Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Mithuro Cafe

9, R. A De Mel Mawatha, Colombo 04


Mithuro Cafe does good rice and curry for cheap, and we especially love their 'chicken pieces' rotti.



හැමදාම ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන් කාලා ලඟදිම දවසක කොලෙස්ට‍රෝල් නගිනව ෂුවර්. මේ වැඩේ හරියන්නෑ. ගමේ රහට කෑම ටිකක් කන්න තැනක් හොයා ගන්න ඕන කියල හිත හිත ඉඳපු මට මිතුරෝ කැෆේ කියලා තැනක් ගැන දැන ගන්න ලැබුනෙ අපේ භාග්‍යෙගන්. දවල් කෑමට එළියට යන්න චිනාටත් කතා කර ගත්තු මම මැල් මාවතේ ඩි ෆොන්සේකා ප්ලේස් එක පහුකරන් වැල්ලවත්ත පැත්තට යනකොට දකුණු අත පැත්තෙ තියෙන මිතුරෝ කැෆේ එකට යද්දි දවල් 2ට විතර ඇති.

වාතාවරණය

මිතුරෝ කැෆේ එකේ ඇතුල ලස්සන නැති වුනාට හොඳට ඉඩ තියෙන ගස් කොළන් පිරිච්ච හරිම ලස්සන එළිමහන් භෝජනාගාරයක් නම් තියෙනවා. එතන බාගෙට බාගයක්ම ඉන්නෙ වටපිටාවෙ ඔෆිස් වල කට්ටිය. මම හිතන්නෙ කෑම රස ඇති. මට එක පාරටම මතක් වුනේ වැල්ලවත්තෙ යාල් හෝටලේ. කඩේ ඇතුලෙන් කොත්තු දාන සද්දෙකුත් ඇහෙනව. දවල්ටත් කොත්තු, ආප්ප එහෙම තියෙන පාටයි. කෝකටත් අහල බලන්න ඕන කියල හිතපු මම කැෂියර්ගෙන් මෙනුවක් ඉල්ලුවා.

''මෙනු එකක් නම් නෑ සර්. මේ කෑම ටික ඇරුණාම උඩ තියෙනව ගමේ කෑම බුෆේ එකක්. ඒකත් බලලම එන්න'' කැෂියර් මිතුරා කිව්වා. ඕක ඇහුණා විතරයි චින්තකයි මායි උඩ තට්ටුවට ගියේ පියාඹලා වගේ.

ආහාර සහ සේවාව

පොල් අතු පැලක උණ බම්බු පිළ උඩ තියෙන මැටි වලං ටික දැක්කාම අපි දෙන්නට පිස්සු වගේ. වැඩිය කට්ටියත් නැති නිසා අපි මැටි වළං ටිකට හෙමිහිට ලං කරල බැලුවා. රතු, සුදු ජාති දෙකෙන් බත්. එළවළු ජාතිත් හත අටක් විතර. ඇයි මාළු ඇඹුල් තියල්, බැදපු මාළු, කුකුල් මස්. දැක්කාම කටට කෙල උනනවා. අපි දෙන්න බත් ටික දිහා බලන් ඉන්න කොට තමයි පුංචි හිනාවකුත් දාගෙනම සේවක මිතුරෙක් එතනට ආවෙ. ''සර්, රතුද සුදුද ?'' නෙළුම් කොළයක් දාපු පොඩි පන් වට්ටිය අල්ල උඩින් තියාගෙන අනිත් අතින් බත් හැන්ද අතට ගන්න ගමන් සේවක මිතුරා මගෙන් ඇහුවා. ඇත්තටම මිතුරෝ කැෆේ එකේ සේවක මිතුරෝ ටික හරිම මිත්‍රශීලී වගේම හරිම කාර්යක්ෂමයි.

රතු බතුයි බැදපු මාළු කෑල්ලයි (මාළු - රු. 190) එක්ක පරිප්පු, කොළ මැල්ලුම්, බතල තෙල් දැමුම, තලන බටු, පිපිඤ්ඤා ව්‍යංජන! ඒ විතරක් නෙවෙයි, ලොකු පපඩමකුයි බැදපු මිරිස් කරල් තුන හතරකුයිත් මගේ බත් එකේ තියෙනවා. චින්තක නම් බෙදාගෙන තිබුනෙ සුදු බතුයි කුකුල් මසුයි (කුකුල් මස් - රු. 220). ඒ හැරුනාම වෙනසකට කියල තිබ්බෙ පොලොස් ටිකක් බෙදා ගෙන තිබුණ එක තමයි.

බත් දෙක දිහා බලා ගෙන දෙන්නට ඇහි පිල්ලමක්වත් ගහන්න හිතක් තිබුනෙ නෑ. මොකද ඒ තරම් රස පාටයි. චිනා දුන්න පොලොස් කෑල්ල වෙනුවට මම පරිප්පු ටිකක් දීලා ඒ ගැම්මටම නෙළුම් කොලේ බත් පතට වග කියන්න පටන් ගත්තා. හැම ජාතියෙන්ම වගේ ව්‍යංජන දාලා අනාගත්තු පළවෙනි බත් කට දිවට ගෙනාපු රස නම් ආයෙ කතා දෙකක් නෑ කෙලින්ම 'ඇඹුල'ම තමයි.

නිවුඩ්ඩ හොඳට තියෙන්න ගත්තු රතු හාලේ බතට හොඳට කිරි දාලා උයපු පරිප්පු ව්‍යංජනෙයි උණු උණුවෙ බැදුම් රස ගේන මාළු කෑල්ලෙයි ගැලපුම නම් පංකාදු පහයි. කොළ මැල්ලුම කලවම් එකක්. හැබැයි බලන්න එපැයි ඒකෙ තියෙන ලුණු ඇඹුල් පදම බත් කටට ගේන රස. ඒ විතරක් නෙවෙයි. මදි නොකියන්න කිරි දාලා හදපු පිපිඤ්ඤා ව්‍යංජනේ, මම හිතුවෙ මුලින්ම පුහුල් ව්‍යංජනයක් කියල. ඒ තරම් රසයි. අබ, සුදු ළූණු ටිකකුත් අඹරලා දාලා පොල් ටිකකුත් බැදලා දාලා හදපු පිපිඤ්ඤා එක නම් මරේ මරු. වැඩිත් නැති අඩුත් නැති සැරක් තියෙන්නයි ලා තෙල් ගතියක් තියෙන්නයි හදපු බතල තෙල් දැමුම බත් එකට ගෙනාවෙ බැදපු මිරිස් බත් එකට ගේන කටගැස්මට වඩා වෙනස් කටගැස්මක්. පොඩියට කපපු බතල කෑලි පදමට තැම්බිලා නිසා මම නම් බතල කෑලි දෙක තුන එක පාරකට කෑවෙ හරිම ආසාවෙන්.

තලන බටු හදල තිබුනෙ කිරෙන් උයලා තෙල් ටිකකුත් දාලා අරගෙන. රතු බතුයි තලන බටුයි ඒකෙ ඉස්මයි මම වෙනමම රස බැලුවෙ බැදපු මිරිස් කෑල්ලක් එක්ක. කියාපු ගමේ රස! පොලොස් ව්‍යංජනේ නම් තනිකරම ගේන්නෙ දකුණෙ රස. තුන පහ රසයි සැර ගතියයි පදමට එන්න හොඳට කිරි දාලා උයල තිබුන පොලොස් කෑල්ල, නෙළුම් කොලේ උඩ එක බත් ඇටයක් වත් ඉතිරි කරන්න මට ඉඩ තිබ්බෙ නෑ. කුකුල් මස් කෑල්ල නම් හොඳටම ගැලපෙන්නෙ සුදු බත් එකට තමයි. පොඩි තෙල් ගතියකුත් එක්ක හොඳ සැරට හදලා තිබුණ කුකුල් මස් ව්‍යංජනේට තව තුන පහ ටිකක් වැටුන නම් හොඳයි කියල තමයි මට නම් හිතුණෙ.

බඩ පැලෙන්න හිත පිරෙන්න කාපු අපි දෙන්න පන් වට්ටියෙ ඉතිරි වෙලා තියෙන නෙළුම් කොලේ දිහා බලා ගෙන ටිකක් වෙලා හිටියෙ කිරි මැටි ගිලපු කිඹුල්ලු දෙන්නෙක් වගේ. විනාඩි දෙක තුනක් පොඩි කතාවක් දාගෙන ඉඳපු අපි දෙන්නගෙ කතා බහේ වැඩි පුරම කියවුනේ ''පට්ට කෑම එක'' කියල තමයි. අත හෝදන් ආපු අපි දෙන්න විනාඩි පහ හයක් ඉඳල තමයි අතුරුපසට කන්න දෙයක් බැලුවෙ. වටලප්පම් (රු. 40) තියෙනවා.

කිතුල් හකුරු රසත් හොඳට තිබුන සීතල වටලප්පම් දෙකට මදි නොකියන්න බිත්තර එහෙම දාලා තමයි හදලා තිබුනෙ. වෙලාවට කජු, මුද්දරස්පලම් එහෙම දාලා තිබුනෙ නැත්තෙ. නැත්නම් වටලප්පම් කෑවද කියලවත් මතක නැතිවෙන වේගෙකින් තමයි ඒ ටික බඩට යන්නෙ.

අනුමිතිය

මිතුරෝ කැෆේ එකෙන් කාපු මිතුරෝ දෙන්නට මිනිත්තුවක් වත් හිටගෙන නම් ඉන්න බෑ. ලී බංකුව උඩින් වාඩි වුන චිනයි මායි චින්තකයි ලී මේසෙට බර වෙලා කතා කර කර හිටියෙ මෙච්චර රස කෑම තියෙන කඩයක් මෙච්චර ලඟ තිබිලත් අපිට හමුවෙන්න මෙච්චර කල් ගියේ ඇයි කියල.


TIP

Try Lotus leaf buffet.

Address

9, R. A De Mel Mawatha, Colombo 04

Directions

It's right opposite Levi's and near Laugfs on Duplication Road.

Contacts

Report Inaccuracy
Similar Places

User Reviews
See 1 Comment