4/5

Napoli Artisan Pizza

4 Rohini Rd, Wellawatte


A brand new artisanal pizza place down Rohini Rd, Wellawatte.


“වැස්සෙ නේ ඒ… කොහොමද මේ වෙලාවට නිකම් බියර් එකක් එක්ක පීසා එකක් වගේ තිබුණ නම්?”

“මේ අයියෙ, ඔය ඔල්මොලොන්දම් අයිඩියාස් මගෙ ඔළුවට දාලා පිස්සෙක් කරන්න එපා හොඳද. පීසා කන්න තියා… මං මේ අතේ සතේ නැතුව ඉන්නව පාන් කියාගන්න බැරුව.”

“ආ… ඒක අවුලක් ගන්න එපා. යමු, අද මං ගාණෙ පීසා කමු”

“සිරාවටමද අයියෙ කියන්නෙ?”

“ආයෙ ඉතින්, අපි කිව්වොත් දන්නවනෙ. යං යං. විශ්වි මට ඒ දවස්වල කියපු පීසා කඩයකුත් තියෙනව වැල්ලවත්තෙ. අපි එ්කට යමු.”

කිව්වට විශ්වාස කරන්න යාළු කතාබහ ඉවර නෑ, අරයා දාලා කියන්නකො පික් මී එකක්. මම ෆෝන් එක අතට ගද්දි… “ඕන නෑ. මම එකක් දැම්මා” ලු. මටත් මොකෝ කියල, මම හිටියා වාහනේ එනකම්. ඉඳලා ඔන්න හෙමින් සැරේ නැග්ගා වැස්සෙම වීල් එකට. දන්නැද්ද ඉතින් වැස්ස වෙලාවට ගෝල් රෝඩ් එක? නොසෑහෙන්න ට්‍රැෆික් නෙ.

කොහොමහරි අපිට නුගේගොඩ ඉඳන් වැල්ලවත්තෙ රෝහිනී පාරට යන්නම ගියා විනාඩි 20ක් විතර. ඒත් අර හිතට දුකක් නෑ, යද්දි පීසා කඩේ ඇරලනෙ. අනික ඇතුළෙ කවුරුත් හිටියෙත් නෑ.

ඒකෙන්… අපි ගියපු ගමන් මේසෙ!

හිනාවක් දාගෙන, මෙනුවකුත් අරගෙන ඉස්සරහට ආවෙ මැනේජර් මහත්තය වෙන්න ඕන. කවුරු වුණත් හැබැයි හොඳ මනුස්සයා. මොකද පීසා තෝරන්න එයා අපිට සෑහෙන උදව් කළා. ඒ විතරක් නෙවෙයි, ඕඩරේ දාන අතරට පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු අඩුම කුඩුම ටිකත් මේසෙට ගෙනැල්ලා තියල ෆුල් ඇරේන්ජ්මන්ට් එකම දාලයි ආපහු කුස්සියට ගියේ. ඔය අතරට විශේෂයෙන් කියන්න ඕන මේ කඩේ ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි. ලී බේස් වෙන විදියට තමයි හැඩ වැඩ ටික දාලා තිබුණේ. අනික මේස පුටු එහෙමත් අර ෂොට් බාර්වල වගේ හොඳ උසට හදලා, බිත්තියක් නෑර එක එක චිත්‍ර වලින් හැඩ කරලා… සුපිරි ඈ!

කම්මැලි කමක් නැතුවම සුපිරි කයියක් දාන්න පුළුවන් ප්ලේස් එක නිසා අරයයි මායි, පීසා එනකම් බර කතාවකටයි සෙට් වුණේ. ඊටත් එයා ආසම කවි පොතත් එදා එයා ළඟ තිබ්බනෙ. ඉතින් කතාබහ තවත් රසවත්. අන්තිමට වෙලාව යනව තේරුණේ නෑ, පීසා එකින් එක මේසෙ උඩ!

මුලින්ම ආවෙ ට්විස්ටඩ් චිකන්, බීෆි මාෂප් බාගෙ බාගෙ එක (රු. 1600). ඊළඟට ෆැමිලි නයිට් අවුට්, මාස්ටර් පීස් බාගෙ බාගෙ එක (රු. 1350). වැඩේ කියන්නෙ ඒ ටික කාගෙ කාගෙන යද්දි මදි පාඩු සෝස් අනම් මනම්, කූල් වතුර ටික එහෙමත් වෙලාවට මේසෙ උඩනෙ.

කියන්න සන්තෝසයි යාළු නිකමට කෑල්ලක් රස බලලයි මට පළවෙනි පීසා එකෙන්ම පිස්සු වැටුණේ. ඇයි අප්පේ… බීෆි මාෂප් එකේ රස! පංකාදුයි කියන්නේ… සත්තයි, ඒක නම් කොයි කවුරුත් රස බලන්න ඕන පීසා එකක්.

හිතන්නකො වැඩිපුර චීස් එක්ක, ෆ්‍රයි වුණු බීෆ් පෙති තොගයක් හැපෙද්දි? ඊටත් ඒ අතරට චිලි කෙචප් ටිකකුත් ගෑවුණාම…. නොතේරීම කටට කෙළ උනන්නෙ. අනික මෙයාලගෙ පීසාවල රොටියත් සෑහෙන්න තුනී නිසා මස්, චීස් අඩුම කුඩුමවල රසත් හොඳ හැටියට එනවනෙ.

ඒ බීෆි මාෂප් එක වගේම තමයි ට්විස්ටඩ් චිකන් එකත්. හැබැයි ඒකෙ තිබ්බෙ චිකන් හැම් නෙවෙයි. ග්‍රේට් කරපු මස්. ඒවත් නිකම් නෙවෙයි, හොඳ හැටියට ලුණු, ගම්මිරිස් අඩුම කුඩුම දාලා පදම් කරලා. ඊටත් ඒකෙ තව බෙල් පෙපර්, ලූණු එහෙමත් තිබ්බනෙ. ඒ නිසා රස ඩබල්. හැබැයි එකක් කියන්න ඕන. ඒකට තව වැඩිපුර චිකන් ටිකක් එකතු වුණා නම් තමයි හොඳ. මොකද එහෙම වුණා නම් වැඩි චීස් එක්ක ගැළපිලා සුපිරි රසක් සෙට් වෙන්න තිබ්බා.

කොහොමහරි ඒ පීසා එක ඉවර වේගෙන එනකොට දෙන්නට හොඳ ගණන්. බඩ කට පිරිලා කියන්නෙ කෙළින්ම උගුර ළඟට. ඒත් ඉතින් එහෙමයි කියල අනිත් පීසා එකෙන් කෑල්ලක් දෙකක් රස නොබලා ඉන්නයැ. කරන්න දෙයක් නැතිම තැන සීතල වතුර ටිකක් බීලා පොඩි කයියක් දාගෙන අපි රෙස්ට් කළා. කරලා තමයි ඔන්න මාස්ටර් පීස් පීසා එකට වැඩේ දෙන්න පටන් ගත්තෙ.

සැහ්! කියල වැඩක් නෑ ආ… ඒකත් ලෙසටම තියෙනව. ෆුල් ෆ්‍රෙෂ් සීෆුඩ්. ඉස්සොයි, දැල්ලොයි තමයි වැඩිපුරම දාලා තිබ්බෙ. හැබැයි ඒ අතරට රස වෑහෙන ටූනා මාළුත් එකතු කරලා තිබ්බා. ඇත්තටම ඒ ටූනත් එක්ක පීසා එකේ චීස් ටික නම් නැගලා යනවා ලෙසටම. කොටින්ම කිව්වොත් ඉස්සො, දැල්ලො වලටත් වඩා. වැඩේ කියන්නෙ ඒ පීසා එකට එයාලගෙ චිලී කෙචප් ටිකකුත් එකතු වුණාමනෙ සුපිරිම රස එන්නෙ. හප්පේ… ටූනයි, චිලී ටොමැටෝයි… නොම්මර එකයි ඈ!

මාස්ටර් පීස් එක එහෙම වුණාට හැබැයි ෆැමිලි නයිට් අවුට් එක නම් ටිකක් මදි වගේ. මොකද ඒකට ගොඩක්ම දාලා තිබ්බෙ සොසේජස්. ඒ අතරට ඉතින් හැම්, ග්‍රේටඩ් චිකන් එහෙමත් පොඩ්ඩක් තිබ්බා, ලුණු ගම්මිරිස් අඩුමකුඩුම එහෙම දාලා පදම් කරපු. ඒත් රසේ මොකක්දෝ මදියක් තියෙනව. සමහර විට මස්වල රස පදම හරියට සෙට් වෙලා නැති නිසාද දන්නෑ.

ඒ වගේම තමයි අන්තිමට අපි ඕඩර් කරපු ඩෙසට් එකත්, පජාතයි! මෙනියු එකේ තිබ්බෙ නම් බ්‍රවුනි මීට්ස් අයිස්ක්‍රීම් (රු. 450) කියල. ඒත් කද්දි නිකම් රබර් කනවා වගේ බ්‍රවුනි තියා ඒවා… අනේ මන්දා ඉතින්. ඊටත් ඒකට කජු එහෙමත් දාලා කියන්නකො. හැබැයි චොකලට් රස දශම ගානට. වැනිලා අයිස්ක්‍රීම් බෝලයකුත් දාලා තියෙන පොඩි රසත් නැති කරලා.

අන්න ඒකට මම ටේක් අවේ ගත්ත මීටි බයිට් පැස්ටා එක (රු. 900). සුප්ප ඈ… චීස් එහෙම දාලා තිබ්බ නිකම් මදි නොකියන්නෙ. ඊටත් චිකන් හැම් පෙතිත් තොගයක්! රසත් තියෙනව නොම්මර එකට. ඇත්තටම ඒකට ගම්මිරිස් පොඩ්ඩකුත් එකතු කරගත්තාම… තලු මර මර රස බලන්න පුළුවන් හොඳේ.

එතනින් එහාට ඉතින් තව කියන්න ඕන නෑනෙ. කියන්න ඕන වුණත් ඒ වෙද්දි කියාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ යාළු. දෙන්න ඉස්මුරුත්තාවටම හිනා වෙන්න පටන් අරගෙන තිබ්බෙ. නිකම් !@ලි කාලා වගේ. ඊටත් යන්න උවමනාවකුත් තිබ්බ. ඒත් කොහෙද යන්න තියා නැගිට ගන්නවත් පුළුවනයැ. ආයෙ, බෙලි කාපු රිලව් වගේ, එතනම ඕං…!


TIP

Try Beefy Mashup

Address

4 Rohini Rd, Wellawatte

Contacts

This place has closed down

Cuisine

Italian

Dish Types

Pasta Pizza Coffee



Latest