Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Rasa Bojun (Kollupitiya)

235, Galle Road, Kollupitiya.


A small eatery at Kollupitiya junction, that serves up good Lamprais, rice and curry items.



කොල්ලුපිටිය හන්දිය කියන්නේ දවාලට රස බත් කටක් කන්න පුළුවන් විදියේ තැන් ගොඩක් පිරිවරාගත්ත හරියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. තියෙන කන්තෝරු ගොඩත් එක්ක සළකලා බැලුව ම ඒකෙ පුදුමයකුත් නැහැ. ප්‍රණීත, චිමිනිය, සැෆ්රොන් කිචන්ස්, කරි පොට් ඔය අතරින් කීපයක්. මේ ගොන්නට මෑතකදී එකතු වෙච්ච බත් කඩයක් තමයි “රස බොජුන්".

තැන සහ වාතාවරණය

ඉස්සර කොල්ලුපිටියේ “පොල් සම්බෝලය” තිබුණු තැන මතකද? අර කොල්ලුපිටියේ හන්දියේ ම, පෙරේරා ඇන්ඩ් සන්ස් එක පහුවුණු ගමන් තිබුණේ. මේ රස බොජුන් එක තියෙන්නේ එතැන. පොල් සම්බෝලේ තිබුණු ළා ගැමි පෙනුම තවමත් මේකේ ඇතුළේ දැකගන්න පුළුවන්. දහ පහළොස් දෙනෙක්ට වගේ එකට වාඩිවෙලා කෑම ගන්න පුළුවන් විදියට ලී පුටු මේස අහුරලා තිබුණා. දවල් වරුවට නම් සද්ද බද්ද වැඩියි. මොකද වටේ පිටේ තියෙන ඔෆිස්වල උදවියගෙන් මේක පිරෙන නිසා. එහෙම වුණා ම කවුන්ටරේ පැත්තේ ගාලගෝට්ටියත් වැඩි වෙනවා.

කෑම බීම

ෆ්‍රයිඩ් රයිස්, කහ බත්, ලම්ප්‍රයිස් සහ රයිස් ඇන්ඩ් කරි තමයි රස බොජුන් එකේ තියෙන්නේ. රුපියල් 210 ඉඳන් ඉහළට මේ බත්මුල්වල ගාණ වෙනස් වෙනවා. රයිස් ඇන්ඩ් කරි ලැයිස්තුවේ චිකන්, බිත්තර, ඔම්ලට්, මාළු, හාල්මැස්සෝ, බීෆ් වගේ ම, වෙජි බතකුත් තියෙනවා. බීම කියලා නම් විශේෂයක් නැහැ. ස්ප්‍රයිට්, කෝක් තමයි.

කෑම බීම ටික ඩිස්ප්ලේ කරලා තියෙන විදිය දැක්ක ම නම් හරි ම ආස හිතෙනවා. ෆ්‍රයිඩ් රයිස් හැර අනිත් ඒවා තියෙන්නේ තවපු කෙසෙල් කොලේ ඔතපු බත්මුල් විදියට. මේ බත්මුල් තියලා තියෙන්නෙත් කුළුවල. ඒ විතරක්යැ, අපේ අතට ලැබෙන්නේ වේවැල් වට්ටිවල තියලා.

අපි ගත්තේ ලම්ප්‍රයිස් (රු.410) එකකුයි, බීෆ් රයිස් ඇන්ඩ් කරි (රු.360) එකකුයි.

ලම්ප්‍රයිස් එක දිග අරිද්දී ම එන සුවඳින් බඩගිනි නැති එකෙක්ට වුණත් බඩගිනි වෙනවා. මේක අපේ සිංහල කෑමවලින් එන කුරුඳු, කරාබුනැටි වගේ කුළුබඩුවල සුවඳයි, තවපු කෙසෙල් කොලෙන් එන සුවඳයි එකතු වෙලා හැදුණු එකක්. තඩි චිකන් කෑල්ලකුයි, කට්ලට් එකයි, බැදපු අලුකෙසෙල් කෑලි එකතු කරපු බටු මෝජුවයි, තම්බපු බිත්තරයක්, එක්ක කූනිස්සෝ සම්බෝලයක් මේ බත්මුලේ තිබුණා.

ඇත්තමයි මේ ලම්ප්‍රයිස් එකේ රස නම් කාලෙකට අමතක වෙන එකක් නැහැ. මොකද ගොඩක් දවසකින් කෑව නියමරස ලම්ප්‍රයිස් එකක් මේක. චිකන් කෑල්ලේ තිබුණේ පුදුම රසක්නේ! ගානට ගම්මිරිස්, ඇඹුල් රස එකතුවෙලා. අනික ලෝබ නැතුව බෙදලා තිබුණු මේකේ හොද්ද එක්ක බත් මුට්ටියකට වුණත් වග කියන්න පුළුවන්. බටු මෝජුවත් සුපිරි. මේකේ බතත් මරු. බැදපු කජු, තම්බපු චිකන් කෑලි එහෙමත් මේ බතේ දැකගන්න ලැබුණා.

බීෆ් රයිස් ඇන්ඩ් කරි එකේ තිබුණේ උයපු බීෆ්, පරිප්පු, අඹ කරියක්, තෙල් දාපු ලීක්ස් එක්ක පොල් සම්බෝලයක්. මේ පොල් සම්බෝලේ නම් පංකාදු පහයි ඈ! තෙලෙන් නොබැදපු ක්ලැසික් පොල් සම්බෝලේ. අබයි, කෑලි මිරිසුයි දාලා නිසා හොඳ ස්පයිසි රසට තිබුණා. පරිප්පුවත් මරු. මේක හොදි නැති හින්දපු පරිප්පුවක්. අඹ කරියේ ලොකු පැණි රසක් හෝ ඇඹුල් ගතියක් නැහැ. ඒ නිසා රස හොඳයි. ලීක්ස් බැදුමෙත් කියන්න තරම් වරදක් තිබුණේ නැහැ. මේ ටික එකතු වෙලා ඇනෙන බත් කටක් කන්න ලැබෙන එකත් වාසනාවක්.

කාලා බීලා ඉවර වුණාට පස්සේ අපට හිතුණා රස බොජුන් එකේ ඩෙසට් එකකුත් කාලා බලන්න. මෙහෙ ඩෙසට් විදියට තියෙන්නේ බිස්කට් පුඩින්, කැරමල් පුඩින් සහ වටලප්පන්. ඉතින් අපි ගත්තේ වටලප්පමකුයි (රු.160), කැරමල් පුඩිමකුයි (රු.160).

තඩි වටලප්පන් කෑල්ලක් හම්බුණත්, රුපියල් 160කට මේක පාඩුයි. මොකද මේකේ පැණි රස හොඳටම වැඩි. කට කාරලා යන සයිස්. ඕක ඔරිජිනල් කිතුල් පැණි දාලා හදපු එකක් නම් ඔන්න ගානක් නැහැ. ඒ වුණාට මේකේ තිබුණේ කලවම් පැණියක්. අර සීනි පැණියි, කිතුල් පැණියි මික්ස් කරපු එකක්. බිත්තර යන්තමට දාපු ගතියක් තේරුණා. හැබැයි දුන්නු ගානට සෑහෙන්න පාඩුයි.

කැරමල් පුඩිම අපට නියමෙට අල්ලලා ගියා. හෙන ම මෘදුයි. රස කැරමල්වල ඔබ්බලා. හරියට ගෙදර හදපු එකක් වගේ. දුන්නු ගාණට පාඩුත් නැහැ.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. අදාළ ගාණ කවුන්ටරේට ගෙවලා බත්මුල් ටික ගන්න ඕනේ. හැබැයි කිව්වත් වගේ කඩේට එන සෙනග වැඩිවෙද්දී කවුන්ටරේ ඉන්න අයගේ සුහද බව නැතිවෙලා යනවා. එන්න තිබුණු කෑම පාර්සල් වගයක් පරක්කු වුණු නිසා තද වචන හුවමාරුවකුත් වෙනවා දැකගන්න ලැබුණා.

අවසාන වශයෙන්

රස බොජුන් එකේ ගණන් හිලව් මේ හරියේ තියෙන අනිත් බත් කඩවල්වලට වඩා ටිකක් වැඩියි. සමහර විට ඒ කොල්ලුපිටියේ හන්දියේ ම තියෙන තැනක් නිසා වෙන්නත් පුළුවන්. හැබැයි කෑමවල රස නම් අනිත් ඒවා වගේ ම හොඳයි. අනික දැන් කාලේ කෙසෙල් කොලේ බතක් කන්න හම්බෙන්නේ කොච්චර අඩුවෙන්ද? ඒ නිසා පුළුවන් වෙලාවට මේ පැත්තට ගිහින් ආවොත් පාඩුවක් නැතිවෙයි.


TIP

Try the Lamprais.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment