Artwork for Kingsbury March New Top

4/5

Peacock Beach Hotel (Hambantota)

  • Lewaya Road, Hambantota

හරිම ලස්සන වගේම තරමක් ගැඹුරු මුහුදු තීරයක් අයිනේ පිහිටලා තියෙන හම්බන්තොට පීකෝක් හෝලටය දවසක දෙකක හොඳ නිවාඩුවක් ගත කරන්න නම් කියාපු තැනක් තමයි.


ඔක්තෝම්බර් මාසයේ තිබුණ දිග සති අන්ත නිවාඩුවට අපේ යාළුවෝ සෙට් එක හම්බන්තොට පැත්තේ ලොකු විනෝද චාරිකාවක් යන්න දාගෙන තිබුණා. දවස් හතරක ලොකු නිවාඩුවක් නිසා කට්ටිය ටිකක් හොඳට වියදම් කරලා විනෝද වෙන්න තමයි ලැහැස්ති වෙලා හිටියේ. කලින්ම හෝටලයට කතා කරල තිබුණ අපේ යාළුවෝ සෙට් එක අතේ තියෙන ගාණට හරියන්න පැකේජයකුත් (රු. 3900 - full board) ලැහැස්ති කරගෙන තිබුණා. ඔය අතරේ එක යාළුවෙක් මට කතා කරල එයාලත් එක්ක ට්‍රිප් යන්න එන්න කියලා පුංචි ආරාධනාවක් කළා. ඒත් ඉතිං දවස් හතරක්ම හෝටලයක් ඇතුලට වෙලා මොනව කරන්නද? මම දවස් දෙකකට විතරක් එන්න පොරොන්දු වුණා.

පෙනුම

ගොඩක් වෙලාවට කට්ටිය හොඳටම විනෝද වෙන්නෙ අන්තිම දවස් දෙකේ නිසා මම හෝටලයට ගියේ අන්තිම දවසට කලින් දවසේ උදේ. මහරගමින් උදේ හයට විතර අධිවේගී මාර්ගයෙන් මාතරට යන බස් එකට ගොඩ වුණ මම එතන ඉඳන් කතරගම බස් එකක ගිහින් හෝටලය ලඟින් බහින කොට උදේ 10 විතර වෙලා තිබුණා. පීකොක් හෝලටය පිහිටලා තියෙන්නේ හම්බන්තොට - වීරවිල, ලේවාය පාරේ දකුණු පැත්තෙ. ඉස්සරහ කළුගල් වලින් හදපු ලොකු තාප්පයේ ගහල තියෙන 'Peacock Beach Hotel' නම නිසා ඈත තියාම හෝටලය හඳුන ගන්න පුළුවන්. හෝටලයට ඇතුල් වෙන්න තියෙන්නේ ලී වලින් හදපු ලොකු ගේට්ටුවකින්. එතන ඉඳන් මීටර් 100 ක් විතර යනකම් තියෙන්නේ දෙපැත්තෙ මල් ගස් වවලා එක මට්ටමට තණකොළ කපපු හරි ලස්සන උද්‍යානයක්. උද්‍යානය මැද්දෙන් සුදු වැලි අතුරුපු පාරක අවසානයේ තමයි හෝටලයට ඇතුල්වෙන ප්‍රධාන දොරටුව තියෙන්නේ. ඉස්තෝප්පුවට ඇතුල් වෙන තැන තියෙන ලී පඩි පෙළයි දෙපැත්තේ තියෙන පොකුණු දෙකයි නම් හෝටලයට අමුතුම ලස්සනක් ගේනවා.

ප‍්‍රධාන දොරටුවෙන් ඇතුලෙ ටිකක් දකුණු පැත්තට වෙන්න තමයි පිළිගැනීමේ ස්ථානය තියෙන්නෙ. හෝටලයේ ඉස්තෝප්පුවේ දෙපැත්තට වෙන්න ලොකු සෙටි දෙකකුයි ස්ටූල් දෙකකුයි දාලා ඉඩ හදලා තියෙන්නෙ පිරිසකට වුණත් ඇවිත් වාඩිවෙලා නිදහසේ කතා බහ කරන්න පුළුවන් වෙන්න. ඒ විතරක් නෙවෙයි, ඊට ටිකක් වම් පැත්තෙන් පරණ තාලයේ ලී නිර්මාණ වගේම හෝටලයේ අභ්‍යන්තර නිර්මාණකරණයට නියමෙටම ගැලපෙන පුටු සෙටියකුයි ස්ටූල් එකකුයි දාලා හරි ලස්සනට හදපු තේ කාමරයකුත් තියෙනවා. ඉස්තෝප්පුවට කෙලින්ම විවෘත වෙලා තිබුණත් මේ තේ කාමරය නම් යුවලකට නිදහසේ කතා බහ කරන්න කියාපු තැනක්. කොහොම හරි මම හෝටලයේ ලස්සන බලන අතරෙ යාළුවෝ දෙන්නෙක් එතනට ඇවිල්ලා හිටියේ මාව පිළිගන්න. කාලෙකින් හමුවුණ නිසා ඉස්තොප්පුවට වෙලාම විනාඩි පහක් දහයක් විතර කතා කර කර ඉඳපු අපි කෙලින්ම ගියේ අපේ කාමරයට.

වාතාවරණය

ඉස්තෝප්පුවේ අවසානයත් එකක් වගේ තමයි හෝටලයේ උඩ තට්ටුවට යන පඩි පෙළ පිහිටලා තියෙන්නේ. ඒක නම් හරිම අපූරුයි. නගින්නයි බහින්නයි වෙන වෙනම තියෙන පඩි පෙළවල් දෙක ස්ප‍්‍රින් එකක හැඩයට ටිකක් කැරකිලා උඩට යන විදියට තමයි හදලා තිබුණේ. එහෙම තියෙන කොටස් දෙක උඩ තට්ටුව ළඟදී ආයෙත් එකට එකතු වෙනවා. පඩිපෙළ නැගලා කාමරය ලඟට ගිය මම යතුර අතට අරන් කාමරයේ දොර ඇරියා. ‘‘ෂා... හරිම ලස්සනයි’’. කාමරයට ඇතුල් වෙන තැනම වම් පැත්තේ අංග සම්පූර්ණ නාන කාමරය. ඊට පස්සේ ලොකු නිදන ඇඳකුයි ඇඳට ඉස්සරහින් ලොකු කණ්ණාඩි මේසයකුයි තියෙනවා. හොඳට වායු සමනය කරලා තියෙන කාමරය ඇතුලෙ තියෙන එළිය අපිට ඕන විදියට හදාගන්න වර්ග දෙකක විදුලි බුබුළු හයක් විතර දාලා ඒවා වෙනම වෙනම දල්වන්න පුළුවන් වෙන්න තමයි හදලා තිබුණේ. කාමරය අයිනට වෙන්න තිබුණ සෙටිය උඩින් බෑග් එක තියපු මම එතන තිබුණ දොරත් ඇරගෙන බැල්කනි එකට ගියා. එතනට කෙලින්ම පේන්නේ මුහුද. ඉතින් මම ටික වෙලාවක් හරිම ආසාවෙන් මුහුද දිහා බලන් හිටියා.

‘‘මචං පූල් එක ළග අපේ කට්ටිය සෙට් වෙලා. යමු එතනට’’ යාළුවා මට කතා කලේ තුවායකුත් කරේ දාගන්න ගමන්. ‘‘යමං , යමං’’ එක පයින්ම කැමති වුණ මම කොට කලිසමකුත් ඇඳගෙන යාළුවා එක්ක පිහිනුම් තටාකය ළගට ගියා. ‘‘හලෝ මචං, වරෙන් වරෙන්’’ ඒ වෙන කොටත් අපේ කට්ටියට හොඳටම වැදිලා තමයි තිබුණේ. ඉතිං එයාලා බිබී ඉඳපු පරණ අරක්කු බෝතලයෙන්ම උගුරක් හලා ගත්ත මම එතන තිබුණ බයිට් එකේ රස බැලුවා. තෝර මාළු, දවටලා බැදලා හදපු බයිට් එකට දෙහි ටිකකුත් එකතු කරලා ගත්තාම අරක්කුවල තියෙන සැර ගතියට කැපෙන්න නියම ගානට තිබුණා. ඊටත් වඩා රසට තිබුණෙ සාලයන් බැදුම. හැබැයි ඒක නම් අපි ගෙදර හදන සාලයන් බැදුම වගේමයි. වෙනසකට කියලා තිබුණෙ ගම්මිරිස් ටිකකුයි, ලුණු ටිකකුයි හොඳ පදටම එකතු කරලා තිබුණ එක තමයි. තව පොඩි ෂොට් දෙක තුනක් දා ගත්ත මම පිහිනුම් තටාකයට බැහැලා පැයක් විතර හොඳට පිහිනුවා. හම්බන්තොට පීකොක් හෝලටයේ පිහිනුම් තටාකය ගැන නම් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ළමයින්ට පිහිනන්න පොඩි තටාකයකුයි වැඩි හිටි අයට මිටර් දෙක හමාරක් උපරිම ගැඹුර තියෙන ලොකු තටායකුයි ඉතාම උසස් ප‍්‍රමිතියකින් හදලා තියෙනවා වගේම ජීවිත ආරක්ෂාවට කෙනෙකුත් නිතරම තටාකය ළඟට වෙලා ඉන්නවා. කට්ටිය බීලා ඉවර වුණාම තමයි අපි දවල් කෑම ගන්න ගියේ. කෑම කන තැන සිවිලිමට දාලා තිබුණ කැටයම නම් මගේ හිත තප්පර දෙක තුනකට දොර ලඟ නතර කර ගත්තා.

ආහාර සහ සේවාව

කුකුල් මස් සුප් එකකුත් බුෆේ එකේ තිබුණට මම හිටියේ ලොකු බඩගනින්ක නිසා කෙලින්ම පිඟානක් අරගෙන ෆ‍්‍රයිඩ් රයිස් හැඳි දෙකකුයි කුකුල් මස් ව්‍යංජන ටිකකුයි බෙදා ගත්තා. ඊට පස්සෙ ආයෙත් බුෆේ එක දිහා බලපු මම පරිප්පු ව්‍යංජන, මාළු ඇඹුල් තියල්, ගී‍්‍රන් පීස්, කජු ව්‍යංජන ටිකක් වගේම කට්ලට් එකකුත් පිඟානට දාගත්තා. හැබැයි ඊට අමතරව බුෆේ එකේ සුදු බත්, රතු බත්, අල තෙල් දැමුමක්, බිත්තර සලාද වගේම කෑම වර්ගත් තිබුණා. කෑම බෙදාගෙන ඉවර වෙලා අපේ කට්ටිය ඉඳපු මේසයටම ගිහින් වාඩි වුණ මම හිමිහිට කෑම ටිකේ රස බලන්න පටන් ගත්තා. කෑම පිඟාන ගැන නම් විශේෂ යමක් කියන්න නෑ. මොකද විශේෂ කෑම වර්ග මොනවත් එතන තිබුණේ නැති නිසා. තිබුණ කෑම වර්ග වලත් රස අපි සාමාන්‍යයෙන් ගෙදර හදන කෑම වල රසට  ගොඩක් සමානයි. කොහොම හරි බඩ පිරෙන්න කෑම කාපු මම අතුරුපසට තිබුණ පළතුරු සළාදයත් රස බැලුවා. අපේ කට්ටිය කලින්ම වැඩේ දීලා තිබුණ නිසා අතුරු පසට තිබුණ මුදවපු කිරි, ජෙලි වගේම අයිස් ක්‍රීම් වර්ග ටිකත් ඒ වෙන කොට ඉවර වෙලා තමයි තිබුණේ.

‘‘මචං, රෑට ඩී ජේ එකක් තියෙනවා. දැන් ගිහින් පොඩි ඇලට් එකක් දාලා හවසට වරෙන්’’ කෑම කාලා කාමරයට යන අතරේ යාළුවෙක් මට කිව්වා. ඉතිං කාමරයට ගියපු මමයි මගේ යාළුවයි. පැය හතර පහක හොඳ නින්දක් දාලා හවස හත විතර වෙද්දි ඇහැරුණේ ඒ වෙන කොටත් එළියේ ඇහෙන සිංදු වල සද්දෙට. මුහුණ කට පොඩ්ඩක් හෝද ගෙන හොඳ ඇදුමක් දා ගත්ත අපි දෙන්නා කෑම ගන්න තැනට එළියෙන් මුහුදු වෙරළ අයිනට වෙන්න තිබුණ ඩී ජේ එක ළඟට හෙමිහිට කිට්ටු කළා. ඩී ජේ එක හෝටලයෙන්ම දීපු එකක්. සිංදු ටික නම් නැගලා යනවා. ඒ අතරේ පැත්තකට වෙන්න තිබුණ ලොකු මේසයක අරක්කු බෝතල් ටිකකුත් වට කරගෙන අපේ කට්ටිය වැඩේ පටන් අරන්. ඉතිං අපි දෙන්නත් එතනටම සෙට් වෙලා පොඩි ෂොට් එකකුත් දාලා බයිට් එකට තිබුණ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කූරු දෙක තුනකුත් රස බැලුවා. ටිකක් වැඩි වෙලා ඉඳපු අපේ දෙතුන් දෙනෙක් ඒ වෙනකොටත් ඩී ජේ සිංදුවලට හොඳටම නටනවා.

නින්දෙන් ඇහැරුණාට පස්සෙ මම හිටියෙ ලොකු බඩගින්නක. යාළුවට තව ටිකක් බොන්න ඕන කිව්ව නිසා මම ගිහින් කෑම බුෆේ එකට ඔළුව දැම්මා. රෑ කෑම ටික නම් ටිකක් හොඳයි වගේ. චීලී ස්පැගටි, ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් චිකන්, බිත්තර ඔම්ලට්, වගේ කෑම ජාති ගොඩක් බුෆේ ඒකේ තිබුණා. යාළුවෝ ටිකට විනෝද වෙන්න දීලා මම පිඟානක් අරගෙන චීලි ස්පැගටි ටිකකුයි ඩෙවිල් චිකන් කෑලි තුනකුයි බිත්තර ඔම්ලට් එකකුයි බෙදා ගත්තා. ඩී ජේ එක නිසා කෑම කන තැන හරිම නිදහස්. ඉතින් මම පැත්තකින් වාඩි වෙලා හිමිහිට රෑ කෑම එකේ රස බලන්න පටන් ගත්තා. ඇත්තටම දවල් කෑම වේලට වඩා නම් රෑ කෑම වේල හොඳයි. ඒත් කොළඹදී කන ඩෙවිල් වල තියෙන සැර ගතියයි චීන කෑම වලට ආවේණික රසයි පීකොක් හෝලටයේ ඩෙවිල් එකේ නම් තිබුණේ නෑ. ඒ නිසා රෑ කෑම බුෆේ එකත් ගැනත් කියන්න තරම් ලොකු විස්තරයක් නෑ. අතුරු පසට තිබුණ චොක්ලට් කේක් එක නම් ටිකක් විතර හොඳයි. ඉතින් චොක්ලට් කේක් කෑලි දෙකක්ම කාපු මම ආයේ ඩී ජේ එක ළඟට ගිහින් ටික වෙලාවක් ඉඳලා පහු වෙනිදා උදෙන්ම ආපහු යන්න ඕන නිසා ආයෙත් කාමරය පැත්තට ආවෙ හොඳ නින්දක් දාන්න හිතාගෙන.

කාමරයට එන ගමන් මම හෝටලයේ ඇතලෙ පොඩි රවුමක් දැම්මා. පළවෙනි තට්ටුවේ බැල්කනියට අල්ලාම හදලා තියෙන හෝටලයේ බාර් එක ලඟට හරි ලස්සනට මුහුද පේනවා. ඇත්තමට ඒ වෙලාවේ නම් මට හිතුනේ හවස ඉර බහින වෙලාවක මෙතනට වෙලා පොඩි ෂොට් එකක් දාන්න තිබුණා නම් නියමයි කියලා.

යාළුවා නම් හොඳටම බීලා ගොඩක් රෑ වෙලා තමයි කාමරයට ආවේ. එලාර්ම් තියලා නිදා ගත්ත නිසා මට පහු වෙනිදා උදෙන්ම නැගිටින්න පුළුවන් වුණා. ආපහු යන්නත් ඕන නිසා හොඳට නාගත්ත මම ගෙනාපු බෑග් එකට බඩු ටිකත් දාගෙන ‘‘යන්නම් මචං, අයෙ සෙට් වෙමු’’ කියලා ඒ වෙන කොටත් හොඳටම නිදාගෙන ඉඳපු යාළුවට සමුදීලා කාමරයෙන් එළියට බැස්සා. ඊට පස්සෙ මම කෙලින්ම ගියේ උදේ කෑම බුෆේ එක ළඟට. කෑම කන්න කලින් හොඳ කොළ කැඳ වීදුරුවක් හකුරු කෑලි දෙකක් එක්ක රස බලපු මම පිඟානක් අරගෙන බුෆේ එක ලඟට ගිහින් උදේ කෑමට මොනවද තියෙන්නේ කියල බැලුවා. ඊට පස්සෙ පාන් පෙති දෙකක් තම්බපු සෝසෙජස් කරල් තුනක් බිත්තර ඔම්ලට් එකක් කුකුල් මස් ව්‍යංජන ටිකක් පරිප්පු ව්‍යංජන ටිකක් එක්ක ඉඳි ආප්ප දහයකුත් පිඟානට බෙදා ගත්ත මම හිස් වෙලා තිබුණ කෑම කාමරයේ පැත්තකින් වාඩි වුණා.

‘‘ෂහ්... උදේ කෑම වේල නම් නියමයි’’ කුකුල් මස් ව්‍යජනයත් හොඳට කුළු බඩු දාලා හදලා තිබුණ නිසා ඉඳි ආප්ප ටික නම් කටට දෙකට ගිලලා දාපු මම ඊට පස්සේ සෝසේජස් කරල් තුනයි බිත්තර ඔම්ලට් එකයි එක්ක හෙමිහිට පාන් පෙති දෙකේ රස බැලුවා. අතුරුපසට තිබුණ කෙසෙල් ගෙඩි දෙකක් කන ගමන්ම ඒ වෙනකොට උදේ කෑම ගන්න ඇවිල්ලා ඉඳපු යාළුවන්ටත් සමු දීලා මම පීකොක් හෝලටයෙන් එළියට බැස්සෙ හොඳ සනීපෙට නින්ද ගියපු කාමරය ගැන මතක් කර කර.

අනුමිතිය

හරිම ලස්සන වගේම තරමක් ගැඹුරු මුහුදු තීරයක් අයිනේ පිහිටලා තියෙන හම්බන්තොට පීකෝක් හෝලටය දවසක දෙකක හොඳ නිවාඩුවක් ගත කරන්න නම් කියාපු තැනක් තමයි.

TIP

Try a beer at the balcony bar with the evening sunset

Artwork for Sampath Content Sep generic

Address

Lewaya Road, Hambantota

Directions

Turn off to Lewaya Road from Hambantota. The hotel is just before the Maha Lewaya.

Contacts

E-Mail

Report Issue
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comments