3/5

Sidarang Fresh Fruit Juice

79, St. Micheal's Road, Kollupitiya, Colombo 03


A nice little place that serves good fruit juices for a really low cost.


පහුගිය මාස ටිකේ තිබුණ වැස්ස එහෙම අඩුවෙලා ඔන්න දැන් ආයෙත් පායන කාලේ ඇවිල්ලා. කොළඹ පැත්තේ මේ අව්වේ ඇවිදිනවා කියන්නේ එපාම කරපු වැඩක්. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල දැනෙන වතුර තිබහ! වතුර ගැලුමක් බිව්වත් යවාගන්න බෑ. මේ වගේ වෙලාවකට තිබහ විතරක් නෙවෙයි, පොඩියට දැනෙන බඩගින්නත් නිවාගන්න පුළුවන් හොඳම විදිහ තමයි පළතුරු බීම. කොල්ලුපිටිය හන්දිය පැත්තේ කැරකෙන අයට නම් අතේ  තියෙන ගාණට හොඳ රසට හදපු පළතුරු බීම ගන්න පුළුවන් තැනක් තමයි "සිදරන් Fresh Fruit Juice" කඩේ.

තැන

කොල්ලුපිටිය ශාන්ත මිචේල්ස් පාරේ අපි කවුරුත් දන්නා ගුණසිරි හෝටලය ඉස්සරහ පිහිටලා තියෙන මේ ජූස් කඩේ හොයාගන්න එක නම් එච්චර අමාරු වැඩක් නෙවෙයි. බොහොම චාමෙට අහුරපු ලී මේස දෙකකුයි, පොඩි බංකු කිහිපයයි නිසා හත් අට දෙනෙක්ට එක සැරේ මේ හදන පළතුරු බීම රස විඳින්න හැකියාව තියෙනවා.

බීම වර්ග

මෙනු එකේ ගොඩක් පළතුරු බීම ජාති පේන්න තිබුණත්, ඒ හැම බීම වර්ගෙම හැමවෙලේම ගන්න නම් නෑ. කොහොම වුණත්, රුපියල් 70 ඉඳන් 150 වගේ වෙනකම් ගණන් වලට පළතුරු බීම වර්ග මෙතනින් ගන්න පුළුවන්. අඹ, දොඩම්, පැෂන් ෆෘට්, කාමරංකා, දෙහි, ඩ්‍රැගන් ෆෘට්, දෙළුම් වගේ ගොඩක් බීම වර්ග වගේම, ෆෘට් සැලඩ් පවා මෙයාලගේ මෙනු එකේ තියෙනවා. වෙලාවේ හැටියට අපට ගන්න ගන්න තිබුණ පළතුරු බීම අතරින් අපි ඕඩර් කලේ සිදරන් ජූස් (රු.70) එකකුයි , පැණි කොමඩු ජූස් (රු.80) එකකුයි, පැෂන් ෆෘට් (රු.70) එකකුයි. කඩේ නමත් "සිදරන් ෆ්‍රෙෂ් ෆෘට් ජූස්" නිසා මුලින්ම හිතුවා සිදරන් ජූස් එක ගැන කතා කරන්න.

සිදරන්, එහෙමත් නැතිනම් මහ රට දෙහි කියන්නේ දෙහි කුලේ තවත් ඇඹුල් රස සාමාජිකයෙක් වග කවුරුත් දන්නවා ඇති නේ. ඇඹුල් පළතුරු වලින් හදන පළතුරු බීමවල හොදම රස එන්නේ ඒකේ තියෙන ඇඹුල් රස නැති නොකරපුවාමයි කියන එක තමයි මගේ හැඟීම නම්. අන්න ඒ වගේ ගානට සීනි, ලුණු එහෙම දාලා හදපු  රස සිදරන් ජූස් එකක්, සිදරන් ෆ්‍රෙෂ් ෆෘට් ජූස් එකෙන් ගන්න පුළුවන්. අයිස් කැට නොදා, කූල් වතුර පාවිච්චි කරලා එවෙලේම හදල දෙන නිසා, මේ බීම එක තවත් රසයි.

පැෂන් ෆෘට් ජූස් එකත් පංකාදු පහයි. සීනි එහෙම ගානට දාලා, හොඳට ඉදුණ පැෂන් ෆෘට් ගෙඩියක තියෙන ස්වභාවික රස දැනෙන්න හදලා තිබුණ මේ බීම එක මේ වගේ රස්නේ කාලෙට මසුරං වටිනවා.

අපි ඕඩර් කරපු පැණි කොමඩු ජූස් එක නම්, හොඳ උකුවට හදල තිබුණත් එච්චර හොඳ රසක් දැනුණේ නෑ. අනිත් බීම වර්ග එවෙලේ හදල දුන්නත්, පැණි කොමඩු ජූස් එක නම් ශීතකරණයෙන් අරන් තමයි දුන්නේ. එකේ රසක් එච්චර නොදැනුණේ වරුවක් තිස්සේ ශීතකරණයේ තියලා දුන්න එකක් නිසා කියලයි අපේ නම් හැඟීම.

අවසාන වශයෙන්

ලොකු ඉඩකඩක් නොතිබුණත්, තියෙන සීමිත ඉඩෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ කඩේ කරගෙන යන වගක් තමයි පෙන්න තියෙන්නේ. ඇත්තටම කිව්වොත්, මේක එදිනෙදා අපට දකින්න ලැබෙන පළතුරුවලින් ජූස් හදලා, බොහොම අඩු මිලකට අලෙවි කරලා, සරල විදියට කරගෙන යන කඩයක්. අතේ තියෙන පොඩි ගාණට වුනත් හොඳ රස පළතුරු බීම වීදුරුවක් බොන්න පුළුවන් නිසා, අවට තියෙන ඔෆිස්වල රැකියාව කරන හුඟක් අය දවල් කෑමෙන් පස්සේ මේ පැත්තේ එන්න පුරුදු වෙලා ඉන්නවා.

 


TIP

Make sure to check with them for the availability of the items in the menu before placing the order.

Address

79, St. Micheal's Road, Kollupitiya, Colombo 03

Directions

Step in to Sri Uttarananda Mawatha and at the roundabout, take the 3rd exit onto St Michaels Rd.

Contacts

Closed right now

Price Range

Less than 200

Dish Types

Fruit Juice

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3


Latest