3/5

Olive's Kitchen & Grill

25, Marine Drive, Wellawatta, Colombo 06


A restaurant down Marine drive that serves Chinese and Indian cuisine.


අපි ජීවත් වෙන්නේ බොහොම තරගකාරී ලෝකයක. කොච්චර මිල මුදල් සැප සම්පත් තිබුණත්, ඒවායින් ජීවිතය විඳින්නේ නැතුව, තවත් ඒ සම්පත් පස්සේ හඹා යමින් ඒවා ගොඩ ගහගන්න උත්සහ කරන සමාජයක් තමයි අද තියෙන්නේ. උදේ පාන්දර වැඩට යනවා; රෑ ජාමේ ගෙදර එනවා; ඕක තමයි ගොඩක් අයගේ ජීවන රටාව. දවස් ගණන් නිවාඩු දාගෙන, විනෝද ගමන් යන්න වෙලාවක් නැතත්,  අඩු තරමේ පවුලේ අයත් එක්ක එලියට ගිහින් කෑම වේලක් ගන්නවත් ගොඩක් අයට උනන්දුවක් නැහැ.

හැබැයි මේ තත්ත්වෙන් මිදිලා, සතියට දවසක් හරි ගෙදර අයත් එක්ක එලියට බැහැලා ටිකක් විනෝද වෙන්න දවසක් වෙන් කරගන්න පුළුවන් නම්, ඒ ගමන්ම හොඳ කෑම වේලකුත් රස විඳින්න යන්න පුළුවන් තැනක් ගැන කියන්නයි මේ සූදානම.

තැන

මේ Olive's Kitchen and Grill. මේක පිහිටලා තියෙන්නේ වැල්ලවත්තේ Marine ඩ්‍රයිව් එකේ. අපි කලින් දවසක සඳහන් කරපු Yacht Cabin එක පහු කරගෙන මීටර් හය හතක් දෙහිවල පැත්තට ඇවිදගෙන යද්දී හමුවන මේ අවන්හල, වැල්ලවත්තේ මුහුදු වෙරළේ විනෝද වෙන්න එන බොහොමයක් දෙනා ඇදෙන තැනක්. අපට දැනගන්න ලැබුණු විදියට පරණ ගෙයක් අලුත්වැඩියා කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම, මේක Marine ඩ්‍රයිව් එකේම තියෙන China Town අවන්හලේ මැනේජ්මන්ට් එකෙන් පාලනය වෙන තවත් අවන්හලක්. කොහොම වුණත්, හොඳට ඉඩකඩ ඇතුව පවුලේ හැමෝටම වාඩිවෙලා කෑම ගන්න පුළුවන් පවුලේ අවන්හලක් විදියට Olive's Kitchen and Grill එක හඳුන්වන්න පුළුවන්.

කෑම

අපි ඔලිව් කිචන් එකට ගොඩවුණේ දවල් කෑමකට. දොරින් ඇතුල්වෙද්දීම නහයට දැනෙන කුරුඳු සුවඳින් හරි ප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. චයිනීස් සහ ඉන්දියන් කෑම තමා මෙයාලගේ මෙනු එකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ.

ඉන්දියන් කෑම කන මූඩ් එකක නොහිටිය නිසා අපි හිතුවා චයිනීස් කෑම ටිකක් කන්න. චිකන් කෝර්න් සුප් (රු.300) එකක් එක්ක සිංගප්පූරු රයිස් (රු.840) එකක් අපි ඕඩර් කළා. කරි වර්ග විදියට අපි තෝරාගත්තේ ඩයිස්ඩ් ස්පයිසි චිකන් (රු.760) එකකුයි, ඕනෙම චයිනීස් අවන්හලක කාලා බලන්නම ඕනේ කෑමක් වන හොට් බටර් කටල්ෆිෂ් (රු.1080) එකකුයි.

මුලින්ම මේසෙට ආවේ චිකන් කෝර්න් සුප් එක. හොඳ ගානට තැම්බුණු චිකන් කෑලි වගේම, creamed කෝර්න් යහමින් දමාපු මේ සුප් එක නම් පංකාදු පහයි. පදමට ගම්මිරිස්, ලුණු එහෙමත් එකතු කරලා උණු උණුවෙන්ම පිළිගැන්වුණ නිසා හොඳ රසක් අපට මේකෙන් දැනුණා.

සිංගප්පූරු රයිස් එකේ කියන්න තරම් ලොකු වරදක් නැතත්, පොඩ්ඩක් තෙල් ගතිය වැඩියි කියලයි අපට හිතුණේ. ලා රතු පැහැයට හුරු පාටක් ගත්ත මේ බත් එකේ පොඩි ස්පයිසි ගතියකුත් තිබුණා. හීනියට ලියපු කැරට්, මාළු මිරිස් වගේම රවුමට කපපු රට ළූණුත් මිශ්‍ර කරලා තමයි මේ බත් එක හදලා තියෙන්නේ. හැබැයි සිංගප්පූරු රයිස් එකක් විදියට නම් කරන්න තරම් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලනම් අපට තේරුණේ නැහැ.

ඩයිස්ඩ් චිකන් කරි එක චිකන්, ලොකුවට කපපු මාළු මිරිස්, ළූණු, කැරට්, තක්කාලි එහෙම මිශ්‍ර කරලා හොදි සහිතව පිළිගැන්වෙන කරි වර්ගයක්. චිකන් කෑලි ටික නම් හොඳට උයලා තියෙන ගතියක් තේරුණේ නැහැ අපට. ඒත් මේකේ හොද්දේ නම් නියම රසක් තිබුණා. චිකන් ටික නැතත් මේ හොදිත් එක්ක බත් බුසලක් වුණත් කන්න පුළුවන් කියලයි අපට හිතුණේ.

චයිනීස් කෑම වේලක හොට් බටර් කටල්ෆිෂ් කරියක් නැත්තන්, ඒකත් හරියට නිකන් පරිප්පු නැති හෝටලේ වගේ තමයි. අපි ඔලිව් කිචන් එකේ හොට් බටර් කටල්ෆිෂ් කරිය ඕඩර් කළෙත් ඔන්න ඔය හේතුව නිසාමයි. හොඳ නැවුම් රසක් තිබුණ මේ හොට් බටර් කටල්ෆිෂ් කරියේ තිබුණු ක්‍රිස්පි ගතියට අපි වහ වැටුණා කිව්වොත් වඩාත් නිවැරදියි. මේක හැපෙද්දී එන කරස් සද්දේ තමයි නියම.  

අපි අතුරුපස විදියට ඕඩර් කළේ ක්‍රීම් කැරමල් (රු.200) එකක්. තරමක කැරමල් රසක් නම් මේකේ තිබුණා. ඒත් පුඩින් ගතියට වඩා කේක්වලට හුරු බවක් තමා මේකේ තිබුණේ. සාමාන්‍යයෙන් පුඩින්වල තියෙන්නේ creamy ගතියක්නේ. මේ ක්‍රීම් කැරමල් එකේ මතුපිට පැත්තෙන් creamy ගතියක් දැකගන්න පුළුවන් වුණත්, යට හරියේ තිබුණේ කේක්වල වගේ fudgy ගතියක්.

සර්විස් එක

හොඳ පිරිසිදු වටපිටාවක් ඔලිව් කිචන් එකේ තියෙනවා. සාමාන්‍යයෙන් හැම මේසේම පිළිවෙලට හැඳි, ගෑරුප්පු, වීදුරු වගේ දේවල් තියලා තියෙනවා දකින්න පුළුවන්. හැබැයි කවුරුහරි කිව්වොත් ඇරෙන්න ඒවා හෝදලා දෙන්න ඔවුන්ගේ කිසිම උනන්දුවක් නැහැ. කොහොම වුණත්, විනාඩි 10ත් 15ත් අතර කාලෙකින් අපේ ඕඩරය මේසෙට ගෙනත් තියන්න එයාලා සමත් වුණා.

අවසාන වශයෙන්

තරමක් ලොකු ඉඩකඩක පැතිරුණු අවන්හලක් වුණත් ඔලිව් කිචන් කියන්නේ හැමවෙලේම සෙනඟ ගොඩක් පිරිලා ඉන්න තැනක් නෙවෙයි. මේ හේතුව නිසාම, නිස්කලංක වටපිටාවක, පවුලේ අයත් එක්ක කෑම වේලක් රස විඳින්න යන්න කියාපු තැනක් විදියට ඔලිව් කිචන් එක නම් කරන්න පුළුවන්.

 


TIP

This place is not operational between 3 PM 6 PM.

Address

25, Marine Drive, Wellawatta, Colombo 06

Directions

Head towards Dehiwala side on Marine Drive, and it is few meters ahead of Global Towers Hotel.

Contacts

Facebook

This place has closed down

Cuisine

Chinese Indian

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
3


Latest