4/5

The Shore By O!

College Avenue, Mount Lavinia


As far as beach bars go, Shore By O! is by far the most popular. Not all their drinks are excellent, but they do the best beer cocktails around and their bites aren’t too shabby either.


‘ෂෝ බයි ඕ’ කිව්වම ඉතින් අමුතුවෙන් හඳුන්වල දෙන්න දෙයක් තියනවයෑ. ඒ තරමට ගල්කිස්සේ මුහුදු වෙරළ අයිනේ තියන මේ රෙස්ටොරන්ට් එකයි බාර් එකයි හැමෝම අතරෙ ප්‍රසිද්ධයි. ඒ නිසා වැඩි විස්තර නැතුව කෙළින් ම කතාවට බහිමු.

තැන

ගල්කිස්සෙ කොලේජ් ඇවනිව් එකේ රේල් පාරටයි බීච් එකටයි මැදි වෙලා තියන ‘ෂෝ බයි ඕ’ එක හැන්දෑකරේට ගොඩ වෙන්න මරු තැනක්. මුහුදු වෙරළ අයිනේ නිසා ඉතින් වීව් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එක පාර ලොකුම ලොකු පිරිසකට හිතේ හැටියට ඉඩකඩ ඇතුව ගැවසෙන්න පුළුවන් වටපිටාවක් මෙතන තියනවා. පහළ වගේ ම උඩ තට්ටුවෙත්. මේගොල්ලන්ගෙ බාර් එකත් මාර දිගයි. 

බීම

හාඩ් ලිකර්, කොක්ටේල්ස්, බියර් වගේ ගොඩක් දේවල් මෙතන බීම මෙනු එකේ තියනවා. ඒ අතරින් අපි ගත්තා කොක්ටේල්ස් දෙකක්. එකක් ස්විමිං පූල් (රු. 990). මේක හදල තිබුණෙ රම්, බ්ලූ ක්යුරසෝ, කොකනට් ක්‍රීම් සහ අන්නාසිවලින්. ඇල්කොහොල් වුණත් පැණි රහට බොන්න කැමති අයට ගැළපෙනවා. මොකද මේක පැණි රස එක්ක අන්නාසි රස මික්ස් වුණ, හරිම උකුවට හදපු කොක්ටේල් එකක්. මිල්ක්ෂේක් එකක් වගේ.

අපි ගත්ත අනික් කොක්ටේල් එක මේ. මේකෙ නම ග්‍රේව් යාඩ් (රු. 1350). ඇල්කොහොලික් ඩ්‍රින්ක් එකක් විදිහට ගත්තම මේක සෑහෙන සැරයි. මොකද වොඩ්කා, ජින්, රම්, ටිකිලා, ට්‍රිපල් සෙක් සහ ලයන් ස්ටවුට් කියන ජාති ටික ඔක්කොම දාලයි මේක හදන්නෙ. ආයෙ අමුතුවෙන් පහදන්න ඕන නෑනේ!

කෑම

කෑමට අපි ඕඩර් කළා සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් (රු. 780) එකක්. කැරට්, ලීක්ස්, මාළු, බිත්තර, ඉස්සො, දැල්ලො යහමින් මික්ස් වුණ මේක හොඳ තත්ත්වයෙ තිබුණා. තෙල් ගතිය තව පොඩ්ඩක් අඩු වෙලා ඒ වෙනුවට සීසනින් පොඩ්ඩක් ආව නං කියල වැඩක් නෑ. එහෙම කියල අපි මේක නොකා හිටියද, නෑනෙ නෑනේ. හැබැයි මේකත් එක්ක එනවා කියල මෙනු එකේ තිබ්බ ප්‍රෝන් ක්‍රැකර්ස් නං හම්බුණේ නෑ.

මෙන්න මේ චීස් ඔම්ලට් (රු. 650) එක මාර රහයි. අමුමිරිස්, තක්කාලි, ලූනු එක්ක දාපු බිත්තර තුනක ලොකු ඔම්ලට් එකක්. චීස් පිරිලා. රන්වන් පාටට බැදලා. මේකත් එක්ක තක්කාලි සෝස් ටිකකුත් ආවා.

මේගොල්ලෝ ළඟ තියනවා තායි චිකන් කරියක් (රු. 800) ගත්තම ඒ එක්ක පරිප්පු, පොල් සම්බෝල සහ, රෝස් පාන් හරි රයිස් හරි ගන්න පුළුවන් ඔප්ෂන් එකක්. ඒ වෙලාවේ සෑහෙන බඩගිනිකාරයො වෙලා හිටපු අපි මෙන්න මේක ඕඩර් කළා. මෙනු එකේ තිබුණෙ තායි චිකන් කරියක් වුණාට ඒ වෙලාවේ තායි කරි නැති නිසා ශ්‍රී ලංකන් චිකන් කරියක් දෙන්න පුළුවන් කිව්වා. අපි හා කිව්වා. 

චිකන් කරිය තරු පහයි. හොඳට කුළුබඩු එහෙම දාල තික් ග්‍රේවි එකකුත් එක්ක රෝස් පාන්වලට ම හරි යන්න හදලා. සෑහෙන කටට සැරයි. හොඳට සුමුදුවට හැපෙන චිකන් කෑලි ගොඩක් දාල තිබුණා. පරිප්පු එක හොදි ගොඩක් තියලයි හදල තිබුණෙ. හොඳ ස්පයිසි ගතියයි. හොඳට ලුණු ඇඹුල් ඇතුව ආපු පොල් සම්බෝලේ ටොප්. ඒ ඔක්කොටම හරි යන්න පෙති කපපු රෝස් පාන් ටිකත් ෆ්‍රෙෂ් පිට තිබ්බා. ඉතිං යකෙක් කන්න බඩගිනි වෙලා හිටපු හින්ද පානුයි පරිප්පුයි පොල් සම්බෝලෙයි විතරක් වුණත් අපිට නිකං රජ බොජුන් වගේ. 

සර්විස් එක

කොරෝනා කාලේ හින්දයි, ටිකක් රෑ බෝ වෙලා හින්දයි අපි ගිය වෙලාවේ වැඩි සෙනඟක් හිටියෙ නෑ. ඉතින් කෑමබීම ටික ඉක්මනින් ලැබුණා. ස්ටාෆ් එකේ කට්ටිය සුහදව කතාබහත් කළා. හොඳ සර්විස් එකක් ලැබුණ කියල කට පුරා කියන්න පුළුවන්.

අවසන් වශයෙන්

මුහුදු වෙරළේ ලස්සන හැන්දෑ වරුවක් ගෙවන්න කට්ටියක් එක්ක වුණත් යන්න කියල බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් ‘ෂෝ බයි ඕ’. අපි මේ පැත්තෙ ගියේ ගිය සතියෙ. මේ වෙද්දි නං කොරෝනා තත්ත්වෙ තවත් භයානක අතට හැරිල නේ. ඒ හින්ද කොහෙ ගියත් පරිස්සම් වෙන්න කියල මතක් කරන්න ඕනි. 


TIP

If you're looking to just have a couple of beers with friends, we suggest you go for their pitcher, which is great value for money.

Address

College Avenue, Mount Lavinia

Directions

From Galle Road, take Hotel Road towards the Mount Lavinia Hotel. Turn right onto College Avenue. They have some parking at the end of College Ave, or you can park before or down De Saram. Walk to the end of College Ave, cross the rail tracks and you're there.

Contacts

Facebook

Open 11 AM–11 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
5


Latest