341 Main St, Colombo 11
Open until 10:00 PM
Dotting the coast of Main Street, Sri Rudra does a good take on Indian, vegetarian cuisine.
පිටකොටුවේ වීදි දිගේ කඩියෝ වගේ කලබලෙන් ඇදෙන ජනකායට මැදි වෙලා එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටපු අපිට ශ්‍රී රුද්‍රා වෙජිටේරියන් රෙස්ටොරන්ට් එක හම්බුණේ මේන් ස්ට්‍රීට් එකේ දි. ඒ වෙද්දි බඩගින්නකුත් ලාවට හැදෙමින් තිබුණ නිසා අපි එතනට ඇතුල් වෙලා බැලුවා.
මේක තියෙන්නෙ සම්පත් බැංකුවෙ උඩ තට්ටුවෙ. එළියට පේන්නේ පිටකොටුවෙ සාමාන්‍ය රෙස්ටොරන්ට් එකක් වගේ වුණත් අපි ඇතුල් වුණාම දැක්කෙ හරි ම පිළිවෙළ පිරිසිදු සාමකාමී වටපිටාවක්. ඒ හින්ද ම අපිට තැන ගැන ආවෙ ප්‍රසන්න හැඟීමක්.
හැම තැනට ම හොඳට ආලෝකය පැතිරිලා ඩයිනිං ඒරියාස්, ප්‍රයිවට් රූම්ස් ඔක්කොම හොඳට එළිය වෙලා තිබුණා. බිත්තිවල එල්ලලා තිබුණේ පැරණි කොළඹ නගරෙ කළුසුදු ඡායාරූප. රෙස්ටොරන්ට් එක ඒසී කරලා නිසා එළියේ කලබලේ වත් අව් රශ්මිය වත් ඇතුළට දැනෙන්නෙ නෑ.
මෂ්රූම් සුප් එකයි (රු. 180), වඩේ එකයි (රු. 80), අනියන් තෝසෙ එකයි (රු. 250), කර්ඩ් රයිස් එකයි (රු. 200) තමයි අපි ගත්ත කෑම ජාති.
මෂ්රූම් ගොඩක් දාල උණුවෙන් සම්පූර්ණ ක්‍රීමි ගතියට ආපු සුප් එක ගැන කියන්න කිසිම වරදක් නැති තරම්. වෙලාවෙ හැටියට අපේ මහන්සි නිවෙන්න සුප් එක හොඳ ම උත්තරේ වුණා. ලුණු ගම්මිරිස් පදමට දාල නිසා මේක යන්තමින් සැර වෙලා කටට රසට තිබුණා.
වඩේ එකයි, අනියන් තෝසෙ එකයි ආවෙ එකට. කරපිංචා, ලූණු, අමුමිරිස් එහෙම දාල රන්වන් පාටට තිබුණ වඩේ එකේ රස ගැන කියන්න තරම් විශේෂයක් තිබුණෙ නෑ. සාමාන්‍ය වඩේ එකකට වඩා මිලෙන් ටිකක් වැඩි නිසා මේක තව ටිකක් කටට සොෆ්ට් වුණා නං හොඳයි කියල අපි හිතුවා.
බොම්බයි ලූනු ගොඩක් පුරවල සම්බෝලයි සම්බාරු හොදියි එක්ක ආපු තෝසෙ එක නං ඒකෙ අනික් පැත්ත. ලූණු රසත් එක්ක හොදිවල පොඟවල සම්බෝලෙ දවටලා ගත්තම මේක උපරිම තෝසේ අත්දැකීමක්.
අපේ අන්තිම තේරීම වුණ කර්ඩ් රයිස් එක දෙතුන් දෙනෙකුට ම බෙදාගන්න පුළුවන් තරම් ලොකු පෝෂන් එකක් කිව්වොත් වැරදි නෑ. ලුණුදෙහි සහ කරියක් එක්ක පුංචියට කපපු අමුමිරිස්, ලූනු කෑලි එහෙම උඩින් දාල සුදු ම සුදු පාටට බැබලි බැබලි ආපු මේක පෙනුමෙන් නම් උපරිමයි. හැබැයි රස කරල බැලුවම බත් ටික කර්ඩ් රයිස්වලට වඩා ලං වුණේ කිරිබත්වලට. ලුණුදෙහියි කරියයි මික්ස් කරගත්තම නම් ටිකක් ශේප්.
අපේ බීම තේරීම වුණේ චොක්ලට් මිල්ක්ෂේක් එකයි (රු. 180), මසාලා තේ එකයි (රු. 150). උස වීදුරුවක ලස්සන පෙනුමට ආවට මොකද චොක්ලට් මිල්ක්ෂේක් එක කොකෝවා පවුඩර් තොගේකුයි කිරි ගොඩකුයි දාලා හදල තිබුණ නිසා අපේ කැමැත්ත දිනාගත්තෙ නෑ.
අපේ වැඩි අවධානය ලැබුණේ මසාලා තේ එකට. කාලෙකින් බීපු සැර ම මසාලා තේ එක විදිහට මේක නම් කරන්න පුළුවන්. හොඳ ස්ට්‍රෝන්ග් රසක් එන විදිහට ඉඟුරු ගොඩක් දාල හදල තිබුණ මේක ආවෙ උණු උණුවේ.
සර්විස් එකේ ලොකු විශේෂත්වයක් නැතත්, කෑම බීම පරක්කු නොවී හම්බුණ නිසා වගේ ම, සාමාන්‍ය සුහද බවකින් අපිට සංග්‍රහ කරපු නිසා සෑහීමකට පත් වෙන්න පුළුවන්.
බඩුමුට්ටු හොය හොයා පිටකොටුවෙ ඇවිදලා මහන්සි දැනෙන වෙලාවක, මහන්සිත් ඇරලා, බඩත් පුරවගන්න යන්න හොඳ තැනක් විදිහට ශ්‍රී රුද්‍රා වෙජිටේරියන් රෙස්ටොරන්ට් එක නම් කරන්න පුළුවන්. කෑමත් ලාබයි, තැනත් පිරිසිදුයි.
Open until 10:00 PM
Cuisine
Indian North Indian South Indian
Price Range
Dish Types
Rice Vegetarian Biriyani Indian Sweets Shawarma Dosa Naan Parata Coffee Tea
Ratings Breakdown
Delete Comment