Ground Floor, Buddhist Cultural Centre, Colombo 05
Closed right now
Found on the ground floor of the Buddhist Cultural Centre near Thunmulla junction, Ranbath is the newest restaurant in town that serves up organic and completely vegetarian food for a decent fare.
“අයියෙ, දැංවත් යමංද?”
“හප්පටසිරි ඔව්නෙ. උඹට, යනව කියල දැන් පැය බාගෙකටත් වැඩියිනෙ. යමං යමං”
ලමිදු, පැයක් විතර තිස්සෙ කතා කරන්නෙ ‘රන්බත්’ යමු, ‘රන්බත්’ යමු කියල. වැඩේ කියන්නෙ මගේ වැඩ අස්සෙ මට ඒක අමතක වුණානෙ. කොහොම හරි ඔන්න දවල් 2 විතර වෙද්දි මම වැඩ ටික ඉවර කරලා සෙට් වුණා ලමිදු එක්ක රන්බත් යන්න. පික්මී එකක් එහෙම දාගෙන… ට්රැෆික් එක අස්සෙ ගාට ගාට… අනේ මන්දා ඉතින් ස්කූල් ටයිම් එකට කොළඹ කොහෙත් ඔහොමනෙ.
වෙලාව කියන්නෙ අපිට විනාඩි 10ට, 15ට එතනට යන්න පුළුවන් වෙච්ච එක. මම නම් හිතුවෙ ම පැය බාගයක්වත් යයි කියල. ඊටත් ගියාට පස්සෙ කියන්නකො දන්නෙ ඒක වෙජි ප්ලේස් එකක් කියල. හැබැයි ඉතින් පාඩු නෑ මොකද සියලු දේ ෆුල් ඕගනික්. ‘පළිබෝධ නාශක නොමැත.’
වෙජි වුණත් මොකෝ ඇඟට හොඳයිනෙ කියල මම පටන් ගත්ත කෑම (1ක් රු. 300) බෙදාගන්න. සුදු බතුයි, කරවිලයි, බටුයි, අඹයි, කංකුං තෙල්දාපුවයි, මිරිස් පපඩම් කලවම් බැදුමයි. ඔය අතරට අපිත් එක්ක ගියපු සෙනුරි බෙදාගෙන තිබුනෙ පොල්සම්බෝලයි, අඹ මාළුවයි, සලාදයි, කංකුං තෙල්දැමුමයි, මිරිස් පපඩම් කලවම් බැදුමයි. වැඩේ කියන්නෙ ඔය අතරෙ ලමිදුනෙ බත් එකට මාර ගැලපිල්ලක් ගලපල තිබුනෙ. පරිප්පු, කොළමැල්ලුම්, මාළුමිරිස්, ඇඹරැල්ලා, මිරිස් පපඩම් බැදුම! කොහොමද ඒක?
හරි ලස්සනට පිළිවෙළට හදපු කඩේ වුණාට අපිට හිතදුන්නෙම ඇතුළෙ කොටසට ගිහින් කෑම කන්න. ඉතින් 3 දෙනාම ගියා එතනට. එතනත් හරි ලස්සනයි. ඒ වගේම සීතලයි. බැලින්නම් ඒසී. එක 16ට!. ගත්ත ගමන් රිමෝට් එක මම අඩු කළා සීතල 22ට. ඊට පස්සෙ තමයි අපි දෙසාබාන වැඩේ පටන්ගත්තෙ. ලී මේස පුටු දාලා, පොඩි පොඩි පැළ වර්ග බිත්තිවල එල්ලලා හැඩ කරපු එතන වතුර බොන්න තිබ්බෙ පොල් කට්ටෙන්. ඇත්තටම ඒක මට කෙසේ වෙතත් ලමිදුටයි, සෙනුරිටයි නම් අමුතු අත්දැකීමක් වුණා.
ඒ අත්දැකීමෙන් ම හිනාවෙවි කන්න පටන් ගත්ත කස්ටිය එළවළු ජාතිත් පොඩ්ඩ පොඩ්ඩ වගේ බෙදාගත්තෙ නිකමට රස බලන්න කියලා. ඇත්තටම රන් බත් එකේ බත නම් හරිම ෆ්රෙෂ්. සුදු බත් වුණාට හොඳ රහට සුවඳට තියෙනව. මගෙ හිතේ රතු බතුත් එලෙසින් ම වෙන්න ඕන. බත් වගේම තමයි එයාලගෙ කරවිල මාළුවයි, බටු ව්යංජනයයි. රස පදමට තුනපහ දාලා ලොකු සැරක් නොතියෙන්න මිරිසුත් ගානට දාලා මදි නොකියන්න කිරිත් දාලා තමයි හින්දල තියෙන්නෙ. ඒ නිසා ඒවයෙ හොද්ද හරිම රසයි. කරවිලවල එහෙම පොඩී තිත්තක් තියෙන්න තමයි උයල තිබ්බෙ. ඒ නිසා කන අයට ආසාවෙන් කන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, එයාලගෙ අඹ, ඇඹරැල්ලා දෙකත් තිබ්බ ඇඹරෙන්නම. ආයෙ සුපිරි කියන්නේ... පංකාදු පහයි. ළා ඇඹුලක් එක්ක පැණිරස නූලට. ඊටත් තුනපහ එහෙම ගානටම දාලනෙ. ඇත්තටම කුක් නම් නියම ගමේ මනුස්සයෙක් වෙන්න ඕන. නැත්නම් ඒ වගේ අඹ එකක් හදන්න බෑ ලොවෙත්.
මෙයාලගෙ කංකුං තෙල් දැමුමත් නරකම නෑ. හැබැයි තව පොඩ්ඩක් සැර වුණා නම් තමයි හොඳ. මොකද ඒක පොඩ්ඩක් නැගල යන්න තියෙන්න එපැයි. ඒ හැරුණාම… ගොටුකොළ සම්බෝලයක් තිබ්බා පංකාදු පහට! ඒකෙ ගොටුකොළත් ෆ්රෙෂ්, ලුණු ඇඹුලුත් හොඳ ගානට. අර, උම්බලකඩ කෑල්ලකුත් තිබ්බ නම් මරු. ඒත් මෙතන වෙජිටේරියන්නෙ.
අවාසනාව කියන්නෙ එච්චර රහට ගමේ කෑම හදන රන්බත් එකට, කටට රහට පරිප්පු හදාගන්න බැරි එකනෙ. අනේ ඇත්තට පරිප්පු එක නම් අන්තිම අවුල්. කිරි හොඳට දාලා තිබ්බට තුනපහත් නෑ ඒකෙ, මිරිසුත් නෑ… චැහ්! කියලත් වැඩක් නෑ ඉතින්. ඒ වගේම තමයි මාළු මිරිස්. ඒකෙත් ලොකු ගතියක් නෑ. නිකම් ලූණු ටිකක් දාලා තෙලට දාලා. ෆ්රෙෂ් නම් තමයි හැබැයි බත් එකට ලොකු ගැම්මක් දෙන්නෙ නෑ.
පරිප්පු, මාළු මිරිස් අවුල් වුණාට මෙයාලගෙ පොල් සම්බෝලෙ නම් තියෙනව පංකාදු පහට. කොටින්ම කිව්වොත් උම්බලකඩ අඩුවත් නොදැනෙන්නම රසයි. හීනියට ගාපු පොල්වලට මිරිස් ටිකක් වැඩිපුර දාලා, ගම්මිරිසුයි, ලූණුවලිනුයි තමයි රස අරන් තියෙන්නෙ. හැබැයි දෙහි එහෙමත් පදමටම දාලා තියෙනව.
පොල් සම්බෝලෙ හැරුණාම ඉතින් කටට රසට දැනෙන්න කියල තිබ්බෙ මිරිස්, පපඩම්, කතුරුමුරුංගා කොළ, රටකජු බැදුම තමයි. ඒකෙ රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සියලු දෑ පදමට බැදිලා, රියල්ම කටගැස්ම!
ඔය විදියට බත් කෑවට මොකද ඊට පස්සෙ ගෙන්නපු ටී එකයි (රු. 60) වණ්ඩු ආප්පෙයි (රු. 50) නම් කටේ තියන්න බෑ. ටී එක ගැන නොකියා ඉන්නම්. මොකද ඒක ටී එකක් වෙන්න තව කිරියි, කහටයි තමයි එකතු වෙන්න තිබ්බෙ!
වණ්ඩුවෙත් පැණි රස මදි. මගෙ හිතේ එයාලා සීනි පැණි දාලා වෙන්න ඕන වණ්ඩුව හදල තියෙන්නෙ. අනේ මන්දා ඉතින් එච්චර ඕගනික් කඩේ… කිතුල් පැණි ටිකක් දාන්නකො නේ!
කොහොම හරි ඉතින් අන්තිමට වුණේ එළවළු කෑම කාලා ලොකු බිලක් ගෙවලා ආපු එක තමයි.
‘රන්බත්’ වෙජි කට්ටියට කොහොම සෙට් වුණත් අනිත් කට්ටියට නම් මම හිතන්නෙ නෑ…?