Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

4/5

Pizza Brothers

707/A, Dambulla - Bakamuna - Kalugahawela Road, Dambulla


Oven stone baked fusion pizza to satisfy the Sri Lankan taste buds.



“කඩ නෑල්ලු ඉතින්. අනේ මංදා මේ ටවුන්වල මුං ඇවිදිනවද නැත්නම් බුදියනවද කියල.”

ඇයි අප්පේ හැමදාම මැංගො මැංගො එක අස්සටමනෙ රිංගන්නෙ, කොච්චර කිව්වත්. හැබැයි ඇහුවොත්, “වෙන කඩ නෑ අනේ මෙහේ..”

මළම පැනපු පාර තමයි මම, බෝ ඕන එහෙකින් කාගනින් මම යනව ඉස්සරහට... තියෙන අළුත් මොකක් හරි කඩයකින් කනව කියල ඉස්සරහට ගියේ. ඒ යද්දි, මෙන්න එනව හෙමින් සැරේ පස්සෙන්. මම නෙවේ ගණන් ගත්තෙ. ගියා ඉස්සරහටම.

කිව්වට විශ්වාස කරන්න යාළු අඩි 10ක් යන්න හම්බවුනේ නෑ තියෙනව කියන්නකො බත් කඩයක් වෙනුවට පීසා කඩයක්ම. අඹ ගහේ ජම්බු කිව්වලු. බත් හොය හොයා ගියපු එකාට පීසා කඩයක් හම්බුනා කියන්නෙ.

“ඒ මෙහෙ එනව. මේ මොනවද? කඩ නෙවේද?”

“ඉතින් ඕක පීසානෙ”

“පීසා නෙවෙයි. පූසා වුනත් කඩනෙ. දැන් ඇහුවාම කිව්වෙ වෙන කඩ නෑ දඹුල්ලෙ. මැංගො විතරයි හොඳ කඩේකට තියෙන්නෙ.. බයිලනෙ. එනව යන්න දැන් උඩට” සත්තයි පොඩි එකෙක් වුනා නම් දෙකක් දීලා අරගෙන යන්නෙ.

ඉවසන්න බැරි බඩගින්නත් අරගෙන ඔන්න මම අඩියට දෙකට කඩේ ඇතුලෙ.

සැහ්! හොඳට හදල තියෙනවනෙ. බැලූ බැල්මටම මට මතක් වුනේ නුගේගොඩ හාපෝස් එක. පීසා බ්‍රදර්ස් එකත් ටිකක් ඒ විදියටමයි හදල තියෙන්නෙ. හැබැයි ටීවී එකක් දාලා තිබුනා. මට නම් ඒක එච්චරටම ඇල්ලුවෙ නෑ. ඒත් ඒ පැත්තට හරියන්න කඩේ කරන්න එපැයි. අනිත් කාරණය තමයි කඩේට සෙනඟ එන්නෙ හැන්දැ වෙලාලු. ඒ නිසා අපි යනකොට මුලු කඩේම හිස්.

ආයෙ ඉතින්… හිස් කඩේක නිදහසේ පීසා කනව කියන්නෙ? වෙන මොනවද ඉතින්.

හෙමින් සැරේ අයිනක් අල්ලල වාඩි වුන අපි දෙන්න ඒ කිට්ටුව තිබ්බ පොත් 2ක් අතට ගත්තෙ සේවක මිත්‍රය එනකම් කියවන්න කියල. ඒත් කොහෙද, පළවෙනි පිටුව පෙරලද්දිම මෙන්න එයා අපේ ලඟ. ඒ මදිවට මෙනු 2ක් දීලා පීසා ගැන විස්තරයකුත් කලා. මගෙ හිතේ අපිට පීසා තෝරන්න ලේසි වෙන්න, වෙන්න ඇති.

කොහොම හරි ඉතින් අපි මෙනු බලල පීසා ජාති 4කින් බාගෙ බාගෙ වැටෙන්න පීසා 2ක් තමයි ඕඩර් කලේ. ඒකත් ස්මෝල් වලින්! හැබැයි ගෙනාවට පස්සෙ නම් හිතුණා ලාර්ජ් වලින් ගන්න තිබ්බ කියල. මොකද මෙයාලගෙ ස්මෝල් පීසා අඟල් 6යි, කෑලි 4යි. ලාර්ජ් පීසා අඟල් 10යි, කෑලි 6යි. වැඩේ කියන්නෙ ඒකත් අවුලක් නෑ, පීසා දර පෝරණු ඒවා වුනා නම්. එහෙමත් නෙවේනෙ. ඉතින් වෙනසකටත් එක්ක ඔන්න ඔහෙ කනව කියල හිත හදාගත්තු අපි, පොඩි කයියකට සෙට්වුනා පීසා ටික එනකම්...

මගෙ හිතේ… විනාඩි 15ක් විතර ඇති පළවෙනි පීසා එක මේසෙට එන්න. හැබැයි! ආවට පස්සෙ නම්… අර හිතේ තිබ්බ අවුල් කොහෙන් ගියාද නෑ. ඒ තරම් ලස්සනයි කියන්නකො භාණ්ඩෙ. ඊටත් ඒකෙ සුවඳ. ෂැහ්.. කටට කෙල උනනව ඈ… ගත්ත ගමන් ජාතිය මොකක්ද කියල බැලුවෙත් නෑ මම දාගත්ත පීසා කෑල්ලක් පිඟානට. දාගෙන සෝස් ටිකකුත් උඩින් දාලා පටන් ගත්ත වැඩේ දෙන්න.

යම්ම්… පංකාදුයි ඈ.. ඇත්තටම අර රොටිය තුනී වෙලා දර පෝරණුවෙ හැදුන නම් කොළඹ පිසා වලට එහා. ඇයි අප්පේ ඒකට දාලා තිබ්බ දේවල්. සොසේජස්, චිකන්, හැම්, බේකන් එතකොට මිරිස් කෑලි, ඔරිගානෝ.. අනේ මන්දා මොනව හරි සෝස් වර්ගයකුත් දාල තිබ්බද කොහෙද. කොහොම හරි මොසරැල්ල චීසුත් දාලා තිබ්බ මස් තට්ටුව වැහෙන්න. ආයෙ කන කන කට චීස් රසෙන් පිනා යනව. මගෙ හිතේ ඒක ‘මීට් ලවර්ස්’ (රු. 1550) වෙන්න ඕන. මොකද ඒ තරම් මස් තියෙන්න විදියක් නෑනෙ වෙන එකක.

ඊට පස්සෙ මම දාගත්තෙ ‘පීසා බ්‍රදර්ස් ස්පෙෂල්’ කෑල්ලක්. ඒකත් එලෙසමයි. චීස් රසෙන් අනූනයි. හැබැයි ඒකෙ තිබ්බෙ චිකනුයි, බේකනුයි, ඉස්සොයි විතරයි. ඒ හැරුනාම එළවළු දාලා තිබ්බ තක්කාලි, ඔලිව්, ලූණු, කැප්සිකම් වගේ. තව ඉතින්… මොසරැල්ල චීස් තමයි, දෙපැත්තෙන් බේරෙන ගාණට වගේ. ඒත් එකක් කියන්න ඕන. ඉස්සො දාපු එකෙන් පීසා එකේ රසට මොකක්දෝ හානියක් වෙලා. මට හිතා ගන්න බෑ මොකක්ද කියල. හැබැයි ඉස්සො අඩුම තරමෙ ෆ්‍රෙෂ් පිට පොතු ඇරලවත් දැම්ම නම් ඊට වැඩිය තරමක් හරි හොඳ වෙන්න තිබ්බා මම කියන්නෙ.

මෙයාලගෙ ෆිෂර්මන් (රු. 1250) එකෙත් රස පොඩ්ඩක් එහා මෙහා වෙලා තිබ්බෙ ඔන්න ඔය ඉස්සො කේස් එකෙන්. මොකද ඒකෙ තිබ්බ දැල්ලො, මාළු ටික එහෙම හොඳ රහට තිබ්බ. ලූණු, මිරිස්, පාස්ලි කොළත් එක්ක සෝස් පදමත් හොඳ හැටි සෙට් වෙලා මොසරැල්ල චීස් බේරෙන්න හදල තිබ්බ ෆිෂර්මන් පීසා එක.. ඇත්තටම හොඳ හැටි ගොඩ ගන්න පුලුවන් රෙසිපියක් හොඳේ.

ෆිෂර්මන් බාගෙට සෙට් වෙච්ච අනිත් බාගෙ, සුප්‍රිම් පීසා එක. අන්න ඒක නම් ටොප් ඈ… සොසේජස්, චිකන්, බේකන් දාලා හදපු ඒ පීසා එකට ඔලිව්, හතු, අන්නාසි වගේ එළවළු තමයි එකතු කරලා තිබ්බෙ. ඒ වගේම මේකටත් මොසරැල්ල චීස් නම් අඩු නැතුව දාලා තිබුනා. ඇත්තටම සුප්ප, සුප්‍රිම් එක, අර රොටිය දර පෝරණු වුනා නම්…

ඔය අතරට කියන්න ඕන මෙයාලගෙ හොට් චොකලට් (රු. 390) එකත් මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකද ඒක තනිකර කොකෝ පවුඩර්. ලික්විඩ් චොක්ලට් පොඩ්ඩක්වත් පාවිච්චි කරල නෑ. ඊටත් කිරි රසත් තරමක් වැඩියි.

හැබැයි මික්ස් ෆෘට් ජූස් (රු. 200) එක හොඳ රහට තිබ්බ. මොකද ඒක තනිකර පළතුරු බ්ලෙන්ඩ් කරලනෙ හදල තිබ්බෙ.

ඔය විදියට ඉතින් පොඩි පොඩි අඩු පාඩු මැද්දෙ කොහොම හරි අපි දඹුල්ලෙනුත් රස පීසා ටිකක් රස බැලුවා. බලල එළියට බැස්සෙ නිකම් නෙවෙයි. කා ගන්න බැරුව ඉතුරු වෙච්ච පීසා කෑලි ටිකකුත් ඔතාගෙනම. රස එහෙට මෙහෙට වුනාට පීසා නම් ඉතින්…

දවල් මොකෝ, රෑ මොකෝ නේ…!


TIP

Try 'Meat Lovers'

Artwork for Frimi Shoutout banner
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment