Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Rakkhiththa Kanda Hermitage (Karandagolla)

Rakkhiththa Kanda Rajamaha Viharaya, Karandagolla, Ella, Uva.


දෙපා යුගල දණ හිසින් නැමී එක මත එකය. දෑත ලිහිල්ව උකුල මතය. දෑස පියවී ගොසිනි. ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් මාගේ නාස් පුඩු අගට හොඳින් දැනෙන්ට විය. ඒ උන් වහන්සේ මා හට කියා දුන් ආනා පාන සතියයි…



පිහිටක් නැති සරණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙද්දී ඒ අසරණ භාවයෙන් මිදෙන්නට තනිව වෙර දරන උන් වහන්සේ...

නමින් පූජ්‍ය කරඳගොල්ලේ සුගතරංසි හිමි. වැඩ සිටින අඩවිය අග නගරයෙන් බොහෝ ඈතය. ඒ ඌව පළාතෙහි ඇල්ල සිට වැල්ලවාය දෙසට කිලෝමීටර 18ක පමණ දුරක් ගිය තැන්හි මුණ ගැසෙන උමා ඔය ව්‍යාපෘති මාර්ගයේ තවත් කිලෝමීටර දෙකට ආසන්න දුරකින් පිහිටා ඇති රක්ඛිත්තා කන්ද රජමහා විහාරයෙහිය. කන්දෙ විහාරය නමින් ප්‍රකට වුවද සැබවින්ම මෙය හුදෙක් පන්සලක් නම් නොවන බැව් මා නිසැකවම කිව යුතුය. එය සිත නිවන තැනකි. සිත නිවූවකු වෙසෙන තැනකි. හෙළ බසින් එය හඳුන්වනුයේ 'ආරණ්‍යය' කියාය.

මුළුමනින්ම පාහේ ස්වභාවධර්මයාගේ නිර්මාණයක් වන කන්දෙ විහාරය සුවිසල් ගල් ලෙන් දෙකකින්ද කුඩා ලෙන් දෙකකින්ද හෙබිවේ. උස් කඳු පන්තියක මධ්‍යයට වන්නට පිහිටා ඇති එහි ඉදිරි පසින් වනුයේ කඳු බෑවුමය. එම කඳු බෑවුම ඔස්සේ කඩා හැලෙන කුඩා ඔය පහර ආරණ්‍යවාසී හිමියනගේ දෛනික අවශ්‍යතා සපුරාලමින් කඳු පාමුල ගම්මානය වෙත ඇදී යනුයේ ජලය කාටත් අවැසි බැව් මනාව වටහා දෙමිනි. ආරණ්‍යයෙහි පිවිසුම, මුණ ගැසෙන සුවිසල් ලෙන කබොකින් බැඳි ගඳ කුටි දෙකකින් සමන්විතය. සුගතරංසි හිමියනගේ ගඳ කුටිය ඉන් එකකි. අනෙක දුර කතර ගෙවා එහි පැමිණෙන සසරෙහි අතරමං වූවනටය. ඒ හැරුණුකොට කබොකින්ම බැඳි කුඩා ගබඩා කාමරයත් මුළුතැන්ගෙයත් ඊට යාබදව ඇත. අල්පේච්ඡ දිවියක් ගත කරන උන්වහන්සේගේ නිර්මාංශමය ආහාර වේල හැරුණු කොට අතර මැදි කුස ගිනි නිවනුයේ ගිලන් පස වීදුරුවත් සමඟ පෑහෙන බෞද්ධ පොත පතය. ගම්වාසීන්ගේ කටයුතු සඳහා කාර්යබහුල වුවහොත් හැරෙන්නට අනෙකුත් වේලාවන් භාවනාවට සම වැදී ගත කරන කරඳගොල්ලේ සුගතරංසි හිමියනගේ දිවි පෙවෙත සැබවින්ම සිත නිවනුයේ යැයි පැවසීමට මම මැලි නොවෙමි.

ඒ වර්තමානයයි. අපි කන්දෙ විහාරයෙහි අතීතය පිරික්සා බලමු. වසර 2100ක පමණ පුරාතනයක් ඇති කන්දෙ විහාරය පිළිබඳ එක් පුරා විද්‍යාත්මක සාක්ෂියක් හමුවනුයේ පිළිවෙලින් තෙවැනි වූ ලෙන පිටු පසය. එම ස්ථානයෙහි වන ලෙන් බිත්තිය මත ශේෂව ඇති ‍ලිය වැල් රටාවන් විහාරස්ථානයෙහි වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොමැති අතර ඒවා බුදු ගෙය තුල ඇති නුවර යුගයේ සිතුවම් වලින්ද මුළු මනින්ම වෙනස්වේ. ඒ හැරුණු කොට එම ලිය වැල් සිතුවම් කිරීමට පෙර ශෛල බිත්ති මත තුනී ආලේපනයක් යොදා තිබීමද සුවිශේෂී කරුණකි.

ඒහා සමකාලීන හෝ ඊට පෙර වූ ඉතිහාසයක් කියාපාන පිළිවෙලින් දෙවැනි වූ ලෙනෙහි ආරම්භය දක්නට ඇති සෙල්ලිපිය කන්දෙ විහාරයෙහි ඉතිහාසය කියා පාන ප්‍රභලම සාධකය වේ. මන්ද යත් එම සෙල්ලිපියෙන් කියැවෙන 'බුඩ රකිත තෙරශ ලෙණ (බුද්ධ රක්ඛිත තෙරුණගේ ලෙණ)' යන පාඨය හෙළි කරන වළගම්භා රජ ඉතිහාසයයි. ක්‍රි. පූ. 103 සිට 89 තෙක් වූ සොලී පාලන සමය තුල ඌව පළාතේ විවිධ ස්ථානයන්හි සැඟව සේනා සංවිධානය කළ වළගම්බා රජුනගේ එක් ප්‍රධාන යුධ පුහුණු බිමක්වූ මෙම භූමිය රාජාභිෂේකයෙන් පසුව භික්ෂූ වාසයට සුදුසු පරිදි සකසා බුද්ධ රක්ඛිත තෙරුණට පූජා කරයි. මෙම ආරණ්‍ය සේනාසනයට 'රක්ඛිත්තා' යන නාමය පටබැඳෙනුයේ එතැන් පටන්ය.

ඒ හැරුණු කොට එම ලෙන ආරම්භයෙහි, ලෙන පිටු පසට වන්නට පිහිටා ඇති උසින් අඩි හයකට ආසන්න සහ පළලින් අඩි පහකට ආසන්න විසල් උමං ද්වාරයක් සහිත උමඟ රාවණා ගුහාව හරහා දෝව රජ මහා විහාරය තෙක් විහිද යාමද තව දුරටත් පූර්ව වළගම්භා රජ සමය සනාථ කරන කරුණකි.

මෙම දෙවැනි ලෙන තුල ඉදිව ඇති බුදු ගෙයත් චෛත්‍යයත් නුවර යුගයට අයත් අපූරු නිර්මාණයන් වේ. කබොක් සහ මැටි උපයෝගී කර ගනිමින් ඝාන්ඨාකාර හැඩයකට නිර්මාණය වී ඇති චෛත්‍යෙයහි උස අඩි 15ක් පමණ වනුයේ එහි කොත ලෙන් වහලයට ආසන් වෙමින් ලෙන තුලම නිර්මාණය කර තිබීම හේතුවෙනි. බුදු ගෙයි පිටත බිත්ති මතත් ඇතුලත බිත්ති මතත් දක්නට ඇති නුවර යුගයේ සිතුවම් ක්‍රි. ව. 886දී ඇඳි ඒවා බැව් සිතුවම් අතරම සඳහන්ව ඇත. ඒ අතුරින් බුදු ගෙය මධ්‍යයට වන්නට ලෙන් වහලයෙහි ඇඳ ඇති නාරි ලතා, ලියවැල් සිතුවම ඉතා දුර්ලභ ගණයේ සිතුවමකි. තවද එහි ඇති අඩි 15 කට ආසන්න දිගකින් යුත් සැතපෙන පිළිමයත් විෂ්ණු සහ කඩවර යන දෙවිවරුනගේ දේව ප්‍රතිමාවනුත් එ් සමයෙහිම නිර්මාණය කරන ලද ඒවා බවට සැකයක් නොමැත.

පහත ලෙන් විහාර පිහිටන්නාවූත් ඉහත බවුන් වැඩීමට කදිම තෝතැන්නක් වූ ගල් තලාවකින් හෙබි වූත් කරඳගොල්ලේ රක්ඛිත්තා කන්ද ආරණ්‍ය සේනාසනයෙහි මනස්කාන්තභාවය හොඳින් දිස්වනුයේ හිමිදිරි උදයේ කුළුඳුල් හිරු කිරණ එම ගල් තලාව මත පතිත වෙද්දීය.

ඇල්ල කපොල්ලෙහි තෘණ මත රැඳුණු පිනි බිඳු සොරා ගෙන පැමිණි සිහිල් සුලං පොද මා ගත සිත සිප ගනිද්දී පිහිටක් හෝ සරණක් නොමැතිව මේ සසර දනව්වෙහි තව තවත් අසරණව සිටීමෙන් මිදෙන්නට මා මිනිත්තු කිහිපයක් වෙර දැරුවෙමි. දෙපා යුගල දණින් නැමී එක මත එකය. දෑත ලිහිල්ව උකුල මතය. දෑස පියවී ගොසිනි. ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් මාගේ නාස් පුඩු අගට හොඳින් දැනෙන්ට විය. ඒ උන් වහන්සේ මා හට කියා දුන් ආනා පාන සතියයි…


TIP

Please avoid consuming meat.

Address

Rakkhiththa Kanda Rajamaha Viharaya, Karandagolla, Ella, Uva.

Directions

2 Km on Uma oya project road.

Contacts

Report Inaccuracy

Closed right now

Ratings Breakdown

Overall Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment