Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Namunukula Mountain (Passara)

Badulla District, Sri Lanka


Located near Passara, Badulla, Namunukula peak is the 12th highest in Sri Lanka



ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියන නමුණුකුල කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්හි පිහිටා ඇත. උස අඩි 6677 (2011.7 m) ක් වූ මෙම කඳු පන්තියෙහි උස්ම ස්ථානය නමුණුකුල කන්ද ලෙසින් ගම්වාසීන් හඳුන්වයි.

නමුණුකුල කන්ද සතු වන මුදුන් තැනිතලාව කඳු පාමුල සිට බැලූ කල්හි දිස්වනුයේ සෘජුව ඉහළට නැගි කන්දෙහි එකවරම ඇතිවන නැම්මක් ලෙසිනි. එබැවින් මෙය පැරැන්නන්ගේ ව්‍යවහාරයෙහි නැමුණු කන්ද හෙවත් නැමුණුකුල ලෙසින් හැඳින්විණ. පසුකාලීන භාෂා විකාශනයේදී විවිධ ජනවර්ගයන්ගේ උච්චාරණයන් නිසාවෙන් නැමුණුකුල යන නාමය නමුණුකුල බවට පරිවර්තනය වන්නට ඇත.

ඉන්දික නම් දෙවි කෙනෙකු විසින් නමුණුකුල කඳුපන්තිය ආරක්ෂා කරමින් එහි වාසය කරන බැව් ලාංකීය පුරාවෘත වල සඳහන් වේ. මීමලේ ගම් වාසීන් කඳු පන්තිය පූජනීයත්වයෙන් සලකන බැව් පිවිසුම් මාර්ගයෙහි දෙපස නිර්මාණය කොට ඇති කෝවිල් සහ දේවාල දුටු විට වැටහෙනු ඇත .

නමුණුකුල තරණය කිරිම සඳහා බදුල්ල, ඇල්ල හරහා නමුණුකුල සහ බදුල්ල - පස්සර මාර්ගයෙහි 2 කණුව හෝ 10 කණුව හරහා නමුණුකුල ලෙසින් පිවිසුම් මාර්ග කිහිපයක් ඇත. නමුත් අතරින් ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත්ම වනගත මං පෙත වනුයේ බදුල්ල, ස්ප්‍රිංවැලි, මීමලේ හරහා නමුණුකුල තෙක් දිවෙන මාර්ගයයි.

කොළඹ සිට කිලෝමීටර් 238 ක් පමණ දුරින් පිහිටි බදුල්ල නගරය වෙත පිවිසීම සඳහා ආසන්න වශයෙන් පැය 6 ක පමණ කාලයක් ගත වේ. ගමන සුවපහසුව නිමා කිරීමට හැකිවන සේ බස් රථ අංක 99 නැතිනම් කොළඹ - බදුල්ල හෝ කොළඹ - පස්සර ගමන් මාර්ගය අධි සුඛෝපභෝගී බස් රථ සේවාවකින්පවා සමන්විත වේ. එතැන් සිට බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ප්‍රථම අංගනයෙන් ස්ප්‍රිංවැලි හරහා මීමලේ ගම්මානය තෙක් ධාවනය වන බස් රථයකට ගොඩවී ගමනෙහි ඉතිරිය සම්පූර්ණ කිරීමට සිදුවේ. බදුල්ල නගරයෙහි සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 15 ක් පමණ දුරකින් පිහිටි මීමලේ ගම්මානය වෙත පිවිසීමට ගත වන්නේ පැය 1/2 ක පමණ කෙටි කාලයකි.

හිරු කිරණ පහසින් ජීවය ලැබ හරිත වර්ණයෙන් දිදුලන වතු යාය ඈතට දිස්වනුයේ නමුණුකුල කඳු පාමුල ඇතිරූ සේද සළුවක් මෙනි. නැවුම් වාතාශ්‍රය මුසු සිහිල් සුළං පොදක් නිරන්තයෙන් විත් ගමනේ විඩාව නිවාලයි. සිහිල් ජල ධහරාවකින් හෙබි කුඩා ඔය පහරක් දිය ඇල්ලක ස්වරූපයෙන් ඈතින් කඩා හැලේ. බහුතරයක් ගම් වාසීන් ද්‍රවිඩ ජාතිකයන් වූ මීමලේ ගම්මානයෙහි හිමිදිරියේ ඇසෙන කෝවිලේ පූජා නාදය පා ගමනට ලබා දෙන්නේ අසීමිත ජීවයකි. සෞම්‍ය දේශගුණයකින් හෙබි වූ පාරිසරීය ආශ්වාදය නිරන්තරයෙන්ම ගතත් සිතත් කුල්මත්ව තැබීමට කටයුතු කරයි.

ගිමන් නිවාලමින් යන පා ගමන පුරා පැය 1 1/2 කට අධික වූවකි. නමුණුකුල පිවිසුම් මාර්ගයහි මුල් කිලෝමීටරයට ආසන්න දුරක් සමන්විත වනුයේ වතු යාය මැදින් වැටුණු පුළුල් මාර්ගයකිනි. පසුව මුණ ගැසෙනුයේ විශාල ආනතියකින් යුතු ස්වභාවික මං පෙතකි. එහි අවසානයේ හමුවන කුඩා දිය කඩිත්තෙන් එගොඩ වුණ පසුව පිවිසෙනුයේ දැවැන්ත ටර්පන්ටයින් වෘක්ෂයන්ගෙන් ගහණ වනාන්තරය මධ්‍යයේ පිහිටි කුඩා අඩිපාරකටය. සැලකිය යුතු ආනතියකින් මෙය මුළුමනින්ම ලිස්සන සුළු මං පෙතකි. ඒ ඔස්සේ කිලෝමීටරයකට ආසන්න දුරක් ගමන් කළ පසු පිවිසෙනුයේ වියළි කළාපීය කඳුකර වනාන්තරයටයි. එම වන ගත මං පෙත ඔස්සේ තවත් කිලෝමීටර 2 කට ආසන්න දුරක් ගමන් කළ පසු නමුණුකුල ගිරි මුදුනට ලඟා වීමට හැකියාව ඇත.

ප්‍රථම වතාවට නමුණුකුල තරණය කරන්නෙකු මං පෙත වැරදී වනය තුළ මං මුලා වීමට ඉඩ ඇත. මන්ද යත් කාල වේලාවකින් තොරව වෙනස් වන දේශගුණය විටෙක ඝණ මිහිදුමෙන් මුළු වනාන්තරයම වසා ගැනීමට තරම් රෟද්‍ර වන බැවිනි.එනිසා ගමන් මාර්ගය දන්නා අයෙකු කැටුව යාම ඉතා යෝග්‍ය වේ.

විඩා බර පා ගමනක අවසානය වනුයේ ආශ්වාදජනක හැඟීමක ආරම්භයකි. එක් පසෙක වළාකුළු වලින් වැසී ගිය නමුණුකුල කඳු පන්තිය වෙයි. තවත් පසෙකින් පෙනෙනුයේ බදුල්ල නගරයයි. වෙන් වෙන්ව හඳුනාගත නොහැකි වුවද ඌව වෙල්ලස්ස ජනපදයෙහි පුළුල් ප්‍රදේශයක් නමුණුකුල කඳු මුඳුනට දිස්වෙන බැව කිව හැකිය.

මුළුමනින්ම තැනිතලාවක් වන නමුණුකුල කඳු මුදුන ආසන්න වශයෙන් වර්ග අඩි 2000 ක පමණ පුළුල් ඉඩ කඩක් සහිත ස්ථානයකි. කුමන යුගයක නිර්මාණයක් දැයි වටහා ගත නොහැකි වුවද කඳු මුදුනට පැමිණෙන්නගේ පිපාසය නිවාලීමට තනන ලද කුඩා ළිඳක්ද මෙම තැනිතලාවෙහි වෙයි. ඝණ දෙවි පිළිරුවක් සහිත කුඩා දේවාලයක් ද, බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා මල් ආසනයක් ද තැනිතලාවෙහි පසෙකින් නිර්මාණය කොට ඇත.

අධික සීතලකින් යුත් දේශගුණික තත්වයක් පවතින නමුණුකුල කඳු මුදුනෙහි විටින් විට ඇති වන සැඩ සුළං තත්ත්වයන් සහ වර්ෂාපතන තත්වයන් ද සිතෙහි ඇති කරනුයේ නිරන්තර චකිතයකි. අවට පරිසරයෙන් අඩි දෙක තුනක ප්‍රමාණයකින් ඔබ්බට පැහැදිලිව නොපීනීමට තරම් වූ ඝණ මිහිදුම් වලාවන් කඳු මුදුනෙහි කඳවුරු තැනීමට පැමිණෙන්නන් හට ගෙන එනුයේ අතිශය ත්‍රාසජනක අත්දැකීමකි.

මනා ජෛව විවිධත්වයකින් හෙබි නමුණුකුල අවට පරිසරය මීමින්නන්, ඕළු මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් වැනි ක්ෂීරපායින්ගේද නොයෙක් විද සමනළ සහ කුරුළු විශේෂයන්ගේද අභයභූමියක් වෙයි.

වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාසයන් හිදී කඩින් කඩ ඇද හැලෙන සංවහන වර්ෂාවන් නිසාවෙන් ද නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාල පරාසය තුළ නිරන්තරයෙන් ඇද හැලෙන ඊසාන දිග මෝසම් වර්ෂාව නිසාවෙන් ද නමුණුකුල පාගමන තරමක් අනතුරුදායක වූවකි. නමුත් මාර්තු සිට අගෝස්තු දක්වා කාල පරාසය තුළ මධ්‍යම කඳුකරයෙහි නැගෙනහිර බෑවුම් වෙත නිරන්තරයෙන් ලැබෙන තද හිරු එළිය සාර්ථක පා ගමනක නිමාවට මග පාදනු ඇත.

ත්‍රාසජනක අත්දැකිම් හඹා යන කණ්ඩායම් සඳහා නමුණුකුල පා ගමන ආස්වාදජනක අත්දැකීමක් ගෙන එන බව නිසැකය. සැඩ සුළං, ඝණ මිහිදුම් සහ අධික සීතල මධ්‍යයේ කඳු මුදුනේ කඳවුරු තනා රාත්‍රියක් ගත කිරිම ත්‍රාසජනකභාවය මුසු සෞන්දර්යාත්මක අත්දැකීමක පහසින් සිත් කළඹනවා නොඅනුමානය.

යහළුවනි, මෙවන් පා ගමන් වලදී නිසැකවම ඔබට පොලිතින් හෝ ප්ලාස්ටික් වලින් තැනූ ද්‍රව්‍යයන් ගෙන යාමට සිදුවෙනවා ඇත. නමුත් ගමනෙහි විඩාවේ උමතුවෙන් ගමන් මළු වල බර අඩු කර ගැනීමට නොදිරන ද්‍රව්‍යයන් මහ පොළව මත හෙළන්නට එපා. මන්දයත් ඔබේ ගමන් මල්ලෙන් අඩුවන බර මහ පොළවට උසුලාගත නොහැකි තරම් බරක් වූ දිනක ස්වභාවධර්මයේ ශාපය නිසැකවම ඔබ වෙතද පැමිණිය හැකි බැවිණි.

ස්තූතිය : මීමලේ ගම්වාසීන් සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන 'ගෝරා' වෙත.

Address

Badulla District, Sri Lanka

Directions

Access to Namunukula is easiest through the Passara - Badulla road.

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment