Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

Man J Restaurant

622, Kurunegala junction, Dambulla


Delicious western food and high coffee to taste in a calm room while having a chat



ග්‍රීස්මෙට වෙලා ඉඳලා ඉඳලා කොහොම හරි යාන්තම් පැනගත්ත දඹුල්ලට. එහෙත් ඉතින් ලොකු වෙනසක් නෑ. හැබැයි බැහැපු තැන ම කැෆේ එකක්නෙ. ආයෙ මොකටෙයි තවත් අව්වෙ ඉන්නෙ කියල සනික රිංග ගත්ත ඒක ඇතුළට.

“ගුඩ් ඊව්නින් සර්”

“ගුඩ් ඊව්නින්, ගුඩ් ඊව්නින්. ම්ම්... මොනවද කූල් තියෙන්නෙ? ඒකයි... කෑමට එහෙම?”

“අපේ සර්... ස්පෙෂල් යන්නෙ නං කොෆි තමයි. ඒත් ලැසි වගේ ගන්න පුළුවන්. කෑමට සර්, මෙන්න මෙනියු එක. ඕන දෙයක් ගන්න පුළුවන්”

“එහෙමද. එහෙනං... කෝකටත් මැංගො ලැසි එකක් දාන්නකො”

..කියල මම ඉස්ඉස්සෙල්ලාම ඒක විතරක් ඕඩර් කළේ, කෑම ඕඩරේ දාන්න යාළුවොත් එනකම් ඉන්න ඕන නිසා. හැරත් ඔය බනිස් අනං මනං ඒ වෙලාවෙ මට කන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.

වැඩේ කියන්නෙ, කෝල් කරල බැලින්නම් අපේවුන්  දෙන්න තවත් පරක්කු වෙනව කියන්නකො.

“පාරෙ බං ඉන්නෙ. බස් එකක් ආපු ගමන් එල්ලෙන්නං. උබ ඉතින් බබා වෙන්නෙ නැතුව මොනවහරි ඕඩර් කරාංකො. හරි මටයි ලසාටයි චිකන් සබ් (රු. 480) එකකුයි, කාබොනාරා පැස්ටා (රු. 500) එකකුයි දාංකො. ආ, ඒකයි.. මතක ඇතුව චොක්ලට් රොටියකුත් (රු. 150) දාං ඩෙසට් එකට. හරි”

“එච්චරද දන්නෑ මාත්තය! තොගෙ ආච්චිට..”

ඇයි යාළු, මං කොළඹ යන්නත් ඕන. නිකම් මනුස්සකමට මූණ බලල යන්න ආවෙ. ඒ ආවාම මුංගෙ ගණන්!

කමක් නෑ, යාළුවොනෙ කියල මම දැම්මා ඕඩරේ. දාලා හෙමින් සැරේ වටපිටට අවධානයක් යොමුකළේ කැෆේ එකේ වැඩේ යන විදියෙත් අමුතු ගතියක් තියෙන නිසා. කොල්ලො 2න්නයි. එක්කෙනෙක් කඩේ ඉස්සරහ එළියෙ කෝකි වැඩ. අනිත් එක්කෙනා ඇතුළෙ සර්විස්, අඩුම කුඩුම වැඩ. ඊටත් හරි ලස්සනට, කඩිමුඩියට වැඩේ යනවත් එක්කනෙ. කොටින්ම කියතොත් යාළු අපේවුණ්ට ඕඩර් කරපු කෑම, එයාලා එන්න කලින්ම මේසෙටත් ඇවිල්ල.

ම්ම්.. මමත් ඉතින් දන්නැද්ද, කන්න බෑ කිව්වට.. හෙමින් සැරේ කට්ටිය එනකම් කියල හැම එකෙන්ම පොඩ්ඩ පොඩ්ඩ ගලපල බැලුව.

ඒකෙ මුල්ම ගොදුර වුණේ පැස්ටා (රු. 500) එක! ෂැහ් උණු උණුවට.. ටොප් ඈ.. ආයෙ දාලා තියෙනව චීස්, ක්‍රීම් චීස් එහෙම මදිනොකියන්න. ඇත්තටම පළවෙනි කටට නම් කටත් පිච්චුනා. එච්චරට උණුයි. ඊටත් ඒකෙ තිබ්බ චිකන් කෑලි තොගේ. රෝස්ට් චිකන් හීනියට ඉරල ඉරල දාලා තියෙනවා.. චීසුයි, පැස්ටයි, තක්කාලි සෝස් රසයි එක්ක මාරම ගතියක් ගලපන්නෙ. ඇත්තටම ඒකට ගම්මිරිස් පොඩ්ඩක් එහෙමත් වැටුණ නම්.. කියල වැඩක් නෑ යාළු, අපේ අයටත් නොම්මර එකට සෙට්වෙන ගානයි.

ඒ වගේම තමයි සබ්මැරීන් එකත්. ඇත්තටම දඹුල්ල ආර්ථිකේම ඒක ඇතුළෙද කොහෙද. ඇයි අප්පේ තක්කාලි, ලූණු, සලාදකොළ, ගර්කින්.. ඒකත් පොඩි පොඩියට නෙවෙයි ආයෙ ලෝබ නැතුව හොඳේ. අවංකයෙන්ම කිව්වොත් එළවළු නම් ඇත්තටම වැඩිත් වගේ ඒකට. හැබැයි ඒ වැඩිගතිය යට යනව නිකම්ම, මැද්දට වැටුණු තඩි ග්‍රිල්ඩ් තන්දුරි චිකන් කෑල්ලක් හැපුණාම. අනික ග්‍රිල්ඩ් කියන්නෙ ඒක පදමටම ග්‍රිල් කරලත් එක්කනෙ. කර රසත් හොඳ හැටි තියෙන්න, මසත් නූලට තැම්බෙන්න, අනික ඒකට තන්දුරි, ලුණු ඇඹුල් අඩුපාඩුත් ලෙසටම අල්ලලනෙ. ඒකත් එක්ක චීස් පෙති කෑල්ලකුත් හැපෙද්දි.. ආයෙ තලු මැරෙන්නෙ ඉබේටම වගේ.

ඊට දෙවනි නැති ෂවර්මා එක! ඒකටත් යාළු සබ් එකේ ටිකම දාලා හැබැයි එළවළු ටිකක් අඩුවෙන්, මස් ටිකක් වැඩියෙන්. එකම අවුල චීස් නැති එක තමයි. ඒත් මොකද කියල හිතෙනව ඇත්තටම ඒ රොටියෙ පදමට. අනික හිතාගන්න බැරි ඒ යාළුව චිකන් එක හදනව පේන්නෙ නිකම් ග්‍රිල් එකේ වගේ. ඒත් කද්දි හිතාගන්න බැරි රසක් තියෙන්නෙ.

ආහ්! කියන්න බැරිවුණානෙ. කෑම ගැන කිය කිය හිටියට මොකද ඇත්තටම, මම පැස්ට එක කාලා ඉවර වෙද්දිම වගේ යාළුවො දෙන්න ආවා. ඇවිල්ල මටත් දෙස් තියල.. දන්නැද්ද! මොකද මම හැම එකෙන්ම අවුස්සල අවුස්සල කාලානෙ.

කොහොමහරි විශේෂයෙන්ම කියන්න ඕන එයාලාගෙ චොක්ලට් රොටිය ගැන. ඒකනම් යාළු මීට කලින් නොකාපු සුපිරිම ඩෙසට් එකක් ඈ.. තුනී රොටියක් මැද්දට ආනමාලු පෙති කපල තියල, හොඳ කොලිටි චොකලට් ටිකක් උණු කරල ඇති පදමට වත්කරල. ෂප්පේ.. කෑල්ලක් කද්දි නිකම් චොකලට් එළියට පනින ගානයි. බොරු කියන්න ඕන නෑනෙ. අපි ඉන්න අතරටම ආවා සුද්දො 7, 8ක් කෝපි බීලා ඒ රොටියටම කාලා යන්න, ඕං...


TIP

Try Grilled Chicken & Chocolate Roti

Have you visited this place?

Write your own review!
Leave a comment