No 16, Lady De Soyza Road, Uyana, Moratuwa.
Cheap, yet not-so-dodgy place to sip a beer while staring at metro coastline of Moratuwa.
මොරටුවෙ ලුනාව වෙරළ තීරය කියන්නෙ අමුතු පැත්තක්. ගාලු පාරෙ කුරුස හංදිය හරියෙන් පටන් ගත්තම මොරටු පාලම පැත්ත වෙනකල් ම විහිදෙන ක්ලැසික් කතෝලික වටපිවාවටත්, රේල් පාර දිගට තියෙන ලෑලි ගෙවල්වලටත් මැදිවෙච්ච මේ පැත්ත ගැන ගැන, පොඩි කාලෙ ඉඳන් මොරටුවේ ජීවත්වෙච්ච මගේ යාළුවෝ ගොඩදෙනකුට නම් සෑහෙන කතා තියනවා; ඒත් ඒ දැන් ගොඩක් කාලකෙට කලින්.
ලුනාවේ මචං එකට අපි යද්දි හවස 7ට විතර ඇති; ඒ වෙනකොටත් එළිමහනෙ බංකු පිරෙන්න සීතල බියර් මග් අතේ තියාගත්ත මිනිස්සු පිරිලා. දෙවෙනි තට්ටුවේ තිබුණු පූල් ටේබල් එක ළගනම් තවම වැඩි සෙනගක් හිටියේ නැ. ඒත් අපි හිතුවා රූෆ්ටොප් එකට යන්න; සිතල මුහුදු හුළග වැදෙන ගමන්, මුහුදු වතුර මුසු හුළගේ තියෙන ලුණු ගතියට සැරෙන් සැරේ පොඩියට ගිනි පුපුරු විසිවෙන ට්රාන්ස්පෝමරයත්, රේල් පාරත් දිහා බලාගෙන බොන්න.
වැඩි සෙනගක් හිටියෙ නැතත් මේස කීපයක අරක්කු වීදුරුවක් තොලගාන්න ආපු අය වගේ ම ළමයිනුත් එක්ක පවුල් පිටින් රෑ කෑමට ආපු අයත් හිටියා. දූපත ඇතුලට යන්න යන්න බොනව කියන එක පිරිමි ටිකක් එකතුවෙලා අහුමුළුවල හැංගිලා කරන්න ඕන ‘වැරදි වැඩක්’ කියන අදහස තිබුණත් වෙරළබඩ කතෝලික ශිෂ්ටාචාරය තාමත් ඉතිරිවෙලා තියෙන මොරටු වැල්ලට ඒක අදාළ නෑ වගේ.
වැට්9 බාගයක් ඕඩර් කරලා බයිට් මෙනු එක පෙරලද්දි ම අපිත් එක්ක ගිය යාළුවෙක් උඩපැනලා කීවේ බයිට් රයිස් ගන්න කියලා: නාවල මචං එකේ එයාගෙ ජනප්‍රිය ම කෑම! ඒත් ඉතිං තාම බත් කන්න තරම් බඩගින්නක් තිබුණෙ නැති නිසා බයිට් රයිස් එකට කලින් ත්‍රී එග් චිකන් ඔම්ලට් (රු. 325) එකක් මුලින් ගන්න අපි තිරණය කළා. මුළු රූෆ්ටොප් එකට ම හිටියේ එක වේටර් මල්ලි කෙනෙක් වුණාට ඔම්ලට් එක මේසෙට එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
ලෝබ නැතුව ඔම්ලට් එක පිරෙන්න හීනියට කපපු චිකන් දාලා! කලිනුත් කීවා වගේ ලංකාවේ බීම ගැන තියෙන ‘ටැබූ’ සංස්කෘතිය ඇතුලෙ බයිට් එකක් නම් ඔළුවෙන් දුම් දාන ගාණට මිරිස් දාලා සැරට හදන්න ඕන කියල පොදුවේ පිළිගත්ත අදහසක් තිබුණට (අරක්කුවලට ගිනිවතුර කියන නිසාද දන්නෙ නෑ) මචං එකේ කට්ටිය නම් ඒක එච්චර ගාණකට ගන් නැති පාටයි. හැබැයි හායි හූයි ගාන ගාණට සැර නැති වුණාට මේක මාර රසයි.
හති දාගෙන එහෙ මෙහෙ දුවන ගමන් අන්තිමේ දි අපි ඉල්ලපු අයිස් බකට් එක මේසෙ උඩින් ගෙනත් තියපු වේටර් මල්ලිගෙන් අපි ඊළඟට ඕඩර් කළේ ජින්ජර් පෝර්ක් (රු. 575) එකක්. හොඳට ඉඟුරු රහ තියෙන සෝස් එකක ගාණට තැම්බුණු පෝක් කෑලි. මේකත් ලොකුවට සැර නැති වුණාට අරක්කුත් එක්ක මරුවට යනවා. තෙල් කැලි නම් ටිකක් වැඩියි තමයි.
පොල් ගසුයි සුදු වැල්ලයි තියෙන ගොඩක් නිස්කලංක මුහුදු වෙරළකට වඩා, සැරෙන් සැරේ එහා මෙහා යන කෝච්චියි, ඉඳහිට ගිනිපුපුරු විසිවෙන ට්රාන්ස්ෆෝමරෙයි, රූෆ්ටොප් එක කෙළවරේ ම තියෙන මොබයිල් ටවර් එකයි එක්ක, රේල් පාරටයි පෙට්ටි ගෙවල් පේලියටයි එහායින් පේන මූදයි මූදු හුළගයි මැද, මෙතන දැනෙන පොඩි මෙට්‍රෝ ගතියට මම නම් ආසයි. කලින් බයිට් දෙක තවම ඉවර වුණේ නැතත් ටිකක් රෑ වේගන එන නිසා අපි අපේ යාළුවා නොඉවසිල්ලෙන් බලන් හිටපු බයිට් රයිස් එකකුත් ඕඩර් කළා.
බයිට් රයිස් කීවට මේක නම් සෝසේජ් කැලි ටිකක් එක්ක හොඳට එම් එස් ජී දාපු නිකම් සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් (රු. 500) එකක්. නාවල මචං එකේ බයිට් රයිස් එකට කිට්ටුවෙන් වත් තියන්න බෑ කියල තමයි අපේ යාළුවා කීවේ. එයා කියපු කතාත් එක්ක අපි මවාගෙන හිටපු එක නොවුණත් ෆ්‍රයිඩ් රයිස් එකක් හැටියට නම් නරකමත් නෑ හැබැයි.
සාමාන්‍යයෙන් ලංකාවෙ තියන ‘ක්ලැසික්’ බාර්වලට වඩා ටිකක් විවෘත ගතියක් තමයි මචං එකේ තියෙන්නේ. ඒ නිසා පවුල් පිටින් වුණත් ඇවිත් කාලා බීලා යන්න පුළුවන්. අපි බිල ගෙවල පහළට එද්දි නම් දෙවෙනි කට්ටුවේ පූල් ටේබල් එක ගාවත් කට්ටිය පිරිලා. එළියේ නවත්තලා තිබුණු ඩිලිවරි මෝටර් සයිකලේ දැක්කම තමයි අපි දැනගත්තේ මෙයාලා ඩිලිවරිත් තරනවා කියලා.
මොරටුවෙ පැත්තෙ හවසට සෙට් වෙනව නම් ලුනාව මචං එක ඒකට හොඳ තැනක්. ගාණත් ගොඩක් වැඩි නෑ. කොහොමත් බියර් වගේ බොනව නම් ඉතිං මචං තමයි ලාබ ම තැන.
Address
No 16, Lady De Soyza Road, Uyana, Moratuwa.
Directions
Turn to Uyana road from Moratuwa Cross Junction and go until you see the sea. Turn right and Machang is around 100m along the road, to your right.
Contacts
Report InaccuracyCuisine
Chinese Sri Lankan Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Beverages Fried Rice Beef Pork Chicken Fried Chicken Fish Fish And Chips Cuttlefish Sodas Alcoholic Beer Wine Spirits Bites
Ratings Breakdown
4/5
Woshada Ishan
Rated 4/5