Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

Polos

97 Cemetery Rd, Negombo


Your best pick for rice & curry in Negombo.



ලංකාවේ අපට ඉතින් පොලොස් කිව්වම නේ..? බත් ද, පාන් ද, රොටි ද අදාළ නෑ හිතේ හැටියට දෙසාබාන්න පුළුවන්. ඉතින් පොලොස් විතරක් නෙවෙයි, පොලොසුයි පෝකුයි දෙකම එක්ක බත් කන්න පුළුවන් තැනක් කියලා ලැබිච්ච ආරංචිය නිසා තමයි අපි මීගමුවේ ‘පොලොස්’ එකට ගියේ.

තැන

මීගමුවේ කනත්ත පාර අයිනේ තියෙන පොලොස් එක වටපිටාවේ අය අතරේ වගේ ම, මේ පැත්තේ ට්‍රිප් එන අය අතරත් බොහොම ප්‍රසිද්ධයි. මොකද TV එක එහෙම බලන ගමන්, සැප පහසුවට වාඩිවෙලා කන්න පුළුවන් විදියේ වාතාවරණයක් මෙතැන තියෙනවනේ. මේක ඇත්තට ම තියෙන්නේ ගෙදරක වත්තක. ඒ නිසා හරි ම "හෝම්ලි" ගතියක් තියෙනවා කිව්වොත් වඩාත් ම නිවැරදියි. 

කෑම බීම 

වැඩේ කියන්නේ අපි මෙහෙ ගියේ සෙනසුරාදාවක. ඉතින් සැටර්ඩේ ස්පෙෂල් මෙනු එකක් තිබුණට, කරුමෙට ඒකෙ පොලොස් නෑ කියන්නකෝ. හැබැයි ස්පෙෂල් මෙනු එකේ තියෙන්නේ දුන්තෙල් බත් කියලා දැක්කම අපේ හිතට දැනුණු දුක කොහෙන් ගියාද නෑ. ඇයි දෙයියනේ ඔය වෙසක්, පොසොන්වලට තියෙන දන්සැලකින් කෑවොත් ඇරෙන්න දුන්තෙල් බත් වෙන කොහෙන් හොයන්නද.

අපි ගත්තේ බීෆ් රයිස් ඇන්ඩ් කරි (රු. 300) එකයි, පෝක් රයිස් ඇන්ඩ් කරි (රු. 250) එකයි. මස් වර්ගයේ වෙනස ඇරෙන්න, දෙකේම එන්නේ එකම කරීස් සෙට් එක; පරිප්පු, තෙල් දාපු අල, බටු මෝජු, පිපිඤ්ඤා සලාද සහ පපඩම්.

කහ පාටට බැබළි බැබළි තිබුණු බත් එක නම් මාර ම සිරා. ළාවට එන දුන්තෙල් සුවඳ නිසා කාගෙන කාගෙන යන්න ඇහැකි. සීසනින් එකත් ගානට. ඔය රසකාරක රහවල් මොනවත් නැහැ. කරාබුනැටි, කුරුඳු එහෙමත් දාලා. අනික ලොකුවට ඔයිලි ගතියකුත් නැහැනේ. මට නම් හිතෙන්නේ මේක පිළිගන්වන මැටි පිඟානට බතේ තියෙන තෙල් ගතිය සේරම උරාගෙන ද කොහේද.

හප්පේ බීෆ් කරිය! තියෙන තරම් හොඳම කුළුබඩු හරි පදමට ගළපලා දාපු නිසා රසින් වගේම සුවඳිනුත් අනූනයි. කරපිංචා, ලූනු එහෙම යහමින් දාපු හොදි ටිකකුත් එක්කයි මේක එන්නේ. අපට හිතුණෙ ම පරාටා ටිකක් තිබුණා නම් කියලා, දාගෙන කන්න.

පරිප්පු කරියත් ඒකට දෙවැනි නැහැ. කිරි රහයි, කරි රහයි ගානට බැලන්ස් වෙන්න හදලා තිබුණේ. ඉතින් අල තෙම්පරාදුවේ කෑලි මිරිස්වලින් එන ස්පයිසි ගතියයි, සලාදෙන් එන ෆ්‍රෙෂ් ක්‍රන්ච් එකයි, බටු මෝජුවේ පැණිරහයි එක්ක එකතුවෙලා එද්දී, පොලොස් එක පැත්තේ එන්න හිත දුන්නේ පෙර පිනකට කියලා හිතෙනවා අම්මපා!

ඊටත් හරි පෝක් කරිය. තෙල් කෑලි අඩුවට, මස් කෑලි වැඩියට දාලා හදපු මේ පෝක් කරියේ කුළුබඩු පදම නියම ගාන. රම්පෙ, කරපිංචා යහමින් දාලා නිසා දුර තියාම වුණත් දැනෙන ජාතියේ සුවඳක් තිබුණේ. ඇත්තමයි කාලෙකට පස්සේ කෑව හොඳම පෝක් කරියක්.

ඩෙසර්ට් එකට අපි ගත්තේ කැරමල් පුඩිමක් (රු. 150). ගෙවපු ගාණේ හැටියට මේකේ සයිස් එක නම් වරදක් නැහැ, ඒ වුණාට පුඩිමක තියෙන්න ඕනේ ටෙක්ස්චර් එක මිසින්ග්. ටිකක් විතර කේකුත් වගේ. සමහරවිට ෆ්‍රිජ් එකේ ටික දවසක් දාලා තිබුණු නිසා වෙන්න ඇති.

මේ කට්ටිය හොඳ ෆ්‍රෙෂ් ජූස් එහෙමත් හදනවා. අපි ට්‍රයි කරපු පැණි කොමඩු ජූස් (රු. 200) එකට සීනි දාලා තිබුණේ සෑහෙන්න අඩුවෙන්. ඒ නිසා ස්වාභාවික පැණි කොමඩු රස මදි නොකියන්න තිබුණා.

සර්විස් එක

ස්ටාෆ් එකේ ඉන්න කට්ටිය කඩියෝ වගේ වැඩ. ඒක නිසා ටේක්-අවේ, ඩිලිවරි ඕඩර් කොච්චර තිබුණත් කෑමට ගොඩ වෙන අයට අඩුවක් පාඩුවක් නොදැනෙන විදියේ සර්විස් එකක් දෙන්න එයාලට පුළුවන් වුණා.

අවසාන වශයෙන්

මීගමුවෙන් කටට රහට රයිස් ඇන්ඩ් කරි ඕනේ නම් ඉතින් පොලොස් ම තමයි. අපි දැන් මේ පුලපුලා බලාගෙන ඉන්නේ ඊළඟ මීගමු ට්‍රිප් එක කවදද කියල, මෙයාලගේ පොලොස් කරියේ රහ බලලා එන්න.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment