Artwork for Sampath - Top
Artwork for Kingsbury Tuesday

4/5

Steam Boat (Moratuwa)

No. 34, New Galle road, Idama, Moratuwa.


හැබැයි මම නම් කියන්නෙ සති අන්තයෙ දවසක පවුලේ උදවියත් එක්ක මොරටුවෙ ස්ටීම් බෝට් එකට ගිහින් ඉටි පන්දම් එළියෙ ඉඳගෙන රෑ කෑම වේල රස බලන්න පුළුවන් වුකොත් ඒක හරි සුන්දර අත් දැකීමක් වේවි.



පරණ වලව්වක පරණ තාලයේ මේස පුටුවල වාඩි වෙලා අළුත් පන්නයේ කෑම වේලක් රස බලන්න කැමතිද? මොරටුවේ ස්ටීම් බෝට් එක කියන්නෙ ඒකට කියාපු තැනක්.

පහුගිය දවස් දෙක තුනේ පානදුර පැත්තට යන එන ගමන් මොරටුව හරියෙදි දැකපු පරණ වලව්වක තියෙන ස්ටීම් බෝට් එක මගේ හිතට හොඳටම අල්ලල තිබ්බෙ. ඉතින් වැඩි දවසක් නොඉඳම පහුගිය සති අන්තයෙ තව යාළුවො දෙතුන් දෙනෙක් එක්ක මම මොරටුවෙ ස්ටීම් බෝට් එක පැත්තට ගියා.

වාතාවරණය

ලස්සනට තණ කොළ වවල තියෙන පොඩි උද්‍යානයක් මැද්දෙන් තමයි අවන්හලට යන්න තියෙන්නෙ. ස්ටීම් බෝට් එකේ කෑම ගැනනම් මම මීට කලිනුත් ලියල තියෙනවනෙ. ඉතින් මට වැඩියෙන්ම ඕන මොරටුවෙ ස්ටීම් බෝට් අවන්හලේ නිර්මාණකරනය ගැන කියන්න. පරණ වලව්වක තමයි මේ අවන්හල තියෙන්නෙ. ඒ වලව්වෙ හැඩයට කිසිම වෙනසක් නොකර හදපු අවන්හලේ ඇතුල වායු සමනය කරල තියෙන්නෙ විදුලි පංකා දාලා වුනාට කිසිම රස්නයක් නම් නෑ. පරණ ගෙවල්වල ඉස්සරහ ඉස්තෝප්පුවෙ තියෙන ඇඳි පුටුව පේන්න නැති වුනාට වලව්වට ඇතුල් වුනාම තියෙන ලොකු ආලින්දය නම් එහෙම පිටින්ම ගේන්නෙ පරණ තාලෙ හැඟිමක්. හරිම වෙනස් වගේම හරිම නිස්කලංකයි. ගාලු පාරට මුහුණලා තිබුනට වලව්ව ඇතුලට නම් වාහන සද්ද ඇහෙන්නෙ නෑ.

මට නම් වැඩියෙන්ම හිත ගියේ ආලින්දයෙ එල්ලල තිබුන ලොකු වීදුරු, පිත්තල ලෑමිප් ෂේඩ් එකට. ඒක වලව්වට ගේන්නෙ අමුතුම ගාම්භීර ගතියක්. ආලින්දයෙ දාලා තියෙන පරණ පුටු මේස ටිකත් හරිම ලස්සනයි. එතන නම් හදල තියෙන්නෙ වැඩි හරියක්ම යුවල් වලට කන්න බොන්න තමයි. ආලින්දයෙන්ම ඇතුල් වෙන්න තියෙන කාමර වලත් හතර දෙනෙක්ට විතර වාඩි වෙන්න පුළුවන් ලී මේස දාලා හදලා තියෙන්නෙ පුංචි පවුලකට හරි යුවලකට හරි නැත්නම් ඔය ව්‍යාපාර සාකච්ඡා වලට එහෙම එන අයට පෞද්ගලිකව තම තමන්ගෙ වැඩ කටයුතු කර ගන්න පුළුවන් වෙන්න.

ආලින්දයෙන් පස්සෙ තියෙන්නෙ ඇතුලත උද්‍යානය. එතනට යන අතර මගදි තමයි අවන්හලේ ලස්සනම කොටස හමු වෙන්නෙ. ඒ කියන්නෙ ලොකු පිරිසකට වාඩි වෙලා කන්න හදල තියෙන දිග ලී මේසය. ඒක දැක්කාම මතක් වෙන්නෙ පරණ ඉංග්‍රීසි ෆිල්ම් වල නත්තල් කෑම මේසය. ඉටි පන්දම් වලින් තමයි මේ මේසෙට එළිය එන්නෙ. අපිට ටිකක් රෑ වෙලා තමයි එන්න තිබුනෙ. එහෙනම් මේ මේසෙ හැබෑම ලස්සන බලා ගන්න තිබුනා. ඇතුලත උද්‍යානයත් හරිම ලොකුයි. අපි ගියපු දවසෙ නම් පළවෙනි උපන් දිනය සමරන පොඩි බබෙක්ගෙ උපන් දින සාදයට අම්මයි තාත්තයි ඒ උද්‍යානය සරසනව. හරිම අපූරුයි. සිමෙන්ති මේස බංකු දාලා හදල තියෙන උද්‍යානයේ හැබෑ ගතිය බලා ගන්න බැරි වුනාට මට නම් හිතෙන්නෙ ඒ කොටස හදල තියෙන්නෙ හවස් ජාමෙට පොඩි ෂොට් එකක් දාන්න එන අයට වෙන්න ඕන.

ආහාර සහ සේවාව

මම අවන්හලේ හැඩ වැඩ බලන අතරෙ යාළුවො ටික අපි කට්ටියටම ඇති වෙන්න ලොකු මික්ස් චොප්සි රයිස් එකකුයි (රු. 800) මට්න් ඩෙවල් එකකුයි (රු. 510) ඇණවුම් කරලා තිබුනා. මමත් ගිහින් යාළුවො වාඩි වෙලා ඉඳපු දිග ලී මේසෙන් වාඩි වුනේ මේසෙටම ගැලපෙන දිග ලී බංකුව හැඩ වැඩ හොඳට බලලා. කාර්යමණ්ඩලයත් හරිම සුහදශීලීව අපි එක එක්කෙනාට වෙනමම සීතල වතුර වීදුරුයි පිඟන්, හැඳි ගෑරුප්පුයි තියල මේසෙ හදල දුන්නා. ඇණවුම් කරපු කෑම ටික අපේ මේසෙට එන්න විනාඩි 10ක් 12ක් ගියාට අපේ කයිවාරුව නිසා වෙලාව යනව නම් දැනුනෙ නෑ.

ෂහ්, බලන්න එපැයි මික්ස් චොප්සි රයිස් එකේ ලස්සන. ලොකු පිඟානක් පිරෙන්න ආපු මේ චොප්සිය අපි තුන් දෙනාගෙ බඩවල් වලට වැඩි වෙයිද මන්දා. පදමට තැම්බුනු කැරට් පෙති, ගෝවා, බෝංචි, කෝන්, හතු, වගේ එළවළු වර්ග වලිනුයි ඉස්සො, දැල්ලො, තෝර මාළු, කුකුල් මස් වගේ මස් මාළු වලිනුයි වැහිලා ගියපු චොප්සි රයිස් එකේ රයිස් ටික මතු කරගන්න නම් මුලින්ම ටිකක් කාලා ඉන්න වෙනවා. කීරි සම්බා හාලේ, බතේ සුවඳ එන්නෙ එතකොට. ඒ සුවඳයි චොප්සි සුවඳයි දැනෙද්දි නම් බඩගින්නක් නැතිව වුනත් කන්න පුළුවන්.

පිඟානට බෙදා ගත්තු චොප්සි රයිස් ටිකට උඩින් මට්න් ඩෙවල් එකේ ඉස්ම ටිකකුත් දා ගත්ත මම මට්න් කෑලි තුන හතරකුත් පිඟාන පැත්තකින් තියාගෙන කන්න පටන් ගත්තෙ කිසිම හදිස්සියක් නැතුව. අවන්හල ඇතුල හරිම නිස්කලංක බව නිසා හිතේ හැටියට නිදහසේ කෑම ටික රස බලන්න පුළුවන්. චොප්සි රයිස් එකට එකතු කරල තිබුන එළවළු ටික නම් නියම ගාණට තැමිබිලා. හරිම රසයි. චොප්සි වලට ආවේණික රසින් අනූන ඉස්මත් එක්ක එළවළු කෑලි හරි හරියට මගේ බඩට යද්දි හොඳට පදම් කරල තම්බපු ඉස්සෙක්, දැල්ලෙක් නැත්නම් තෝර මාළු කෑල්ලකුත් අතරින් පතර බඩට යන්නෙ සුවඳයි රසයි දෙකෙන් රස නහර පිස්සු වට්ටගෙන. ලොකු සැරක් නැති වුනාට චොප්සි වලටම ආවේණික රස හොඳටම තියෙනවා.

ඒකෙ සැර අඩුව පුරවන්න කියාපු ගැලපිල්ලක්නෙ මට්න් ඩෙවල් එක. හොඳ සැරට හදල තිබුන මට්න් ඩෙවල් එක නම් දැක්කාම කියන්න පුළුවන් ඩෙවල් කියල. ඒ තරමට මිරිස් පාට. හැබැයි මදි නොකියන්න සෝස් නම් දාලා තියෙනවා. මම ඔය ඉස්ම කියල කිව්වෙ සෝස් තමයි. මාළු මිරිස්, බී ළූණු එකතු කරලා මට්න් කෑලිත් ගොඩක් එකතු කරලා හදපු ඩෙවල් එක චොප්සි රයිස් එකට ගැලපුනාට මම නම් අනුමත කරන්නෙ රෑ ජාමෙට බෝතලයක් හිස් කරන්න එන තුන් හතර දෙනෙක්ට කියාපු කට ගැස්මක් විදියට. ඇයි ඉතින් මොනවයින් කියල අඩුවක්ද. හොඳ පදමට තැම්බුන සැරට හැපෙන එළුමස් කෑලිත් 15ක් 20ක් විතර තියෙනවනෙ ඩෙවල් එකේ.

කට්ටිය කතාවකුත් නෑ, බෑ කිව්වෙත් නෑ, ප්ලේට් වල මුකුත් ඇත්තෙ නෑ. විනාඩි 10ක් 15ක් යද්දි බඩ කට පිරෙන්න කාපු අපි සෙට් එක දඩ බඩ ගාලා ස්ටීම් බෝට් එකෙන් එළියට බැස්සෙ වෙලාව 3ට කිට්ටු වෙලා තිබුන නිසා. මෙතැන 3ට වහනවනෙ.

අනුමි‍තිය

ලස්සන පරණ වලව්වක ඉඳන් රසම රස කෑම වේලක් නිවි හැනහිල්ලෙ කන්න නම් මොරටුවෙ ස්ටීම් බෝට් එක කියාපු තැනක්. ඒ විතරක් නෙවයි රෑ ජාමෙට එළි පෙහෙලියට වෙලා හුලං පොදක් වැදි වැදී පොඩි මධුවිත වීදුරුවක් තොල ගාන්නත් පුළුවන්නෙ. මම නම් කියන්නෙ සති අන්තයක පවුලේ උදවියත් එක්ක ඇවිත් ඉටි පන්දම් එළියෙ ඉඳගෙන රෑ කෑම වේල රස බලන්න යන්න පුළුවන් නම් ඒක හරි සුන්දර අත්දැකීමක් වේවි.


TIP

Try Devilled Mutton

Artwork for Sampath Content Sep generic

Address

No. 34, New Galle road, Idama, Moratuwa.

Directions

Just 10m from Moratuwa cross junction in Galle driving direction.

Contacts

Website

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment