාළුවො දෙන්නත් එක්ක මචං අවන්හල ඇතුලට ගියා. කඩුවෙල මචං අවන්හල තියෙන්නේ හරියටම කඩුවෙල පාලම පහුකරන් බණ්ඩාර වත්ත හංදිය පැත්තට මීටර් සීයක් විතර යනකොට පාරෙන් දකුණු අත පැත්තේ. ඉස්සරහ බිත්තියේ 'මචං කඩුවෙල' කියලා ගහලා තියෙන නිසා ඈත තියාම අඳුන ගන්නත් ලේසියි. අනිත් කාරණය තමයි ලොකු වාහන නවත්වන අංගනයක් තියෙන නිසා කඩුවෙල මචං අවන්හලේ නිතරම වගේ සෙනඟත් පිරිලා ඉන්නවා. ආරක්ෂක නිළධාරියෙකුත් ඉන්න නිසා වාහන අයිතිකරුවන්ට නම් බයවෙන්න දෙයක් නෑ.

කඩුවෙල මචං අවන්හල ස්වභාවිකත්වය හොඳටම එකතු කරලා තමයි හදලා තියෙන්නේ. අවන්හලට ඇතුල්වෙන තැනම තියෙන සිමෙන්ති වලින් හදපු මල් පෝච්චිත් ආරක්කුවත් හරිම ලස්සනයි. අවන්හලේ උද්‍යානය අයිනෙන් ගලාගෙන යන්නෙ කැළණි ගඟ. මේ මචං එකේ නිර්මාණකරුවා නම් කන බොන අය ගැන හොඳට දන්නව වගේ. මොකද සිමෙන්ති මේස, බංකු පහලවක් විස්සක් වුනත් දාන්න ඉඩ තියෙන උද්‍යානයේ ඈතින් ඈතින් මේස පහ හයක් විතර තමයි දාලා තියෙන්නේ. හැබැයි ඒ එක මේසයක හය දෙනෙකුට වාඩිවෙලා කන්න බොන්න ඉඩ තියෙනවා. බොන්න එන කට්ටිය දුරින් දුරින් ඉන්න නිසා සමහර වෙලාවට ඔය ෂොට් එකක් දැම්මාම සිංහයා පපුවට ගහන අය ඇති කරන ගාල ගෝට්ටි අඩුයිනේ. ඒ විතරක් නෙවෙයි, මේ සිමෙන්ති බංකු පේලිය එළිමහනේ තියෙන නිසාත් පැත්තකින් කැළණි ගඟ ගලාගෙන යන නිසාත් හරිම සනීප හුළං පාරක් නිතරම වගේ එනවා.

මිදුලේ කෙලවරකට වෙන්න තමයි අවන්හලේ ඇතුල් කොටස තියෙන්නේ. බාර් එකයි කුස්සියයි එක්ක ලී මේස, බංකු හත අටකුත් දාලා බොන්න හදලා තියෙන කොටසත් එතනම තමයි තියෙන්නේ. තව පූල් සෙල්ලම් කරන්න මේසයකුත් දාලා තියෙනවා. බාර් එක ළඟට වෙන්න උස බංකු ටිකක් දාලා තියෙන්නෙ එක එක අය බොන්න කැමති එක එක විදියට නිසා වෙන්න ඇති. ලොකු උද්‍යානයක් තිබුණත් පොදුවේ ගත්තාම කඩුවෙල මචං අවන්හල හරිම පිරිසිදුයි. විශේෂයෙන්ම කියන්න ඕන, මචං අවන්හලේ පූල් සෙල්ලම් කරන මේසය නම් හරිම කාර්ය බහුලයි. හැමදාම වගේ එන පිරිසක් එතැනට පුරුදු වෙලා ඉන්නවා. මට නම් හිතුනෙ තව පූල් මේසයක් තිබුණ නම් හොඳයි කියලා.

ආහාර සහ සේවාව

අපි ඇවිල්ලා විනාඩි පහක් විතර යනකොට අවන්හලේ සේවකයෙක් ඇවිත් අපි වාඩි වුන මේසය පිහිදලා දීලා ‘‘සර්, මොනවද ගේන්නෙ, බලලා කියන්නකො’’ කියලා අපේ අතට මෙනුවකුත් දුන්නා.

මංච එකේ මෙනුව ඉතින් මම හොඳට හඳුනන නිසා ගත්ත ගමන් ජේ ඇන්ඩ් බී විස්කි මිලි ලීටර් පනහකුයි ගම්ම්රිස් දාලා බැදලා හදපු චිකන් ලිවර් එකකුයි ඇණුවුම් කළා. වැඩේ කියන්නෙ එදා කඩුවෙල මචං එකේ ජේ ඇන්ඩ් බී විස්කි මිලිලීටර් විසි පහක (රු. 450) ගාණටම මිලි ලීටර් පනහක් දෙන විශේෂ වට්ටමක් තිබුණා. ඉතිං මට හරි සතුටුයි. යාළුවෝ දෙන්න නම් ඇණවුම් කලේ ස්ට්‍රෝන්ග් බියර් පිචර් (රු. 800) එකකුයි තම්බපු මඤ්ඤොක්කා එක්ක එන බ්ලැක් පෝර්ක් කරියකුයි (රු. 490). අවාසනාවට වගේ එදත් බ්ලැක් පෝර්ක් කරියට එන තම්බපු මඤ්ඤොක්කා ඉවර වෙලා. තිබුණේ කහ බත් විතරයි. මොනව කරන්නද ඉතින්, කමක් නෑ ගේන්නකෝ කියල යාළුවො දෙන්නා ඒකෙන් එකක් ඇණවුම් කළා.

ඇණවුම් කරපු කෑම බීම ටික අපේ මේසෙට එනකම් ගඟ අයිනේ වැට ළඟට ගියපු අපි පොඩි කතාවක් දාන ගමන් යාළුවෙක් එනකොට ගෙනාපු සිගරට් එකකුත් පත්තු කර ගත්තා. මචං අවන්හල් වල තියෙන්නේ සිගරට් දොළහෙ පෙට්ටි විතරයිනෙ. අනික ඒකෙ ගාණත් ටිකක් වැඩියි. ‘‘බඩු ටික තාම නෑනේ බං, ටිකක් පරක්කුයි වගේ’’ යාළුවෙක් ඇහුවෙ ඒ වෙන කොටත් අපි ඇණවුම් දාලා විනාඩි දහයක් විතර ගිහින්  තිබුණ නිසා. කොහොම හරි විනාඩි පහළවක් විතර යනකොට අපි ඉල්ලපු රට බීම ටිකයි බයිට් පිඟන් දෙකයි මේසෙට ආවා. ඒත් එක්කම වගේ පුංචි බන්දේසිවල දාලා සෝස්, චිලී පේස්ට්, හැඳි, ගෑරප්පු වගේම අයිස් කැට ටිකකුත් මේසෙට ගෙනාපු සේවක මිත‍්‍රයා අපි එක එක්කෙනා ලඟින් පිඟන් තියලා හදලා දුන්නෙ පරක්කුව නිසා හිතේ තිබුණ පුංචි තරහත් හිතෙන් අයින් කරලා.

ම්... බයිට් වල සුවඳ නම් ඉවසන්න බෑ. ඒ මදිවට මගේ ඉස්සරහ තියෙන්නෙ ගම්මිරිස් දාලා බැදලා හදපු චිකන් ලිවර් පිඟාන. තව නම් බල බල ඉන්න දෙයක් නෑ. විස්කි වීදුරුවට අයිස්කැට දෙකක් දාගත්ත මම යාළුවෝ දෙන්නගෙ බියර් වීදුරු වලටත් පුංචි තට්ටුවක් දාන ගමන් 'චියර්ස්' කියලා වැඩේ පටන් ගත්තා. විස්කි උගුරක් කටට හලා ගත්ත මම ගෑරප්පුවෙන් චිකන් ලිවර් කෑල්ලක් අරන් කටේ දාගෙන හෙමිහිට හපන්න පටන් ගත්තා. නියම බයිට් එකක් නෙ. ඩෙවිල් රස මැද්දෙන් හොඳ ගම්මිරිස් සැරකුත් එනවා. ලිවර් කෑලි ටිකත් නියම පදමට බැදිලා. චිකන් ලිවර් වලට ආවේණික රස පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නැති වෙන්න හදලා තිබුණ මේ බයිට් එකට නම් සෝස් වත්  ඕනෙ නෑ. ඒත් හිතට පොඩ්ඩක් දුකයි. මොකද චිකන් ලිවර් එකේ මිලත් එක්ක බැලුවාම බයිට් ප‍්‍රමාණය නම් ටිකක් මදි වගේ. ඊටත් වැඩිය මට දුක හිතුනෙ හැමදාම වගේ යාළුවො දෙන්න මගේ බයිට් පිඟානට අත දානව දැක්කාම.

බ්ලැක් පොර්ක් කරියෙත් රස බලන්න හිතුණ නිසා මම ඌරූ මස් හැඳි දෙක තුනකුයි කහ බත් හැන්දකුයි පිඟානට දාගත්තා. මොකද ආයෙත් පිඟාන යාළුවො ළඟට ගියාම දෙවැනි පාරකට බෙදාගන්න දෙයක් ඉතිරිවෙන්නේ නෑ නෙ. ඉතිරි විස්කි ටිකත් එක උගුරට හලා ගත්ත මම කහ බත් ටිකකුයි ඌරූ මස් කෑලි දෙක තුනකුයි හැන්දට අරගෙන රස බැලුවා. මේක නම් මරු. ගමේ රහට නගරෙ හදන ඌරූ මස් එකක්. තද දුඹුරු පාට ඌරූ මස් කරිය කුළු බඩු රසෙන් නම් කිසිම අඩුවක් නෑ. ඒ වගේම තමයි නියම පදමෙට තියෙන සැර. බයිට් එකට විතරක් නෙවෙයි, මේ වගේ ඌරූ මස් කරියක් එක්ක පාන් ගෙඩියකට වුනත් වග කියන්න පුළුවන්.

විස්කි වීදුරුව හිස් කරපු මම සිගරට් එකකුත් පත්තු කරන් යාළුවො දෙන්නත් එක්ක බර කතාවකට වැටුණා. අපරාදෙ කියන්න බෑ. තව බොන්න මොනව හරි ගේන්න කියලා මම මෙනුව අතට ගන්න කොට යාළුවෙක් කියනවා ‘‘උඹට බයිට් එකකුත් ගෙන්න ගනිං. චිකන් ලිවර් එක ඉවරයි’’ ඕකනෙ අපේ එවුන් එක්ක බොන්න එන්න බැරි. බයිට් එක ඩයට් එක කර ගන්නවනෙ. කමක් නෑ, රෑටත් මෙහෙම්මම කනවා කියල හිතපු මංච ස්පේෂල් ෆ‍්‍රයිඩ් රයිස් (රු. 525) එකකුයි චිකන් ඔම්ලට් (රු. 250) එකකුයි ඇණවුම් කරන්න හිතාගෙන සේවක මිත‍්‍රයා ඉන්නෙ කොහෙද කියලා බැලුවා. අපි ඉන්නෙ ගඟ අයිනෙ නිසා එයාලට අපිව හරියටම පේන්නෙ නෑ. කොහොම හරි විනාඩි දෙක තුනක් බලලා අත වනලා සේවක මිත‍්‍රයාව ගෙන්න ගත්ත මම රෑ කෑම එකයි බයිට් එකයි තව ස්මර්නොෆ් වොඩ්කා මිලි ලීටර් 25කුයි (රු. 350) ගෙන්න කිව්වා.

අද නම් මගේම දවසද කොහෙද. ස්මර්නොෆ් වොඩ්කා වලටත් විශේෂ වට්ටමක්. මිලි ලීටර් විසි පහක මිලටම මිලි ලීටර් පනහක් ලැබෙනවා. ආයෙ මොන කතාද, ගේන්න මල්ලි පනහක්ම මම ඇණවුම් කළා. හැබැයි ඉතිං ඉල්ලපු කෑම ටික මේසෙට එනකම් නම් විනාඩි පහලවක් විතර අපිට බලන් ඉන්න වුණා. මොකද ඒ වෙන කොට අවන්හලේ සෙනඟ පිරිලා.

ඉස්සෙල්ලම මේසෙට ආපු චිකන් ඔම්ලට් එකට යාළුවො දෙන්න අත දාන්න කලින් ඔම්ලට් කෑලි දෙකක් මගේ පිගානට දාගත්ත මම මචං ස්පෙෂල් රයිස් එකෙනුත් හැඳි තුන හතරක් බෙදා ගත්තා. හොඳ පදමට වැදිලා ඉඳපු මට වොඩ්කා වීදුරුවට අයිස් කැටයක් දාන්න මතක් වුනෙත් පළවෙනි උගුර කටට හලා ගත්තට පස්සෙ. ගෑරප්පුවට චිකන් ඔම්ලට් කෑල්ලක් අරගෙන සෝස් ටිකකුත් ගාලා රස බැලුවෙ මම මීට කලින් චිකන් ඔම්ලට් කාලා තිබුණෙ නැති නිසා. බිත්තර තුනක්, අමු මිරිස්, ළූණු වගේම පොඩියට කපපු කුකුල් මස් කෑලිත් දාලා තමයි මේ ඔම්ලට් එක හදලා තිබුණෙ. ඒත් සැර ගතිය තව පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි කියලා තමයි මට හිතුණේ.

ඔය අතරේ තමයි යාළුවෙක්ට පූල් (පැයට රු. 300) සෙල්ලම් කරන්න ආස හිතිලා තිබුණේ. ‘‘මචං පූල් පාරක් ගහමුද’’ යාළුවා මගෙන් ඇහුවා. ‘‘පොඩ්ඩක් ඉඳපන් කවුද සෙට් එකක් තාම සෙල්ලම් කරවා බං. මේ ෂොට් එකත් දාගෙනම යමං’’ මම කිව්වා. අනිත් යාළුව නම් හාවක් හූවක් නැතිව මචං ස්පෙෂල් රයිස් එකට වැඩේ දෙනවා. ඉතිරි වොඩ්කා ටිකත් උගුරට හලාගෙන මම බෙදාගත්ත බත් එකේ රස බලන්න පටන් ගත්තා. ‘‘මචං ස්පේෂල් කියලා එන අනිත් කෑමත් එක්ක බලද්දි රයිස් එක නම් එච්චරම හොඳ මට්ටමක නෑ. ඒ වුණාට අඩුවක් නැතුව කැරට්, ලීක්ස්, ළූණු වගේම පොඩියට කපපු කුකුල් මස් කෑලිත් එකතු කරලා තිබුණ මේ බත් එකට උඩින් දාපු බිත්තර ඔම්ලට් එකකුත් එනවා.

කොහොම හරි අපි බීලා ඉවර වෙනකොට රෑ දහය විතර වෙලා. අපිට අන්තිම පැය තමයි පූල් සෙල්ලම් කරන්න ලැබුණෙ. හිතේ හැටියට පූල් සෙල්ලම් කර කර ඉඳපු අපේ ළගට ටික වෙලාවකින් ආපු සේවක මිත්‍රෙයක් කියනවා ‘‘සර් වෙලාව එකොලහයි. අපි වහන්න හදන්නේ’’. හොඳ පදමට වැදිලා ඉඳපු නිසා අපි කට්යට වෙලාව ගැන හරි හමන් අවධානයක් තිබුණේ නෑ. ඒ වුණාට අපිට උපරිමෙන්ම සලකපු කඩුවෙල මචංලා සෙට් එකට එහෙම නිකන්ම වහන්න දෙන්න බෑ නේ. කළමණාකාරතුමත් එක්ක කතා කරපු මම සේවක මිත‍්‍රයෝ ටිකයි කළමණාකාරතුමාවයි තියලා පිංතූරයක් ගත්තෙ අපිට දුන්න සපෝට් එකට පුංචි ස්තූතියක් වෙන්න කියලා .

අනුමිතිය

කඩුවෙල මචං එක කිව්වාම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. ගඟක් අයිනට වෙලා රසම රසම බයිට් එකක් නිදහසේ බොන්න කඩුවෙල පැත්තෙන් තැනක් හොයනවා නම් ඒ ඉතිං මචං අවන්හලම තමයි.


TIP

Try Chicken liver pepper.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No. 27, Kandy Road, Bandarawatte, Biyagama

Directions

Cross the Kaduwela bridge & keep going 100m towards Bandarawatte Junction. Machan will meet on your right hand side.

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments