4/5

Matara Bath Kade

Pannipitiya road, Battaramulla


Small eatery that serves up some mediocre rice and curry with delicious pork curry



මදැයි පෝක් කොත්තු කන්න ගියා…

එක අඩියයි කඩේට තිබ්බෙ. තියල නිකමට ඇහුව පෝක් කොත්තු තියෙනවද කියල. මෙන්න එක පාරට ම එ්කා කියාපි “පෝක් නෑ. කඩේ අරින්නෙ හැංදෑවටනෙ. හැන්දෑවට එන්න ”

මට නේද..

හොම්බට දෙකක් අනින්න හිතුණෙ. ඇයි යකෝ හරියට නිකම් පිනට කන්න ආවා වගේ.

අනේ මන්දා ඉතින් අපේවුණ්ගෙ කඩ කිරිල්ල. මිනිස්සු එයිද කියන්නකො ඔහොම කළාම ඉතින්.

කොහොම කොහොම හරි ඒකට කාරි නෑ කියල හිත හදාගෙන මම ගියා තව පොඩ්ඩක් ඉස්සරහට. කොත්තු නැති එකේ බත්වත් කන්න ඕනනෙ? මොකද උදේ ඉඳන්ම බඩගින්නෙ.

වැඩේ කියන්නෙ ඒ යද්දි මට මගේ පරණ යාළුවෙකුත් හම්බවුණා. බැලින්නම් පොරත් දවල් කෑමට යන ගමන්.

“ඒ, මාර වැඩක්නෙ බං උනේ. අන්න අර වංගුවෙ කඩේ එකාගෙන් මම ඇහුවා...” වෙච්ච සිද්ධිය මුල ඉඳන් ම මම යාළුවට කිව්වා. කියලා... යාළුවත් එක්කම සෙට් වුණා බත් ටිකක් කන්න යන්න කියල.

“දැන් කොහාටද බං යන්නෙ?”

“යන්නෙ කියන්නේ, උඹට පෝක් ඕනනෙ. යමං මාතර බත් කඩේට. ඒකෙ තියෙනව සුප්ප පෝක් එකක්”

“සිරාවටම! යමං යමං එහෙනම් හිතේ දුකටත් ඇරලා දාමු පෝක් ම”

යාළුවට බයිසිකලේම එන්න කියල අඩියට දෙකට වංගුව ගත්ත මම කෙළින්ම නතර වුණේ පාරෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න තියෙන පරණ වලව්වක හදපු මාතර බත් කඩේට.

ෂැහ්! යද්දි ම නිකම් සුවඳ එනවා.. කටට කෙළ උනන්න. ඒ අස්සෙ උණු උණු පෝක් බේසමකුත් මටම කියන්න වගේ කෙළින්ම කෑම බෙදන මේස උඩට. මට නිකම් හෑක් ගෑවිලා හිටියෙ.

“මහත්තය මොනවද?”

“ආ.. අහ්! මට පෝක් කෑම එකකුයි (රු. 280). පෝක් පෝෂන් එකකුත් දෙන්නකො වෙනමම” සේවක මිත්‍රයගෙ වචනෙ නැත්නම් මම තාමත් සිහි විකල්ලෙ. ඒ අතර යාළුවත් බැදපු මාළු බත් එකක්ද (රු. 200) කොහෙද අරගෙන.

වැඩේ කියන්නෙ, උණු උණු බත් දෙකම දුන්නනෙ අතට. හප්පේ ඒකෙ උණුව කියන්නෙ අල්ලගෙන ඉන්න බැරි තරම් ආයෙ. කොහොම හරි ඉතින් දෙන්නත් එක්ක, බත් දෙක වට්ටගන්නෙ නැතුව සනික මේසෙට ගෙනිච්චා. ගෙනිහිල්ලා…

කියන්න ඕන නෑනෙ නේ. වෙනමම ගත්තු පෝර්ක කරියත් දෙකට බෙදාගෙන ඔන්න වැඩේ පටන් ගත්ත.

උණුයි උණුයි කියල බැලුවෙ නෑ ඉස්ඉස්සෙල්ලම කෑවෙ පෝක් කෑලි දෙක තුනක්, එක දිගට.

පුහ්! ඇඬෙනව ඈ… ආයෙ මිරිස් තුනපහ දාලා තියෙනව ලෝබ නැතුව. ඊටත් ඒක දාලා මයෙ හිතේ පදම් වෙන්න ඇරලද මන්දා පෝක් කෑලි හොඳ හැටි පදම් වෙලා කියන්නකො. ලුණු ඇඹුල් ගතියත් නූලට. අර එකම අවුල වුණේ කෑලි පොඩි එක තමයි. ඒත් ඉතින් පෝර්ක හොද්දෙ තියෙන රසත් එක්ක, කෑලි පොඩි එක නම් මොනවද කියල හිතෙනව. ඇත්තටම පළවෙනි බත් කට කන්න කලින්ම මට හිතිලා තිබ්බෙ ‘පෝරණු පාන් ගෙඩියක් හරි පරාටා හරි තිබුන නම් කියල’

එහෙම හිතිල අනික් පැත්තට පෝක් එක්ක ඇනෙන බත් කටට පරිප්පුත් එකතු වුණානෙ. අන්න එතකොට තේරුනා… උණු උණු බතුත් අවුලක්ම නෑ කියල. මොකද එයාලගෙ පරිප්පු එකත් හොඳ හැටි කිරි දාලා පොඩ්ඩ හිඳෙන්න ඇරල හදපු ව්‍යංජනේනෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු බත් එකට ආපු වට්ටක්කා එකත් පංකාදු පහයි. පොල් එහෙමත් පොඩ්ඩ අඹරල දාලා නිසා රස ඩබල් ත්‍රිබල්. අනික ඒකට මිරිස් තුනපහ එහෙමත් පදමටම දාලනෙ. වට්ටක්කා එකත් එක්ක තකට තක සෙට් වුණේ බැදපු මිරිස් කරල් තමයි. ඒකත් පෝක් හොදිත් ගැලපුනාම… හප්පේ! බත් එක යනව ගජරාමෙට ඇඹරි ඇඹරි. අතට විවේකයකුත් නෑ, කටට විවේකයකුත් නෑ.

ඔය අතරට මග ඇරිලම තිබ්බ දේවල් අතරින් මට හොඳටම ඇල්ලුවෙ පළා මැල්ලුම. ඇත්තටම කඩයක හදපු එකක් කියල කියන්නවත් බැරි තරම්. මොකද ඒතරම් ෆ්‍රෙෂ්. අනික පොල් චුට්ටක් එහෙමත් දාලා ලාවට මලවල නිසා… ටොපේ ටොප්!

හ්ම්ම්… බණ්ඩක්කා තෙල් දැමුමකුත් තිබ්බ. ඒකෙ නම් සැර ටිකක් මදි මගෙ හිතේ. හැබැයි යාළුව බෙදාගෙන තිබුණ බැදපු මාළු කෑල්ල නියම පදමට තිබ්බ. ගැඹුරු තෙලේ හොඳ හැටි බැදිලා…

ඒ හැරුනාම ඉතින්…

ඒ හැරුනාම ඉතින් තව මොනවද? ඔය මදෑ බඩ පැළෙන්න බත් කන්න. ඇයි අප්පේ… රු. 200-300යි ගාණත්.

ආ නැද්ද මං කියන්නෙ!


TIP

Try Pork

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment