Artwork for Sampath - Top
Artwork for Kingsbury Top - Honey Beach New

4/5

Mango Mango Indian Restaurant

219, Galle Road, Panadura


A decent Indian restaurant at Panadura, with quality North Indian food.


පහුගිය දවසක අපි තුඩුගල ගියානේ කෙල්ලෙක් බලන්න. කෙල්ලෙක් කිව්වට මේක මේ කළුතර පැත්තේ තියෙන හරි ලස්සන දිය ඇල්ලක් (වෙලාවක ඔයාලත් ගිහින් බලන්නකෝ). උදැහැනැක්කෙ ම කුකුළත් අතින් අරගෙන මේ ගමන ගිහින්, නාලාකරලා එද්දී අපට දැනුණේ හෙන බඩගින්නක්. කොළඹට ඇවිදින් කනවා කියලා තමයි මුලින් කතාව තිබුණේ. ඒ වුණාට බස් එක ඉස්සරහට යන මීටරයක් ගානෙ බඩේ පණුවෝ බොක්සිං ගහන්න ගත්තේ තරගෙට වගේ. ඉවසන් ඉන්න ම බැරි තැන අපි කාණ්ඩෙ පානදුර හන්දිය පහුවුණු ගමන් බස් එකෙන් බැස්සා. කිරිමැටි හරි කමක් නෑ මේ බඩගින්නට කියලා.

මෙන්න බොලේ දෙයියෝ බැලුවා වගේ පාරේ එහාපැත්තෙ හොඳ අපූරු පෙනුමට තියෙන කෑම කඩයක්. එකේ නම “මැන්ගෝ මැන්ගෝ”. දනිපනිගාලා පාර පැනපු අපි හනි හනිකට මේ රෙස්ටෝරට් එකට ගියා.

වාතාවරණය

මැන්ගෝ මැන්ගෝ කියන්නේ හොඳට ඉඩකඩ ඇති රෙස්ටෝරන්ට් එකක්. කලින් කිව්වත් වගේ පානදුර හන්දියට හෝල්ට් එකක් වගේ මෙහායින්, මොරටුව පැත්තට බර වෙලා තමයි මේක තියෙන්නේ. ඉතින් සුවපහසුවට වාඩිවෙලා පවුල් පිටින් කෑම ගන්න පුළුවන්. මේකෙ ඇතුළත් හරි පිරිසිදුයි. කුෂන් අල්ලපු ලී පුටු, මේස එහෙමත් පිළිවෙළට අහුරලා. ගාලු පාරේ කළබලේ රෙස්ටෝරන්ට් එකට නොදැනෙන තරම්. ලොකු සද්දබද්ද මුකුත් නැහැ. මහන්සිවෙලා ඉඳපු අපට මෙතැනින් දැනුණේ හරි සැහැල්ලු ගතියක්.

කෑම බීම

ඉන්දියන් කෑම පිරුණු පත මෙනුවක් මැන්ගෝ මැන්ගෝ එකේ තියෙනවා. මේ සේරම උතුරු ඉන්දියානු හැඩයට හදපුවා. බීම විදියට තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස් සහ මිල්ක්ෂේක් වගේ ජාති.

ස්ටාටර් එක විදියට අපි චීස් පැකෝරා (රු.490) එකක් ඕඩර් කළා. මේක ප්‍රොසෙස්ඩ් චීස් එකක් වටේ කහ පාට දවටනයක් දාලා බැදපු කෑමක්. හොඳ කුළුබඩු රසක් මේ දවටනයේ තිබුණා. අපට දැනගන්න ලැබුණු විදියට මේ දවටනේ හැදෙන්නේ කුළුබඩු එක්ක එකතු කරපු කඩල පිටි සහ කෝන් පිටිවලින්. නියම ෆ්‍රෙෂ් ගතියට තිබුණු නිසා මේක හපද්දී එන ළා කරස් සද්දේ තමයි මරු.

අහ්! කියන්න අමතක වුණානේ. මේ රෙස්ටෝරන්ට් එකට කවුරු ඇවිත් මොනවා ඕඩර් කළත්, මේසෙට එන තවත් කෑම වර්ගයක් තියෙනවා. මේක මසාලා පපඩම් එකක්. රතු සහ කොළ පාටින් හදපු දියාරු සම්බෝල දෙකකුත් එක්කයි මේක මේසෙට එන්නේ. මේකත් නියමයි. සම්බෝල දෙක ම පට්ට ස්පයිසි. අපි අර කලින් කිව්ව චීස් පැකෝරා ටික කෑවෙත් මේ සම්බෝල දෙකේ තවරගෙන.

ඊටපස්සේ අපි ගත්තේ බටර් නාන් (රු.125) එක්ක බටර් චිකන් (රු.495) කරියක්. ගඩොල් රතේ පාටට දිලිසිදිලිසි ආව මේ බටර් චිකන් කරිය දැක්ක ම ආසාවේ බෑ. හැබැයි මේකේ ලොකු චිකන් කෑලි තිබුණේ නැහැ. ඒ වෙනුවට, පොඩි චිකන් කෑලි ගොඩක් තිබුණා.

අනේ පොඩි, ලොකු ප්‍රශ්න මොකටද මහත්තයෝ කරිය රස නම්! යස රසට හදලා තිබුණු බටර් නාන් එකත් එක්ක මේක නියමෙට නැගලා ගියා.

අපි ගත්ත සුබ්සි ධම් බිරියානි (රු.400) එක එළවළු බිරියානි එකක්. ග්‍රීන්පීස්, මුද්දරප්පලම්, රටකජු, බැදපු ලූණු එහෙම මිශ්‍ර වෙලා හැදුණු මේ බත පංකාදු පහයි. හප්පේ! මේකෙන් එන සුවඳ. අම්මපා ඒ සුවඳට ම බඩ කට පිරෙනවා. සාමාන්‍ය චිකන් බිරියානි එකක බත ඇතුළේ චිකන් ගිල්ලනවා වගේ, මේකේ බතට ඇතුළෙන් තිබුණේ හොඳ රස එළවළු කරියක්. ලොකු තෙල් ගතියකුත් නැහැ. අනික අර බටර් චිකන් එකත් තිබුණනේ. ඒකත් එක්ක මේ වගේ බත් බුසලක් තිබුණත් වගකියන්න පුළුවන් කියලයි අපට හිතුණේ.

මැන්ගෝ මැන්ගෝ එකේ චොකලට් මිල්ක්ෂේක් (රු.280) එක නම් කාලෙකට අමතක වෙන එකක් නැහැ. ගොඩක් වෙලාවට ඔය මිල්ක්ෂේක් කියල රෙස්ටෝරන්ට්වලින් කරන්නේ අමු ප්‍රෝඩාවනේ. එක්කෝ කඩේ තියෙන අයිස්ක්‍රීම් හැන්දකට වතුර දාලා දෙයි. නැත්තන් චොකලට් කිරි දාලා දෙයි. හැබැයි මේක එහෙම නෙවෙයි. හොඳට චොකලට් රස තිබුණා. චොකලට් සිරප් එහෙමත් එකතු කරලා. නියම උකුයි. තිබහට මසුරං!

මෙච්චරත් රස කෑම වේලක් කාපු එකේ, ඩෙසට් එකක් නොකා ගියොත් හරි නෑනේ. මට නම් ඕනෙකම තිබුණේ කුල්ෆි අයිස්ක්‍රීම් එකක් ගන්න. ඒ වුණාට මේ දවස්වල ඒවා මැන්ගෝ මැන්ගෝ එකේ නැහැලු. ඒ නිසා මම ක්‍රීම් කැරමල් (රු.190) එකක් ඕඩර් කළා.

ඔයාලට කියන්න යාළුවනේ මේක කිතුල් පැණිවල බස්සපු කැරමල් එකක්. ගාණට කෑලි කැපෙන සයිස් එකට මෘදුයි. හරි හරියට ක්‍රීමි ගතියත් තිබුණා. අනේ ඉතින් කන්නද බැරි! මේක අපි කට්ටිය කෑවේ තරගෙට වගේ.

සර්විස් එක

කොච්චර කට්ටිය හිටියත්, විනාඩි දහපහළොවක් ඇතුළත කෑම ටික මේසෙට ගේන්න මැන්ගෝ මැන්ගෝ එකේ සේවක මිත්‍රයන්ට පුළුවන්. වැඩිය කතාබහක්, හිනාවක් එහෙම නම් නැහැ. ඒ වුණාට ගානට, නූලට ඕඩරේ මේසෙට එනවා.

අවසාන වශයෙන්

ඇත්තම කිව්වොත් මැන්ගෝ මැන්ගෝ කියන්නේ පානදුරේට හොයාගෙන ගිහින් කාලා ආවත් පාඩු නැති තැනක්. හරි ම සාධාරණ ගණන් තියෙන්නේ. අපි දෙන්නෙක්ගේ බිල ආවේ රුපියල් 2315යි. ඒත් කෑව කෑම තොගේ හැටියට ඒ ගාණට සෑහෙන්න වටිනවා. මොකද පෝෂන් සයිස් එහෙමත් ලොකුයිනේ. ඉතින් බඩ පැලෙනකන් කන්න පුළුවන්.

TIP

They are not operational between 3.00 PM to 6.00 PM.

Similar Places

User Reviews
Avatar for Vishvi

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

See 1 Comment