Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

4/5

Machang (Koswatta)

No 274A, Kaduwela Road, Koswatta, Battaramulla


මචං, යමුද කොස්වත්තෙ මචං එකට බියර් එකක් ගහන්න.



මේ දවස්වල රෑ, දවල් වෙනසක් නැතිව තියෙන වැස්ස නිසා හවස් වෙද්දී පුංචි සීතලක් ඇඟට දැනෙනව. YAMU කාර්යාලයේ වැඩ ටික කලින්ම ඉවර කරපු මම හවස 5ට විතර එළියට පැන ගත්තේ ඉක්මණට ගෙදර යන්න නම් නෙවේ. ‘‘මචං බියර් එකක් ගහමුද’’ අහලා මම ගෙවල් පැත්තෙ යාළුවෙක්ට කෝල් එකක් දුන්නාම යාළුවගෙ උත්තරය වුණේ  ‘‘කොහෙටද බං එන්න  ඕනේ’’  කියන එක. අපේ කට්ටියටත් ඉතින් බෑ කියල පුරුද්දක් නෑනේ. ‘‘යමං මචං කොස්වත්තෙ මචං එකට’’ මම කිව්වා.

මචං අවන්හල පිහිටලා තියෙන්නෙ බත්තරමුල්ල, කොස්වත්ත හංදියෙන් මාලඹේ පැත්තට යනකොට ප්‍රධාන පාරෙ දකුණු පැත්තට වෙන්න. ඉතින් හවස 7 කිට්ටු කරලා යාළුවයි මායි මචං අවන්හල පැත්තට ගියා. හීනි පොදක් යන අතරේ අපි මචං අවන්හල ඇතුලට ගිහිං වාඩි වුණා. කොටස් 2කට හදල තියෙන අවන්හලේ පල්ලෙහා තට්ටුවෙ එළිමහන් කොටසෙ කොන්කී‍්‍රට් මේසත් ඇතුල් කොටසෙ ලී මේසත් දාලා හදල තියෙන්නෙ එක මේසෙක හතර දෙනෙක්ට විතර වාඩිවෙලා නිදහසේ පොඩි ෂොට් එකක් දාන්න පුළුවන් වෙන විදියට. එළිමහන් කොටසෙ බිම තණකොළ වවලා මැද්දට වෙන්න පුංචි ගහකුත් වවලා. මේ අවහන්ලේ උඩ තට්ටුවකුත් වෙනමම හදලා තියෙන්නේ පහල තට්ටුවේ ඉන්න අය මත්පැන් බොන නිසා පොඩි දරුවන් හරි පවුලේ වෙනත් අය හරි එක්ක එන අයට නිදහසේ කෑම කන්න. සමහර අය හිතන් ඉන්නේ මචං අවන්හල මත්පැන් බොන්න විතරක් හදලා තියෙන එකක් කියලා. ඒක වැරදියි. නිදහසේ හොඳ කෑම වේලක් කන්නත් මචං අවන්හල කියාපු තැනක්.

පොඩි ප්‍රශ්නෙකට කියලා තියෙන්නෙ මෙයාලගෙ වාහන නවත්වන අංගනය ටිකක් පොඩි එක තමයි. මෙතනට ලොකු පාරිභෝගිකයන් පිරිසක් එන්න පුරුදුවෙලා ඉන්නවා නිසා එයාලට වාහන නවත්වන්න තව ටිකක් ලොකු අංගනයක් හැදුවා නම් හොඳයි කියල තමයි මට නමි හිතුනේ. අවන්හලට ඇතුල් වෙන දොර ළගම පූල් කී‍්‍රඩා කරන්න මේසයකුත් දාලා තිබුණා. ඇත්තටම මම නම් දකින විදියට පොඩි ෂොට් එකක් දාන ගමන් හිතේ තියෙන ප‍්‍රශ්න ටික අමතක වෙන්නත් එක්ක කරන්න පුළුවන් හොඳ කී‍්‍රඩාවක් තමයි පූල් කියන්නෙ.

අවන්හල ඇතුලෙ 10 දෙනෙක් වත් ඉඳපු නැති නිසා හොඳ නිදහස් බවක් තිබුණා. වෙන තැන්වල වගේ නොසෑහෙන්න බීලා වේරිමර ගාතේ කෑගහන අය නම් ඒ වෙලාවෙ හිටියේ නෑ. සිංහල අපිට හුරු පුරුදු ගුණදාස කපුගේ, සනත් නන්දසිරි වගේ ගායකයින් පිරිසකගේ සිංදු එක පේළියට ඇහෙනවා. ඇතුල් කොටසෙ ලොකු තිරයක් දාලා කි‍්‍රකට් තරඟ පෙන්වන්නේ ලංකාවේ කට්ටිය කි‍්‍රකට් වලට ගොඩක් ආස නිසා.

ලී බංකුවක වාඩිවෙලා මගේ අතේ තිබුණ කැමරාව මේසෙ උඩින් තියෙන කොටම තමයි භෝජනාගාර සේවකයෙක් ඇවිල්ලා අපි ළග හිටගෙන හිටියේ. එයා අපිට මෙනුව දිග ඇරලා බොන්න තියෙන සැර බීම වර්ග ටික මුලින්ම පෙන්නුවා. යාළුවට නම් ස්ට්‍රෝන්ග් බියර් මග් එකක් (270ml. | රු.140) ඇති කිව්වට මම නම් ස්ට්‍රෝන්ග් බියර් මග් එකකට අමතරව කැමිනෝ ටිකිලා කියන ටිකක් සැර බීම වර්ගයකින් මිලි ලීටර් 25කුත් (රු.200) ඇණවුම් කළා. කට ගැස්මට ගන්න දෙයක් හොය හොයා ඉන්න කොට භෝජනාගාර සේවක මිත‍්‍රයා අපිට කිව්වෙ ‘‘සර්ලට නියමෙට ගැලපෙන බයිට් එකක් තියෙනව: බ්ලැක් පෝක් කරි ඇන්ඩ් මඤ්ඤොක්කා කියලා. ඒත් මුලින්ම එන ගොඩක් අය ඒක ගන්න නිසා ඒවා ඉවර වෙලා. අපි දයියා පෝක් එකක් (රු.490) දාමු’’ කියලා. ඉතිං අපිත් ඒකට එකඟ වුණේ බියර් වලට ටිකක් සැර කට ගැස්මක් ඕනෙ නිසා. රෑ කෑමත් මචං අවන්හලෙන්ම ගන්න හිතන් ආපු අපි ගොඩක් ප‍්‍රසිද්ධ මචං වොක් බිත්තර කොත්තු එකකුත් (රු.390) ගෙන්න කිව්වා.

පුංචි කතා බහක් යන අතරේ සේවක මිත‍්‍රයා ඇවිත් හැඳි, ගෑරප්පු, පිඟන් තියලා අපේ මේසෙ පිළිවෙලට හදලා දුන්නා. විනාඩි 5ක් විතර යනකොට මුලින්ම අපේ මේසෙට ආවෙ බියර් මග් 2කයි මම ඇණවුම් කරපු කැමිනෝ ටිකිලා වීදුරුවයි. ඔන්න ඉතිං දෙන්නත් එකක් පොඩි චියර්ස් පාරක් දාලා හෙමිහිට රට බීම ටික තොල ගාන්න පටන් ගත්තා. මම නම් මුලින්ම අතට ගත්තේ ටිකිලා වීදුරුව. එක උගුරට ටිකිලා ටික කටට හලාගෙන ඒකටම එන පුංචි බයිට් එක (දෙහි පෙත්තයි ලුණුයි) පොඩ්ඩක් තොල ගෑවා. ඒ අතරේ අපි ඉල්ලපු දයියා පෝක් එකත් මේසෙට ඇවිල්ලා තිබුණා.

කටට කෙල උනන සුවඳක් එන දයියා පෝක් එක තවත් මේසේ උඩ නිකං තියෙන්න දෙන්න බෑ. ගෑරප්පුවකින් දයියා පෝක් කෑල්ලක් කටේ දාගත්ත මම හිමිහිට ඒකේ රස බලන්න පටන් ගත්තා. ‘‘පට්ට බයිට් එක’’ ඌරූ මස්වල තියෙන තෙල් තට්ටුව අඩු වෙන්න පොඩියට කෑලි කපලා ගැඹුරු තෙලේ බැදලා තමයි මේක හදලා තිබුණේ. එහෙම බැදපු  ඌරූ මස් කෑලී පුංචි පැණි රසක් එක්ක තද සැර ගතියක් එන විදියට සෝස්, අමු මිරිස්, කැරට්, ලූණු කොළ, චීලී පේස්ට් දාලා ඩෙවිල් කරලා තිබුණා. දයියා පෝක් එකේ රස නම් කාලා බලලාම තීරණය කරන එක තමයි වැඩිය හොඳ.

මචං වොක් කොත්තුව අපි මුහුදු ආහාර වලින් ඉල්ලුවත් ඒකට අවශ්‍ය කළමණා තිබුණ නැනි නිසා සේවක මිතුරා අපිට ගෙනාවෙ බිත්තර කොත්තුවක්. හොදි දාලා තැටියේ ගහන කොත්තුවල තියෙන ඇලෙන ගතිය මචං වොක් කොක්තුවේ නම් නෑ. රොටි කෑලි වෙන්වෙලා තියෙන්නත් රම්පේ, කරපිංචා, ළූණු, සුදු ළූණූ, කැරට්, ළූණු කොළ පදමට දාලා හොඳ සැර ගතියක් එන විදියටත් හදලා තිබුණ මචං බිත්තර කොත්තුවෙ විශේෂත්වය වුනේ අනෙක් කොත්තුවල වගේ බිත්තර කවලම් නොකර වෙනමම ඔම්ලට් එකක් විදියට උඩින් දාලා තිබුණ එකයි.

සීතල බියර් උගුරක් එක්ක නියමෙට ගැලපෙන දයියා පෝක් එකයි මංච වොක් කොත්තුවයි පුංචි කතා බහක් අතරේ ඉවර වේගෙන යනකොට අපේ මේසෙ ලඟට ආපු සේවක මිතුරෙක් ‘‘සර්ලා මැගසින් එකකින්ද කියලා’’ මගෙන් ඇහුවා. එයා අපි ඇණවුම් කරපු කෑම වල ෆොටෝස් ගන්නවා දැකලා. ‘‘අපි YAMU එකෙන්’’ මම කිව්වා. විනාඩි 5කට විතර පස්සේ ආයෙත් අපි ළඟට ආපු සේවක මිත‍්‍රයා ‘‘සර් අපේ තව ඩිෂ් එකක් තියෙනවා. ෆොටෝ එකක් ගහමු ද’’ මගෙන් ඇහුවා. අන්තිම බියර් උගුරත් කටට හලා ගත්ත මම කැමරාව අතට අරන් එයාලගේ මුදල් කවුන්ටරය තිබුණ රවුම් මේසෙ ළගට ගියා.

එකක් ඉවර වෙන්න එකක්, මේසෙ උඩට එන හැම කෑම පිඟානකම වගේ ෆොටෝ ගන්න මට අවස්ථාව ලැබුණා. කෑම වර්ග 4, 5කම ෆොටෝ ගහගෙන යන කොට එයාලගෙ අනෙක් සේවක මිතුරනුත් ඇවිත් මා එක්ක කතාවට වැටුණා. කෑම වල ෆොටෝ අරගෙන ඉවර වෙලා කොස්වත්තේ මචංලා සෙට් එකේ ෆොටෝ එකකුත් ගන්න මම අමතක කළේ නෑ. මචං අවන්හලෙන් එළියට බහින්න කලින් මෙච්චර රසට කෑම හදන අවන්හලේ කෝකියා එක්කත් අපි පොඩ්ඩක් කතා කළා. කොස්වත්ත මචං අවන්හලේ හදන හැම ප‍්‍රධාන කෑමක්ම හැදෙන්නේ එයාගේ අතින්ලු. නියම වැඩකාරයෙක් තමයි.

ඇත්තටම යාළුවයි මායි බියර් මග් 2ක් ගත්තට ස්ට්‍රෝන්ග් බියර් පිචර් (1.5L | රු.700) හරි ස්ට්‍රෝන්ග් බියර් ටවර් (3L | රු.1400) තමයි මෙතනට එන ගොඩක් අය ගන්න පුරුදුවෙලා තියෙන්නෙ. ලොකු පිරිසකට ඒවා ගොඩක් වාසිදායකයි. ඒ විතරක් නෙවෙයි බිල් එක රු. 2,500 ට වැඩි අයට පැය භාගයක කාලයක් නොමිලේ පූල් කී‍්‍රඩා කරන්නත් කොස්වත්තේ මචං අවන්හල අවස්ථාවක් දීලා තියෙනවා.

ඉතින් ඔන්න ලාවට වැදිලා ඉඳපු යාළුවයි මායි බඩ කට පිරන්න කාලා කොස්වත්තෙ මචං අවන්හලට සමු දුන්නෙ ඊළග පඩියට වෙනමම කෑම වර්ග ටිකක් රස බලන්න හිතාගෙන.

උදේ 11 ඉඳන් දවල් 2 වෙනකනුත් හවස 4 ඉඳන් රෑ 11 වෙනකනුත් මචං අවන්හල ඇරලා තියෙනවා. සුහදශීලීව වැඩ කරන සේවක මචංලා සෙට් එකක් ඉන්න කොස්වත්තෙ මචං අවන්හල හොඳ කට ගැස්මක් එක්ක සැර බීම ටිකක් තොල ගාන්න වගේම හොඳ කෑම වේලක් කන්නත් හවසට සෙට් වෙන්න බලන් ඉන්න අපේ යාළුවන්ට නම් හොඳටම ගැලපේවි.


TIP

Try the Black Pork Curry and the Manioc.

Address

No 274A, Kaduwela Road, Koswatta, Battaramulla

Directions

If you're on the Battaramulla - Malabe road, Machan is just 100m past the Koswatta junction, on your right hand side.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Sri Lankan

Price Range

More than Rs.1500

Dish Types

Chicken Alcoholic Bites

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
See 3 Comments