Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

3/5

Mona's Kitchen

80, Pannipitiya Road, Battaramulla


Mona's Kitchen is a popular spot down Pannipitiya road, that dishes out a range of Italian and Sri Lankan cuisine.



පහුගිය සුමානේ දවසක අපි කට්ටියක් ගියා දියත උයනේ රවුමක් ගහන්න. සතිය මැද දවසක් නිසාදෝ හෝ සෙනඟත් තරමක් අඩුයි. ඒත් ඉතින් අව්ව කියලා බැලුවේ නෑ, අපේ සෙට් එක ගස් ගල් අල්ලගෙන ෆොටෝ කෑලි ගහලා ඉවර වෙද්දී දවල් 2ටත් කිට්ටුවෙලා. ඊටපස්සේ තමයි කට්ටිය ම දවල්ට කන්න තැනක් ගැන කල්පනා කළේ.

දියතේ නම් හෝ ගාලා කෑම කඩ තියෙනවා තමයි. හැබැයි එකක්වත් අපට සෙට් වෙන තාලේ ඒවා නෙවෙයි. අනික අව්වේ ඇවිදලා අපි හැමෝම හෙම්බත් වෙලා හිටියේ. ඔයින් මෙයින් ගූගල් මැප් එකේ කැරකුණු අපට ඔන්න හම්බවුණා රෙස්ටෝරන්ට් එකක්. මේකේ නම මෝනා’ස් කිචන්. අපි ඉඳපු තැන ඉඳලා ටුක් එකේ රු.80 දුර.

තැන

මෝනා’ස් කිචන් එක තියෙන්නේ බත්තරමුල්ලේ පන්නිපිටිය පාරේ. මේක ඇත්තට ම පරණ තාලේ ගෙදරක් පොඩ්ඩක් හැඩ වැඩ කරලා රෙස්ටෝරන්ට් එකක් විදියට පෙරළපු එකක්. මීට කලිනුත් මෙතැන රෙස්ටෝරන්ට් කීපයක් ම තිබුණු බවයි අපේ බුද්ධික කිව්වේ.

කොහොම වුණත් සෑහෙන්න ඉඩකඩ තියෙනවා. රෙස්ටෝරන්ට් එක ඇතුළේ වාඩි වෙන්න අකමැති නම්, මේකේ ඉස්තෝප්පු කෑල්ලේ තියෙන සෝෆා එකට බර වෙන්නත් පුළුවන්. ඇත්ත ම කිව්වොත් රෙස්ටෝරන්ට් එක පුරාවට ම පැතිරිලා තියෙන්නේ හරි homey ෆීලින් එකක්. පාරේ යන වාහනවල සද්දෙන් කරදරෙකුත් නැහැ. ලාවට ඇහෙන මියුසික් එකත් අහගෙන, තමන්ගේ පාඩුවේ කෑම ටික ගන්න තමයි තියෙන්නේ.

කෑම බීම

මේ කට්ටියගේ මෙනුවේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ ඉටැලියන් සහ ශ්‍රී ලංකන් විදියට. ඉතින් පීසා, පැස්ටා, කොත්තු, බත් වර්ග ආදී වශයෙන් තියෙන කෑම තොගයක් මේ මෙනු දෙකේ අන්තර්ගතයි. බීම විදියට තියෙන්නේ කෝපි, මිල්ක්ෂේක්, තේ, ෆෘට් ජූස් වගේ ජාති. අහ්! ඒ විතරක්යැ ඇල්කොහොල් බීමත් තියෙනවා. මහ දවාලේ ගියත් මේ අයගෙන්  කොක්ටේල් එහෙම ගන්න පුළුවන්.

කෑම මෙනුවෙන් චිකන් කොත්තු (රු.490, චීස් දාලා රු.590) එකකුයි, පීසා (රු.1400) එකකුයි ගත්ත අපි බීම මෙනුවෙන් ලයිම් ජූස් (රු.290) එකකුයි, කැපුචිනෝ (රු.350) එකකුයි ඕඩර් කළා. ඔය ගොඩක් පීසා කඩවල්වල වගේ මෙතැනත් හාෆ්-බයි-හාෆ් පීසා ගන්න ඇහැකි. හැබැයි ගාණ වැටෙන්නේ මිල වැඩි පීසා එකට. අපි ගත්ත පීසා එකේ එක පැත්තක තිබුණේ මෝනා’ස් ස්පෙෂල් ශ්‍රී ලංකන් ස්ටයිල් පීසා (රු.1400) එක. අනිත් පැත්තේ මාගරීටා (රු.990).

දැනට අපි කොළඹ පැත්තේ කාලා තියෙන දර පෝරණු පීසා එක්ක සලකලා බැලුව ම නම් මෝනා’ස් කිචන් එකේ පීසා තව පොඩ්ඩක් දියුණු වෙන්න ඕනේ කියලයි අපේ අදහස. මොකද මේකේ ක්‍රස්ට් එක තින් වුණාට, ක්‍රිස්පි ගතියක් හරියට තිබුණේ නැහැ. කොහොම වුණත් ශ්‍රී ලංකන් ස්ටයිල් පීසා එකේ ශ්‍රී ලංකන් ට්විස්ට් එක හොඳට ම දැනුණා. මොකද අමු මිරිස්, ලූණු, කෑලි මිරිස් එහෙම මදි පාඩුවක් නොවෙන්න දාලා තිබුණනේ. ඊළඟට බ්ලැක් ඔලිව්ස්, බේකන් එහෙමත්. හැබැයි බේකන් ටික කරවල වගේ වෙන්න කර කරලා. පුදුම හයිය ගතියයි. ලුණු රස ඇරෙන්න වෙන දෙයක් ඒවායින් දැනෙන්නේ නැහැ.

මාගරීටා පීසා එක නම් ඒ හැටි වැරද්දක් නැහැ. හොඳට ටෝමාටෝ බේස් එක දාලා තිබුණා. අනික චීසුත් හොඳට ම එක්කාසු කරලා. ශ්‍රී ලංකන් ස්ටයිල් පීසා එකට වඩා මේක ගොඩක් හොඳයි.

චිකන් කොත්තුව රු.590ට සෑහෙන්න අපරාදේ. චීස් දාලා ගත්තට චීස් රසක් ආවෙවත් නැති තරම්. කිරිවල රස නම් ආවා. රොටිවල රසට වඩා ආවේ එළවළුවල රස. පොඩි පොඩි චිකන් කෑලි ටිකකුත් තිබුණා. අර CP’s Grill එකේ රු.450ට දෙන චීස් වෑහෙන කොත්තුව කිට්ටුවෙන්වත් තියන්න බැහැ.

ලයිම් ජූස් එකේ තද ලයිම් රසක් තිබුණට, පොඩ්ඩක් වතුර ගතිය වැඩියි. අනික සීනි හරියට බැලන්ස් වෙලත් නැහැ.

කැපුචිනෝ එක හරිම ස්මූත්. ඒ නිසා ශේප් එකේ කෝපි බොන කෙනෙක්ට වුණත් මේක හැන්ඩ්ල් කරන්න ඇහැකි. කිරි රසත් හොඳට ම ආවා. සීනි හැන්දක් වගේ දාගත්තත් ඇති. හැබැයි හැමදාම කෝපි බොන කෙනෙක්ට නම් මේකේ ඒ හැටි ගැම්මක් එන එකක් නැහැ.

සර්විස් එක

අපි මෙතැනට ගොඩ වුණේ සතියේ දවසක දවල් වරුවේ. රෙස්ටෝරන්ට් එකට ම හිටියේ අපි විතරයි. මෙතැනට සෙනඟ වැඩිපුර ඇදෙන්නේ හැන්දෑවට කියලා තමයි ආරංචිය. කොහොම වුණත් සර්විස් එක හොඳට ම තිබුණා. ස්ටාෆ් එකේ අය හරි ම සුහදශීලියි. හොඳට හිනාවෙලා කතාබහ කරනවා. කෑම බීම සර්ව් කළාට පස්සෙත් දෙතුන් ගමනක් ඇවිල්ලා අඩුපාඩු හොයලා බලන්න ඒ කට්ටිය අමතක කළේ නැහැ.

අවසාන වශයෙන්

බත්තරමුල්ල පැත්තෙන් යන එන වෙලාවක ගොඩ වුණොත් ඇරෙන්න, තකහනියක් ගිහින් කන්න තරම් ගතියක් නම් මෝනා’ස් කිචන් එකේ නැහැ. මොකද කෑම බීමවල ලොකු කලඑළියක් දැකගන්න ලැබෙන්නේ නැහැනේ. මිල ගණන් පැත්තෙන් බැලුවත් ගොඩක් කෑම තියෙන්නේ ගාණ වැඩි පැත්තේ. අනික සර්විස් චාර්ජ්, ටැක්ස් වැදිලා එද්දී තවත් ඔය ගාණ ඉහළ යනවා. ඒ පැත්තේ ගිය වෙලාවක ඔයාලාත් ගොඩ වෙලා බලන්නකෝ එහෙනම්.

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment