Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Salaka Senkada

No. 466 Union Pl, Colombo 2


Salaka Senkada one of the most popular rice & curry spots in Union Place. They serve up some ok-ish rice & curry for a decent price tag.



ඔන්න කොළඹත් MINISO එකක් දාලා. කොළඹ යූනියන් ප්ලේස් එකේ තමයි මේක තියෙන්නේ. ඇත්තමයි ඔය ආරංචිය ආවම මගේ ඉහේ මලක් පිපුණා වගේ. මොකද නුවර තියෙන MINISO එකේ විස්තර කට්ටිය රස කරකර කියද්දී කාටද අප්පේ අහගෙන ඉන්න පුළුවන්. මොකද මේ සුපර් මාකට් එකේ නැති දෙයක් නැහැනේ. බෑග් වර්ග, කුස්සියේ බඩු, වයර් බැටරි ජාති, මේකප් බඩු, ආදී වශයෙන් ගෙදරකට ඕනේ කරන, ඒ වුණාට ලංකාවේ සුපර් මාකට්වලින් අඩු ගාණට හොයාගන්න නැති පොඩිපොඩි දේවල් තොගයක් මේ සුපර් මාකට් එකේ තියෙනවා. අනික සේරම ජාති ජපානෙන් සහ චීනෙන්  ගෙන්වන දේවල්.

ඉතින් කොළඹ MINISO එක ඇරපු දවසට පස්සේ දවසේ ම අපි ගියා ඒ පැත්තේ. නිකනුත් නෙවෙයි, රු.5000කුත් අරගෙන. මොකද පොඩිපොඩි ගැජට් තොගයක් ම ගන්න ඇහැකිනේ. කොහොමින් කොහොමහරි ෂොපින් කිරිල්ල අහවර වුණාට පස්සේ අපි දවල් කෑමට යන්න පුළුවන් තැනක් ගැන කල්පනා කළා. අපේ අතේ ඉතුරු වෙලා තිබුණේ රු.800ක් වගේ.

යූනියන් ප්ලේස් පැත්තට ඇවිදින් ඔය ගාණට කන්න පුළුවන් තැන් කීපයයි. ඒ අතරින් ප්‍රසිද්ධ ම තැන තමයි සලාකා සෙන්කඩ එක.

තැන

යූනියන් ප්ලේස් සලාකා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඒ තරමට මෙතැන ජනප්‍රියයි. ලිප්ටන් වටරවුමෙන් යූනියන් ප්ලේස් එකට හැරුණු ගමන් පාරේ වම් අත පැත්තේ තමයි මේක තියෙන්නේ.

මේක නිකන් පොඩි ෆුඩ් කෝර්ට් එකක් වගේ. එක සැරේ විසි තිස් දෙනෙක්ට කන්න බොන්න පුළුවන් විදියට ඉඩකඩ හදලා තියෙනවා. පොඩ්ඩක් කලබලේ නම් වැඩියි. මොකද මෙතැන ගොඩක් වෙලාවට සෙනඟ පිරිලා. හැබැයි ශේප් එකේ මේසයක් අල්ලගත්තට පස්සේ අවුලක් වෙන්නේ නැහැ.

කෑම බීම

බත් සහ ෂෝට් ඊට්ස් තමයි මේ කට්ටිය ළඟ කෑමට තියෙන්නේ. බතුත් එක ජාතියක් කියලා නැහැ. සුදු බත්, කහ බත්, රතු බත්, නාසිගුරන්, මොන්ගෝලියන් රයිස්, ඊළඟට නාසිගුරන් ආදී නා නා ප්‍රකාර බත් වර්ග මේ කට්ටිය හදනවා. සුදු බත්, කහ බත්, හෝ රතු බත් ගන්නවානම්, එළවලු වර්ග හතරක් එක්ක මසක් මාළුවක් ගන්න ඇහැකි. ඔය මස් මාළුත් එකඑක විදියට හදපුවා. කිරට ඕනේ නම් එහෙමයි, මිරිසට ඕනේ නම් එහෙමයි. ඕවා මුකුත් කැමති නැත්තන් කරවල, සොයා මීට් එහෙමත් තියෙන නිසා ඇති තරමට තෝරාගෙන කන්න ඇහැකි. බීමට තියෙන්නේ අයිස්ඩ් කොෆී, ෆලූඩා සහ ෆෘට් ජූස් වර්ග.

ඔය අතරින් අපි ගත්තේ මාළු ඇඹුල් තියල් දාපු කහ බතකුයි (රු.250), මොන්ගෝලියන් රයිස් (රු.280) එකකුයි. බීමට ගත්තේ ෆලූඩා එකක් (රු.180).

ආයේ කතා දෙකක් නෑ මහත්තයෝ! කහ බතේ තිබුණු මාළු ඇඹුල් තියල පංකාදු පහයි. හප්පේ! බත් බුසලකට වුණත් වග කියන්න පුළුවන් මේකත් එක්ක. නියම පදමට ගම්මිරිස්, ගොරකා දාලා හදපු නිසා තමයි මේක මෙච්චර ම රස. මාළු කෑල්ලේ තද ගතියත් නියම ගානට තියෙනවා. කියන්න තරම් විශේෂයක් නැතත් මේ කහ බතත් අවුලක් නැහැ. තෙල් ගතියත් ගොඩක් අඩුයි. පරිප්පු එකත් ශේප්. කිරි රස හොඳට ආවා. බෝංචි කරියත් සෑහෙන්න හොඳට තිබුණා. හැබැයි පොලොස් එක නම් සවුත්තුයි. පට ගාලා හදපු ඉන්ස්ටන්ට් පොලොස් එකක් කියන එක හොඳට ම තේරෙනවා. මැටි හට්ටියේ පැය කීපයක් තිස්සේ තියලා හදන පොලොස් කරියක රස හෝ සුවඳ මේකෙන් එන්නේ නැහැ. ඔය වම් පැත්තේ තියෙන අල තෙල් දාපු එකත් ඒ වගේ තමයි. කිසිම කලඑළියක් නැහැ. අබයි, වේලිච්ච මිරිසුයි විතරයි.

මොන්ගෝලියන් රයිස් එකත් අවුලක් නැහැ. මේක මිරිස්, ලුණු, කැරට්, ලූණු කොළ, කරපිංචා එහෙම එකතු කරලා තෙම්පරාදු කරපු බතක්. තඩි බැටර් ෆ්‍රයිඩ් චිකන් කෑල්ලකුත් මේකට ලැබුණා. මොනවා වුණත් ඔය එම්සී ෆුඩ් කෝර්ට්වලින් කනවට වඩා නම් දාහෙන් සම්පතයි. මොකද අජිනොමොටෝ දාලා නැහැනේ.

ෆලූඩා එක නම් ගොඩක් රසයි. පොඩ්ඩක් සීනි වැඩි රසක් වගේ තේරුණත් ඒක ලොකු අවුලක් නැහැ. මොකද කිරි රස හොඳට තිබුණනේ. අතරින් පතර ජෙලි කෑලිත් හැපෙනකොට තවත් මරු.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරෙන් බිල දාගෙන, කෑම තියෙන ෂෝ කේස් එක පිටිපස්සේ ඉන්න කෙනෙක්ට දුන්නම කෑම පිඟාන ලෑස්ති කරලා දෙනවා. සෙනඟ හුඟක් ම වැඩි වෙලාවට නම් විනාඩි හය හතක් ඉන්න වෙනවා.

අවසාන වශයෙන්

යූනියන් ප්ලේස් පැත්තෙන් යන වෙලාවක කටට රහට බතක් මාළුවක් කන්න ඕනේ නම්, අනිවාර්යෙන් ම යන්න ඕනේ තැන මෙතැන තමයි. මොකද ඒ වගේ ගණන්වලට කන්න පුළුවන් තැන් මේ හරියේ සෑහෙන්න අඩුයිනේ. අනිවාර්යෙන් ම මේ කට්ටිය හදන මාළු ඇඹුල් තියල කන්න නම් අමතක කරන්න එපා හොඳද.


TIP

Try the Maalu Ambul Thiyal.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment