Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

RTM Delights

No. 20/1A, Moragasmulla Road, Rajagiriya.


යාළුවෙක්ගෙ හරි ආදරය කරන කෙනෙක්ගෙ හරි උපන් දින සාදයක අපූරු වෙනසක් කරන්නත් RTM Delights එකේ කෑම වලට බැරි වෙන එකක් නෑ.



පහු ගිය සතියෙ ගල්කිස්ස වෙරළෙ තිබ්බ 'හිපි' පොළ ගැන විස්තර මම ඔයාලට කිව්වනෙ. එදා දවස පුරාම හිපි යාළුවන්ගෙ වැඩ කිඩ බලපු මට බඩ කට පිරෙන්න කෑම ටිකක් කන්න පුළුවන් තැනකුත් හිපි පොළෙන්ම හමුවුනා. ඒකෙ නම RTM Delights. RTM Delights කියන්නෙ ගෙදරදී තමන්ගෙ දෑතින්ම කෑම හදන කට්ටියක් (Home bakers).

ආහාර

හරි සරල විදියට පොඩි කූඩාරමක් යට ලෑලි මේසෙයක් දාලා පොඩියට කරගෙන ගියාට RTM එකේ තියෙන කෑම ජාති ටික නම් පොඩි නෑ. වැඩි හරියක්ම මට සතුටු හිතුණෙ උණු උණු ලසඤ්ඤා තියෙනව දැකලා. යාළුවටත් එක්කම කුකුල් මස් ලසඤ්ඤා එකකුයි (රු. 330) එළවළු ලසඤ්ඤා එකකුයි (රු. 280) ගත්ත මම අතුරු පසට කජු දාපු බ්‍රවුනි කෑල්ලකුයි (රු. 120) චොකලට් කප් කේක් එකකුයිත් (රු. 100) ගත්තා.

පොළට ඇතුල් වෙන තැනම ටිකක් පැත්තකට වෙන්න තිබුණු පොඩි ශාලාවකට ගියපු අපි දෙන්න මේසයකින් වාඩි වෙලා ඇළුමිනියම් පෙට්ටි දෙකේ තිබුණු උණු ලසඤ්ඤා දෙක දිග ඇර ගත්තෙ ඒකෙන් එන සුවඳට දෙගුණ තෙගුණ වෙන බඩ ගින්න බොහොම අමාරුවෙන් විඳ දරාගෙන. ඊට පස්සෙ නම් ඉතින් ගෑරුප්පු අතට ආවෙ කොහොමද, ලසඤ්ඤා භාගයක් විතර එකපාරටම ඉවර වුනේ කොහොමද කියල අහන්න එපා. තිබුණ බඩගින්නෙ හැටියට ලසඤ්ඤා දෙක තුනක් වුනත් කන්න පුළුවන්.

කුකුල් මස් ලසඤ්ඤා එක පංකාදු පහයි. හොඳ පදමට බේක් වෙලා. උඩින් දාපු චීස් තට්ටුවත් පොඩි මෙලෙක් ගතියක් එක්ක නිමය ගාණට තියෙනවා. පොඩියට කපපු කුකුල් මස් කෑලි වලට අමතරව කැරට්, මාළු මිරිස් කෑලි ටිකකුත් එකතු කරලා හදපු ලසඤ්ඤා එකේ මාරුවෙන් මාරුවට දෙවතාවක් විතර වැටෙන චීස් තට්ටුවයි මස් තට්ටුවයි නම් ටිකක් කලවම් වෙලා වගේ. ඒත් රස පදම නම් කියල වැඩක් නෑ. පොඩි සැර ගතියකුත් එන විදියට මිරිස්, තුන පහ දාලා හදපු කුකුල් මස්, එළවළු මිශ්‍රණයත් එක්ක ලසඤ්ඤා කටක් කද්දි දැනෙන රස නම්... තව පොඩ්ඩෙන් යාළුවට භාගයක් තියන්න අමතක වෙනව.

යාළුවටත් එයාගෙ එළවළු ලසඤ්ඤා එක රහ වැටිල වගේ. භාගයක් මට දෙන පාටක් නෑ. බල බල හිටියොත් ඒකෙන් කටක් රස බලන්න වෙන්නෙ නැති නිසා මම කතා කරලම එළවළු ලසඤ්ඤා එක ඉල්ල ගත්තා. හපොයි, ඒක නම් බැලූ බැල්මටම හරිම පොඩියි. ඇළුමිනියම් පෙට්ටියෙ මැද හරියෙන් වගේ තමයි ලසඤ්ඤා එකේ උඩම තට්ටුව පටන් ගන්නෙ. ඒත් ඒ අඩුව නොපෙනෙන්න හරි ලස්සනට එළවළු කෑලි ගොඩක් එකතු කරල හදල තියෙන නිසා ලොකු අවුලක් නෑ. දඩ බඩ ගාලා හැන්ද අතට ගත්තු මම එක පෙළට එළවළු ලසඤ්ඤා කෑලි දෙක තුනක් කෑවා. ෂහ්, කුකුල් මස් ලසඤ්ඤා එක පරාදයි. ලොකුවට කපපු කැරට්, මාළු මිරිස්, අල කෑලි මදි නොකියන්න දාලා හදපු එළවළු ලසඤ්ඤා එකේ පාටත් හරිම ලස්සනයි. දැක්කාම කාගෙන කාගෙන යන්න හිතෙනවා. මිරිස්, තුන පහ නොදා හදල තිබුණට එළවළු වල රස නියමෙට දැනෙන්න ලුණු, ගම්මිරිස් එහෙම පදමට දාලා තියෙනවා. මෙලෙක් වුණු චීස් එක්ක එළවළු කෑල්ලක් බඩට යද්දි නම් බඩයි හිතයි දෙකම ඉබේටම පිරෙනවා. ඒ තරම් රසයි එළවළු ලසඤ්ඤා එක.

මම රස බල බල එළවළු ලසඤ්ඤා එක කාලා ඉවර වෙද්දි යාළුවා අතුරුපසටත් වැඩේ දෙන්න පටන් අරන්. මමත් නිකන් හිටියෙ නෑ. කජු දාපු බ්‍රවුනි එකෙන් කෑල්ලක් කඩා ගෙන රස බැලුවා. චොකලට් රසින් අනූනයි. ඒ විතරක්ද හරිම මෘදුවට හදලත් තියෙනවා. චොකලට් රස අතරට කජු කෑල්ලකුත් හැපෙද්දි තමයි රස දෙගුණ තෙගුණ වෙන්නෙ.

ඒ වුනාට චොකලට් කප් කේක් එක නම් සවුත්තුයි. ඇත්තටම ඒකෙ කේක් එකේ වත් අයිසින් එකේ වත් චොකලට් රසක් නම් හරියට එන්නෙ නෑ. අයිසින් වල නම් තනිකරම අයිසින් සීනි රස විතරයි. කේක් එකත් ටිකක් හයියයි. කප් කේක් එක අපි දෙන්නටම හරි ගියේ නෑ.

අනුමිතිය

RTM එකේ කෑම වල රසට බඩ විතරක් නෙවෙයි හිතත් පිරෙනවා. ඔයාලටත් ඕන වෙලාවක දුරකථන ඇමතුමක් දීලා මෙයාලගෙන් රසම රස කෑම වේලක් හරි අතුරු පසක් හරි ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. යාළුවෙක්ගෙ හරි ආදරය කරන කෙනෙක්ගෙ හරි උපන් දින සාදයක අපූරු වෙනසක් කරන්නත්  RTM Delights එකේ කෑම වලට බැරි වෙන එකක් නෑ.


TIP

Try their lasagne.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment