Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Seven Eleven Restaurant & Bar

Seven Eleven Restaurant & Bar,No. 531,Capital Mall,Thalawathugoda


A good place to booze with delicious food, pool games and calm chat.



බොක්කෙ පිට් එකට හරි ගියා කියන්නෙ ඉතින් අපිට හරි ගියා වගේ තමයි. ඒකනෙ අපිට නැතත් අපේ එකෙක්ට බෝනස් හම්බුනාම, අත පය දිග ඇරල වියදම් කරන්න උදව් කරන්නෙ. ආ.. නැද්ද…

සිද්ධිය මේකයි. උදේ ඉඳන්ම අම්බානක බිසී වෙලා ඉඳපු නිසා, මට ඊයෙ පෝන් එක අතට ගන්න මතක් වුනෙත් හවස 4ට විතර. හප්පොච්චියේ, මිස් කෝල් 17ක්. ඒකත් අවුලක් නෑ කිව්වහැකි. වැඩේ තියෙන්නෙ හැමදාම වද දෙන ගෙවල් කිට්ටුව එකාගෙන්ම මිස් කෝල් 12ක්නෙ. එක්කො ලොකු හදිස්සියක් වෙන්න ඕන, නැත්තම් මෙලෝ වැඩකට නැති දෙයක් වෙන්න ඕන.

මොක වුනත් ඔන්න ඔහෙ බැනුම් අහන්න හරි කියල ගත්තා යාළුවට කෝල් එකක්.

“හලෝ, ඒ සොරි බ….”

“අනේ මේ, පළ ##$$@@ යන්න. ඒවයින් වැඩක් නෑ, උඹ මොන දීපංකරේ හිටියත් තව පැයක් යන්න කලින් හංදියෙ සෙවන් එලෙවන් එකට වරෙන්. ආයෙ පස්සෙ ඥරු ඥුරු ගාන්න තියා ගන්න එපා තනි කම්බියෙ පාර්ටි දැම්මා කියල හරිද?”

කතාව ඇහුවත් හරි මම පුල් අන්දොස්. ඇයි හත් ඉලව්වෙ වෙනදට හන්දියෙ බාර් එකෙන් බියර් කෑන් එකයි, විස්සක වඩෙයි අරන්, වැව ගාවට ගිහින් හොරාට ගහල එන එකානෙ, අද මේ ‘සෙවන් ලෙවන් එකට වරෙන්’ කියල ලොරි ටෝක් දෙන්නෙ. බාග වෙලාවට ලණුවක් වෙන්නත් පුලුවන් නිසා මම යන ගමනෙ ආයෙ කෝල් එකක් ගහල බැලුවා.

කතාව ඇත්ත, මොකද මගේ තව යාළුවෙකුත් එතන. හැරත්, මට එන ගමන් සිග. ටිකකුත් ගේන්න කිව්වනෙ. පැයක් විතර තිස්සෙ බොරැල්ලෙ ඉඳන් තලවතුගොඩට ආපු මම අඩියට දෙකට බස් එකෙන් බැහැලා කැපිටල් මෝල් එකේ උඩ තට්ටුවට පියෑඹුවෙ පට්ට සන්තෝසෙන්. ඇයි ඉතින් ඒ. සී. එකේ ඉඳගෙන, කකුල් උඩ දාගෙන බීලා, කටට රහට කාලා, පූල් පාරක් එහෙමත් ගහලා, අායෙ කවද කියල සැපක් ගන්නද ඉතිං?

කොහොම හරි මම ඇතුලට යනකොටත් ඕල්ඩ් කෙග් එකකුයි (රු. 3850), සී ෆුඩ් ප්ලැටර් එකකුයි (රු. 1875) මේසෙට ඇවිල්ලා. ආයෙ කතා කර කර හිටියොත් පරක්කු වෙනවනෙ. ඉතිං මම ගියපු ගමන් හීනියට සොට් එකක් දාගෙන සී ෆුඩ් ප්ලැටර් එකට වැඩේ දෙන්න පටන් ගත්තා.

ෂහ්, කියන්න සන්තෝසයි පංකාදු කෑම පිඟාන. තම්බල ගම්මිරිස් දාපු දැල්ලො, දවටල බැදපු ඉස්සො, ගැඹුරු තෙලේ බැදල, ලුණු ගම්මරිස් පදමට දාපු ලොකු තෝරා ද මාළු පෙත්තක්, ටෝස් කරපු පාන් පෙත්තක් උඩ කකුළු මස් තොගයක්. ඒ විතරක් නෙවෙයි, තම්බපු අලයි, රස සලාදයකුයිත් තිබුනා.

ඒ අතරන් නැගලම ගියේ දැල්ලො තමයි. තම්බල, මොනවදෝ සෝස් වගයකුත් දාලා ලුණු ඇඹුල් පදම වගේම පොඩි සැර ගතියකුත් එන විදියට තමයි හදල තිබුනෙ. දවලට බැදපු ඉස්සො ටික නම් සාමාන්‍යයයි. හැබැයි හොඳට සුවඳ ගගහ තිබුනා. ලොකු තෝර මාළු පෙත්තත් රස හොඳයි. ඒත් බයිට් එකට නිසා තව ටිකක් සැර වුනා නම් තමයි මරු. විශේෂයෙන් කියන්න ඕන කකුළු මස් ටික නම් පට්ට. බැලූ බැල්මට මටත් හිතා ගන්න බැරුව හිටියෙ. හැබැයි කෑවට පස්සෙනෙ රස දැනුනෙ. ඒකම ඇති කාලක් ගහන්න, හැබැයි ප්‍රමාණය හොඳටම මදි. හරි නම් රස දේවල් ගොඩක් තියෙන්න එපැයි නේ…

පැනපු ගමන් කාපි යකා කියල, බයිට් පිඟානට කෙලගෙන කෙලගෙන ගියපු නිසාද කොහෙද යාළුව කන්න වගේ මූණට එබුනා. හී… ගාලා හිනාවක් දාලා ෂේප් කර ගත්තෙ.

“මේ, ඒක නෙවෙයි. ඇත්තටම ඇයි උඹට මේ වගේ පුණ්‍යකර්මයක් කරන්න හිතුනෙ” ස්වීප් එකක්වත් ඇදුනද දන්නෑ කියන සැකේටයි මම අහල බැලුවෙ. බැලින්නම්, මනුස්සයට අවුරුදු බෝනස් ඇවිල්ලා. බර්ත්ඩේකටත් පොල්ල තියපු නිසයි බෝනස් පාර්ටිය දාන්න හිතල තියෙන්නෙ.

ඒකෙන් මේකෙන් අනිත් යාළුවටයි මටයි වැඩක් නෑනෙ. බෝතලේ බාගයක් යද්දි ඉවර වුන සී ෆුඩ් ප්ලැටර් එක වෙනුවට රිප්ලේස් කරන්නෙ මොනවද කියලයි අපි කල්පනා කලේ. මෙනුවත් උඩ ඉඳන් පල්ලෙහාට පීරුවා, ඒත් නෑනෙ දෙයක් ඔළුවට එන්නෙ. බැරිම තැන අපේ මේසෙ බලපු සේවක මිත්‍රයට කතා කරල ඇහුවා. එතකොට කියන්නකො දැන ගත්තෙ, ගමකට කන්න පුලුවන් සයිස්, පෝර්ක් ඩිෂ් එකක් මෙයාලා ලඟ තියෙනව කියල. ඒකෙ නම ‘රෝස්ට්/ග්‍රිල්ඩ් පෝර්ක් නකල්’ (රු. 1300).

විස්තරේ ඇහුවත් හරි, අනිත් යාළුවා ඕඩරේ දාලාත් ඉවරයි. හිත හදා ගන්නද කොහෙද බෝනස් කාරයා සිග එකක් පත්තු කලා. ඒ. සී. කලාට සෙවන් එලෙවන් පොෂ් ප්ලේස් එකක් නිසා, ඇතුලෙ ඕන දෙයක්. පූල් පාරක් ගහන්න ආසවක් තිබුනට එතන තියෙන බිසී එක දැක්කාම හතර මායිමේ වත් යන්න හිතෙන්නෙ නෑ. ටී. වී. තිබුන කියල අපි බලන එකක්යැ. අයෙත් ඉතින් පුරුදු විදියට කතාවට වැටුනා.

සේවක මල්ලිගෙ වගේම කිචන් එකෙත් වැඩ හොඳයි වගේ. මොකද ඕඩරේ දාලා විනාඩි 10ක් යන්න කලින් පෝර්ක් එක මේසෙ උඩ. දුම් ද දා, සුවඳ දි දී තඩි මස් පිඟානක් මේසෙ උඩ තියෙද්දී… ඕල්ඩ් කෙග් බාගයක් අල කන්නද මහත්තයෝ…

ගෙන්නුව තව බාගයක්. දැන් ගහනව කට්ටිය සට සට ගාලා. රෝස්ට් පෝර්ක් එකත් එක්ක ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තොගයයි, සැලඩ් එකයි දැක්කාම තවත් ආසයි. අඩු සැන්ඩි, පොඩි ෂොට් එකක් හලා ගත්තු මම සෙනිකව ෆ්‍රෙන්ඩ් ෆ්‍රයිස් කෑල්ලක් කටේ දාගෙන ගත්තා ලොකු පෝර්ක් පෙත්තක් අතට. හම්මේ… සුවඳටම කට ගැස්ම හරි. රස කර කර පෝර්ක් කෑල්ල කන්න පටන් ගත්තෙ තෙල් ගතියයි, සෝස් රසයි, දිව පිනවන ගතියට ඇස් දෙකත් වහගෙන. ලුණු ගම්මිරිසුත් නියමම ගාණ. පෝර්ක් කෑලි වල සයිස් එක කියන්නෙ, එකක් ඇති ෂොට් දෙකකට.

හිතා ගන්න යාළු පෝර්ක් බයිට් එක කොහොමද කියල, ඕල්ඩ් කෙග් බාගෙ කෑලි දෙකත් ඉවරයි, බඩ පැලෙන්න කාලත් ඉවරයි, ඒත් රෝස්ට් පෝර්ක් කෑලි 3,4ක් ඉතුරුයි කියන්නකො පිඟානෙ. කට්ටියට කා ගන්නත් බෑ, විසික් කරන්නත් බෑ පිස්සු වගේ. කරන්න දෙයක් නැතිම තැන ඔන්න ඔහෙ තිබිච්චාවෙ කියල හිත හදා ගත්තෙ ඒ වෙද්දිත් අපේ එකෙක් කබරය පැත්තට නැඹුරු වෙලා ඉඳපු නිසා. වෙලාවට ඒ. සී. තිබුනෙ. සෙටිය ඇල කරල, කබරය යට යනකම් ඉඳල තමයි ගෙවල් බලා ගියේ.

කෝම කෝම හරි සන්තෝසෙන් කතා කරන්න පුලුවන් හවස් ජාමයක් තමයි ගෙවුනෙ. අපේ එකාට වගේම සෙවන් එලෙවන් එකටත් බෝම ස්තූතියි ඈ...


TIP

Try Pork knuckle dish or Sea food platter.

Address

Seven Eleven Restaurant & Bar,No. 531,Capital Mall,Thalawathugoda

Directions

At the first floor of Keels building.

Contacts

Website

Report Inaccuracy

Closed right now

Cuisine

Western Chinese Thai Pub Food Mongolian

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
Leave a comment