Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

Madu River

Balapitiya, Sri Lanka


Madu river is a unique environmental setup in Balapitiya; South West Sri Lanka.



ඈතින් ඈතට තියෙන ජල තලාවේ ඉමක් කොනක් පේන්න නැහැ. මුදුන් වෙච්ච ඉරෙන් එන කිරණ වැදුණු ජල තරංග, දිලිසෙන්නේ රිදී කඳන් වගේ. ගඟේ රැළි පිසගෙන එන සීතල හුළඟ අනිත් තත්පරේ දී මුළු ඇඟ ම වෙලාගන්නවා. වතුර දෙබෑ කරගෙන යන මෝටර් බෝට්ටුවෙන් කිති කැවෙන ගංදිය, හීන් පෙණ පිඬු විසිරවන්නේ හරි දඟකාර විදියට.

අපි මේ ඉන්නේ ලංකාවේ තියෙන සුන්දර ගංගාවක් මැද්දේ. “මාදු ගඟ” විදියට හැඳින්වෙන මේ ජලතලය හෙක්ටයාර් 770 ක් පුරා පැතිරිලා තියෙන එකක්. ස්වභාව සෞන්දර්යය විඳින්න ජෛව විවිධත්වය දකින්න වගේ ම, තවත් අපූරු අත්දැකීම් ගොඩක් විඳ දරාගන්න පුළුවන් තැනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

පිහිටීම

දකුණු ලකේ, බලපිටිය ගම ආශ්‍රිත ව පිහිටලා තියෙන මාදු ගඟ, දකුණේ අයට විතරක් නෙවෙයි, මුළු ලංකාවට ම ආඩම්බරයක්. කොළඹ ඉඳන් ගාල්ලට දිවෙන ගාලු පාරේ අද්දර ම පිහිටලා තියෙන මේ ගංගාව, “බලපිටියේ රැම්සා තෙත්බිම” කියලත් හඳුන්වනවා. බුන්දල, ආනවිලුන්දාව හැරුණා ම, ලංකාවේ තියෙන ඊළඟ රැම්සා තෙත්බිම වෙන්නේ මාදු ගඟයි.

මාදු ගඟ මැද්දේ පිහිටලා තියෙන දූපත් සේනාවත් එක්ක සැලකුවා ම, මේකේ මුළු පැතිරීම හෙක්ටයාර 915ක්. කඩොලාන පරිසර පද්ධතියත්, ඒ හා බැඳුණු සත්ත්ව විශේෂ, කර්මාන්තවලින් සම්පූර්ණ වුණු පරිසරයක් මෙතැනින් දැකගන්න පුළුවන්. මෝටර් බෝට්ටුවකින් ගිහින්, මේ හැමදේම බලාගැනීමේ අවස්ථාව දැන් හැමෝට ම තියෙනවා.

මාදු ගඟේ බෝට්ටු සවාරිය

අපි මාදු ගඟ දිහාවට ගියේ සතියේ මැද වැටුණු නිවාඩු දවසක. ඒ නිසා ම දෝ කොහේදෝ තරමක් තදබදය වැඩියි. බලපිටියේ පාලම පහුවෙනවත් එක්ක ම තියෙන තොටුපොළෙන් අපි බෝට්ටුවක් ගත්තා. දේශීය අයට රුපියල් 2000ක මුදලක් ගෙවලා ගන්න පුළුවන් මේ බෝට්ටුවේ එක සැරේ දහදෙනෙක්ට වගේ කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්. මෝටර් බෝට්ටුව ගෙනියන්න කෙනෙක් වගේ ම, පීනන්න නොදන්නා අයට ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලත් මෙතැනින් ලබා දෙනවා.

අපේ බෝට්ටුව ගෙනිච්ච “මිලානෝ” මල්ලි, මාදු ගඟේ හතර දිග් බාගේ ම හොඳට දන්නා කෙනෙක්. ලංකාවට ආවේණික, ඒත් දැන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්න කඩොලාන වර්ගයක් වෙන “රතමිල්ල” කඩොලාන වර්ගය ගැන අපි දැනගත්තෙත් එයාගෙන්.

දැනට මාදු ගඟ මැද්දේ දූපත් 28ක් වගේ තියෙනවා. මේවයින් දෙකක් ම හොඳින් ජනාවාස වෙලයි තියෙන්නේ. විදුලි සැපයුම එහෙමත් ලැබිලා. එක දූපතක පුංචි ඉස්කෝලෙකුත් තියෙනවලු. මේවයේ හැදෙන හැම ගෙයක් ම, මැටියෙන් හැදෙන බවයි අපට දැනගන්න ලැබුණේ. මොකද නැත්තන් මේ පරිසරයේ තියෙන ස්වභාවික වටිනාකමට හානියක් වීමේ අවදානමක් තියෙන නිසා. ජනාවාස වෙච්ච දූපතේ ඉඳන් බලපිටියේ ටවුමට යන්න පුළුවන් විදියට පාලමක් එහෙමත් හැදිලා ඇති විදිය අපට දැකගන්න ලැබුණා.

මේ සවාරිය පටන් අරගෙන පොඩි දුරක් යද්දී ම, සම්පූර්ණයෙන් ම කඩොලානවලින් හැදුණු වියනක් යටින් යන්න අපට පුළුවන් වුණා. පතාක කඩොලාන මුල්වලින් ස්වභාවික විදියට හැදිලා තියෙන මේ වියන, මනුස්ස අතකින් හැදුවත් මෙච්චර ලස්සනට හදන්න පුළුවන් වෙන එකක් නැහැ කියලයි අපට නම් හිතුණේ. ඉරත් හොරහොරෙන් මේ වියන අස්සෙන් එබිකම් කළා.

“අයියේ, මේ තියෙන්නේ ඉස්සෝ කොටු"

ගඟ මැද්දේ එක ළඟින් හිටවපු ඉනි වැටක් වගේ තියෙන හරිය පෙන්නලා මිලානෝ මල්ලි කිව්වා. මාදු ගඟට ලැබිලා තියෙන කලපු ඇසුර නිසා මිරිදිය ඉස්සෝ වගාව සෑහෙන්න හොඳට සිද්ධවෙන බවක් තමයි පෙන්න තිබුණේ. මේ ඉස්සෝ කොටුවල ප්‍රධාන වශයෙන් කෑලි තුනයි. එකක තියෙන්නේ රොඩුබොඩු. අනිත් එකේ හොඳට වැඩුණු ඉස්සන් ඉන්න අතරේ, කෙළවරේ ම කෑල්ලේ ඉන්නේ යන්තන් හැදීගෙන වයසේ ඉන්න ඉස්සෝ පැටව්.

මේ බෝට්ටු සවාරියේදී, මාදු ගඟේ තියෙන දූපත් කීපයකට ම යන්නත් අපට හැකිවුණා.

කුරුඳු දූව

අපි මුලින් ම ගියේ කුරුඳු දූවට. කුරුඳු දූවට ඒ නම ලැබිලා තියෙන්නෙත් කුරුඳු කර්මාන්තයේ නිරත වෙන දූපත් වාසීන් ඉන්න නිසයි.

දූවේ ඉවුර කිට්ටුව ම කාලි අම්මා දේවාලයක් තියෙනවා. ඉන්පස්සේ හුරුබුහුටි ගේ පොඩ්ඩකුත්, කටු මැටි ගහපු මඩුවකුත් දැකගන්න පුළුවන්. ගහෙන් කඩාගන්න කුරුඳු දඬුව, අපි කෑමවලට දාන කුරුඳු පොතුවලට පත්වෙන විදිය මේ මඩුව ඇතුළේදී කියලා දෙනවා.

මේ කුරුඳු පොතු වේලන්න ඕනේ වාතාශ්‍රය ලැබෙන, අව්ව නොවැටෙන තැනක තියලයි. ඒවායේ සුවඳයි, ගුණයයි ආරක්ෂා වෙන්නේ එතකොටයි. පල් කරපු පොල් ලෙලිවලින් ලණු අඹරන හැටිත්, පොල් අතු වියන විදියත් මෙතැනදී තවදුරටත් පෙන්වලා දෙනවා. මේ හැමදේම කරන්නේ දූපතේ ඉන්න වැඩිහිටියෙක්.

කුරුඳු තෙල්, කුරුඳු පොතු වගේ දේවල් මෙයාලගෙන් මිලදී ගන්නත් ඔයාලට පුළුවන්.

නයි දූව

“කට්ටිය බය වෙයි කියලයි මං මුලදී නොකිව්වේ, අපි දැන් මේ පහු කරන්නේ නයි දූපත"

කුරුඳු දූවෙන් සමු අරගෙන ටිකක් දුර යද්දී මිලානෝ මල්ලි මේ කතාව කිව්වේ, මෑතින් පේන දූපතකට අත් දික් කරන ගමන්. සම්පූර්ණෙන් ම ගණ වනාන්තරෙන් වැහිලා තිබුණු මේ දූපත, තරමක් විශාල එකක්. ඉස්සර ගෙවල්වලින් අල්ලගන්න සර්පයින් ව නයි දූපතට ගෙනල්ලා දාන්න මිනිස්සු පුරුදු වෙලා හිටියලු. ඒ නිසා වැඩිය මේ පැත්තට කවුරුවත් නොඑන බවයි බිලානෝ මල්ලි කිව්වේ.

කුරුඳු දූවේ ඉඳලා, නයි දූවට පහු කරගෙන ගමනේදීත් අර කලින් තිබුණා වගේ කඩොලාන වියනක් යටින් යන්න අපට පුළුවන් වුණා.

මා දූව

“පන්සලක් තියෙන දූපතක් තියෙනවා අයියේ. ඒක බලල ම ෆිෂ් ෆාම් යන්ද?”

ඒ මිලානෝ මල්ලිගේ හඬ. කුරුඳු දූව පහු කරලා, ටිකක් දුර යද්දියි මේක මුණගැහෙන්නේ. මා දූව පන්සලේ දකින්න ලැබුණු බුදු පිළිම පේළිය හරි ම ලස්සනයි. සැරියුත්, මුගලන් අගසව් දෙනමත් පිරිවරා ගත්ත බුදුරදුන් දනට වඩින විදිය තමයි මේ පිළිමවලින් පෙන්නුම් කරන්නේ.

පන්සලේ වෙහෙර හදලා තියෙන්නේ තරමක් උස් බිමක. බුද්ධ වර්ෂ 2461දී හදපු සෙල් ලිපියකුත් මේ වෙහෙර පිටිපස්සේ දැකගන්න ලැබෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලය නිරූපණය කරන පිළිමයකුත් අපේ ඇහැ ගැටුණා. මේ පන්සලේ සීමා මාලකය තියෙන්නෙත් ගංගාව මැද්දේ.

මෙතැනදී තව දෙයක් මතක් කරන්න ඕනේ. මා දූවට තරමක් ඈතින් තියෙන කොත් දූවෙත් ලොකු පන්සලක් තියෙනවා. හැබැයි දුර වැඩි නිසා ඒ දූපතට එක්කගෙන යන්න මේ මිලානෝ මල්ලිලා අකමැතියි. මොකද මෙයාලට සවාරිය වෙනුවෙන් දෙන්නේ පැය දෙකක වගේ කාලයක් නේ. ඒ තරම් දුරක් ගියොත්, මේ අතරමැද තියෙන දේවල් බලන්න කාලය මදි වෙනවා.

සතපහ දූව

කොත් දූව පහු කරගෙන ෆිෂ් ෆාම් එක පැත්තට එද්දී තමයි සතපහ දූව දකින්න ලැබෙන්නේ. මේක මාදු ගඟේ තියෙන පුංචි ම දූපත. ඒ කාලේ දෙයියන් ට පුද පූජා පවත්වන්න හදපු පොඩි දේවාලයක් එහෙමත් මෙතැන තියෙනවා.

ගල්මන්දූව

ගමන පටන්ගත්ත වෙලේ ඉඳන් අපි කට්ටිය ම දත කට මැදගෙන හිටියේ මේ මොහොත එනකම්. මාදු ගඟේ හදලා තියෙන ලොකු ම ෆිෂ් ෆාම් එක තියෙන්නේ ගල්මන්දූවේ. මේක මාළු බෝ කරනවා වගේ ම උන්ගෙන් ෆිෂ් තෙරපි ලබාදෙන තැනක්.

මොසැම්බික්, තිලාපි, ඩොක්ටර් මාළු යොදලා කරන මේ වැඩේ නම් මරු. දාස් ගණන් දීලා ස්පාවලට වියදම් කරන්නේ මොකටද කියලා හිතෙනවා මේ මාළු කරන වැඩ ටික දැක්කම. අපට තියෙන්නේ උන් ඉන්න තටාකවල කකුල් ඔබාගෙන, උන්ට කෑම දදා ඉන්න එක විතරයි. කෑම ටිකට උඩ පනින අතරේ, හරි අපූරුවට අපේ කකුල්වල මැරුණු සම අයින් කරන්න මේ මාළුන්ට පුළුවන්. අනික කොයි තරම් වෙලා හිටියත් රුපියල් 200නේ යන්නෙත්.

මේ හැරුණා ම, පොකිරිස්සෝ, කකුළුවෝ, පෆ් ෆිෂ් වගේ මාළුත් බෝ කරලා තියෙන විදිය අපට දැකගන්න ලැබුණා.

“අයියේ, මං ඔන්න ආයේ සැරයක් කඩොලාන අස්සෙන් බෝට්ටුව ගෙනියන්නම්. වීඩියෝ පාරක් දාන්න හොඳේ.”

බෝට්ටු සවාරිය අහවර වෙන්න කිට්ටු කරලා මිලානෝ මල්ලි අපිව ආයෙත් සැරයක් අර කඩොලාන වියන යටින් ගෙනිච්චේ ඔහොම කියන ගමනුයි.

අනුමිතිය

අපට දැනගන්න ලැබුණු විදියට, කාලෙකට උඩදී මාදු ගඟේ කිඹුල්ලු සෑහෙන්න ඉඳලා තියෙනවා. උන් ගඟ මැද්දේ තියෙන ගල් උඩ අව්ව තපිනවා එහෙමත් දැකගන්න පුළුවන් ලු. දැන් නම් මේ මෝටර් බෝට්ටු සද්දෙට බයේ වැඩිය එලිපහළියට බහිනවා පේන්න නැති ලු.

අපේ ම කියලා කියන්න පුළුවන් කඩොලාන විශේෂ 14ක්, සත්ත්ව හා ශාක විශේෂ 302කින් හැදුණු මාදු ගං පරිසරය බලන්න ගිය අපේ අත්දැකීමයි මේ. මාදු ගඟ කියන්නේ ලොකු වියදමක් නැතිව, පවුලේ හැමෝමත් එක්ක ගිහින් එන්න, ස්වභාව සෞන්දර්යය විඳින්න පුළුවන් තැනක් බව අනිවාර්යෙන් ම කියන්න ඕනේ. පොඩ්ඩන්ට වගේ ම ලොක්කන් ට ඉගෙනගන්න, රස විඳින්න ගොඩාක් දේවල් මෙහෙ තියෙනවා.

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

Balapitiya, Sri Lanka

Report Inaccuracy
Similar Places

User Reviews
G
3

5/5

0

Gayanshavi

Itz great place try it and feel the difference… itz just one hour from colombo via highway… Yamu mentioned prices are perfectly right when itz come to altogether itz very cheap tour and make lot fun 😘😘😘

G
3

5/5

0

Gayanshavi

Itz great place try it and feel the difference… itz just one hour from colombo via highway… Yamu mentioned prices are perfectly right when itz come to altogether itz very cheap tour and make lot fun 😘😘😘

See 1 Comment