Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

3/5

Sun Hill Restaurant

26, Palymyrah Avenue, off Marine Drive, Kollupitiya


A compact place with many options of Sri Lankan Chinese food.



ලංකාවට ආවේණික කෑම වර්ග හැරුනාම, අපේ අය අතර වැඩියෙන්ම ජනප්‍රිය මොන වගේ කෑම වර්ගද කියලා කවුරුහරි ඇහුවොත්, සැකයක් නැතුවම කියන්න පුළුවන් ඒ චයිනීස් කෑම කියලා. ලංකාව වටේ තියෙන චයිනීස් හෝටල් තොගයම ඇති මේකට සාක්කි කියන්න. අපේ සමහර අය කතාවට කියන්නේ “චීනේවත් නැතුව ඇති මෙච්චර චයිනීස් කඩවල්” කියලා.

හැබැයි මේ හැම චයිනීස් කඩයකින්ම අපට ගන්න ලැබෙන්නේ ඔරිජිනල් චයිනීස් කෑම නෙවෙයි. ලංකාවේ විදියට හැඩගැසුණු චයිනීස් තමයි මේවයේ ගොඩක්ම සුලභ. ඒත් ඉතින් බඩ කට පිරෙන්න කන්න කැමති අපේ අයට මේවා ප්‍රශ්න නෙවෙයි. මේ කිව්ව විදියේ ලංකාවට හැඩගැහුණු චයිනීස් කෑම වර්ග කන්න පුළුවන් තැන් අතරින් තවත් එකක් තමයි කොල්ලුපිටියේ සන් හිල් අවන්හල.

තැන

මැරීන් ඩ්‍රයිව් එක දිගේ කොල්ලුපිටිය පැත්තට එද්දී තියෙන පැල්මයිරා මාවත පහුවෙනවත් එක්ක තමයි මේ අවන්හල පිහිටලා තියෙන්නේ. ගාලුපාර පැත්තේ ඉඳන් එනවා නම්, පැල්මයිරා මාවතේ අන්තිම කෙලවරට එන්න ඕනේ. නැවතීමේ පහසුකම් වගේම ස්පා එකකුත් තියෙන නිසා, අවන්හලක් වගේම හෝටලයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

සන් හිල් අවන්හල කොටස් දෙකකින් යුතුයි. දොරින් ඇතුල්වෙද්දීම වගේ තියෙන්නේ කොෆි හවුස් එකක වගේ කුෂන් කරපු පුටු, මේස අහුරපු ආලින්දයක්. මෙතනින් ඇතුලට ගියාම තියෙන්නේ හය හත් දෙනෙක්ට එකට වාඩිවෙලා කන්න පුළුවන් විදියේ උස පුටු මේසවලින් යුතු ශාලාවක්. මේ ශාලාවේ කෙලවරේ උදේ ඉඳන් රෑ වෙනකන්ම ඇරලා තියෙන බාර් එකක් එහෙමත් තියෙනවා.

කෑම බීම

සති අන්තේ දවසක අපි සන් හිල් හෝටලයට ගොඩ වුණේ දවල් කෑමකට. නිවාඩු දවසක දවල් වරුවක් වුණත් අපි ඇරුනාම මෙතන හිටියේ හත් අට දෙනෙක් වගේ. අපි ඇතුළෙන් ගිහින් වාඩිවුණ ගමන් වේටර් කෙනෙක් ඇවිත් එයාලගේ කෑම මෙනු එකයි, බාර් එකේ මෙනු එකයි අපේ අතට දීලා ගියේ බොහොම සුහදශීලී විදියට.

කලින් කිව්වා වගේම ලංකාවට අනුගත වෙච්ච චයිනීස් කෑම තමයි සන් හිල් එකේ මෙනු එකේ තියෙන්නේ. සේරම කෑම ජාති තියෙන්නේ small සහ large පෝෂන් සයිස්වලින්.

Starter එක විදියට සුප් එකක් බොන්න ඕනේ කියලා හිතුන නිසා අපි ඉතින් අපට කවදත් පුරුදු ස්වීට් කෝර්න් චිකන් සුප් එකක් (රු.480) ඕඩර් කළා. අපි දෙන්නෙක් නිසා ඕඩර් කලේ ස්මෝල් සයිස් සුප් භාජනයක්. ඒ වුණාට ඒ භාජනයේ තුන් දෙනෙක්ට වුනත් බඩ පිරෙන්න කන්න පුළුවන් තරමට සුප් තිබුණා.

විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් නැතත්, මේ සුප් එකේ හොඳ රසක් තිබුණ බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. අනිත් දේ තමයි, ඔයාලට කැමති නම් චිකන් වෙනුවට කකුළුවෝ දාලත් මේ සුප් එක හදලා ඉල්ලගන්න පුළුවන්.

අපි ඕඩර් කරපු Yangzhou ෆ්‍රයිඩ් රයිස් (රු.850) එක හැදිලා තිබුණේ බාස්මතී හාල්වලින්. හීනියට ලියපු කැරට්, පොඩියට කපපු ළූණු කොළ වගේම, තම්බපු කූනිස්සන් යහමින් මිශ්‍ර කරපු බත් එකක් තමයි මේක. මේකෙත් ලාජ් සයිස් බත් එක තුන් දෙනෙක්ට වුණත් හොඳට කන්න පුළුවන් තරමට ඇති.

සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන චයිනීස් කඩවල් ගොඩක් ඒවායින් අපට කන්න ලැබෙන්නේ තෙල් බේරෙන බත් වර්ග වුණත්, සන් හිල් හෝටලයෙන් අපි ගත්ත Yangzhou ෆ්‍රයිඩ් රයිස් එකේ ඒ වගේ තෙල් වැඩි ගතියක් තිබුණේ නැහැ. මේ බත් එකේ රස හුඟක් වැඩියෙන් දැනුනෙත් මේ නිසයි කියලයි අපට හීතුණේ.

Yangzhou ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක කන්න අපි තෝරගත්තේ ලාජ් සයිස් එකේ Double cooked pork slices (රු.780) එක්ක, ස්මෝල් සයිස් Bean curd with mushrooms (රු.400) කරි එකක්.

තුනීවට කපපු පෝක් පෙති ගානට බැදලා හදපු මේ පෝක් කරි එක හරිම රසයි. රවුමට කපපු කොළ පාට බෙල් පෙපර් වගේම තක්කාලි පෙතිත් මේකට දාලා තිබුණා. බත් එකේ තෙල් ගතියක් එච්චර නොතිබුණ නිසා, මේ පෝක් කරිය ඒකට හොඳට ගැළපුනා.

අපි ගත්ත බීන් කර්ඩ් ඇන්ඩ් මෂ්රූම් කරි එක ගැන එච්චර හොඳක් කියන්න අමාරුයි. මේකේ මෂ්රූම් එකෙන් නම් හොඳ රසක් ආවා. එත් පාවිච්චි කරලා තිබුණ බීන් කර්ඩ් වර්ගය එච්චර හොඳ නැහැ. සාමාන්‍යයෙන් බීන් කර්ඩ් කියන්නේ ලොකු රසක් එන දෙයක් නොවුණත්, මේ බීන් කර්ඩ්වලින් ආවේ දියාරුම දියාරු රසක්. මේකේ තිබුණ හොදි ගතිය වගේම, මෂ්රූම් එකේ රස නිසා මිසක්, මේ කරි එක ගැන නම් අපේ එච්චර ප්‍රසාදයක් තිබුණේ නැහැ.

මෙයාලගේ ඩෙසට් මෙනු එකේ ගොඩක් දේවල් පේන්න තිබුණත්, ඒ වෙලාවේ ගන්න තිබුණේ අයිස්ක්‍රීම්, ලයිචීස්, සහ ෆෘට් සැලඩ් විතරයි. අපි ඒ නිසා හිතුවා ලයිචීස් (රු.350) එකක්  ගන්න. ඇට අයින් කරපු ලයිචීස් ගෙඩි පහක් මේකට ලැබෙනවා. හැබැයි මේවයින් ආවේ තරමක පල් රසක්. කටේ තියන්න බැරි නරක රසක් නොවුණත්, ගොඩක් කල් ටින් කරලා තියපු නිසා මේ රස එනවා ඇති කියලයි අපට හිතුණේ.

සර්විස් එක

සන් හිල් හෝටලයේ සර්විස් එක ගොඩක්ම හොඳයි. විශේෂයෙන්ම කෑම වර්ග තෝරාගනිද්දී හොඳ සහයක් එයාලගෙන් ලැබෙනවා. මෙනු එකේ තියෙන කෑම වර්ග ගැන එයාලට හොඳ අවබෝධයක් තියෙන බව තමයි අපට තේරුණේ. විනාඩි 10ත් 15ත්  අතර කාලෙකින් අපේ කෑම ටික මේසෙට ගෙනත් දෙන්න සන් හිල් හෝටලයේ කට්ටිය සමත් වුණා.

අවසාන වශයෙන්

අපට ලැබුණ අත්දැකීමේ හැටියට, මෙයාලගේ ගොඩක් කෑම වර්ගවල ලාජ් පෝෂන් එක තුන් දෙනෙක්ට වුණත් හොඳට කන්න පුළුවන් තරමට ඇති. ඒ නිසා සාක්කුවට එච්චර බරක් දැනෙන්නෙත් නැහැ. ලංකාවේ විදියට හැදුණු හොඳ චයිනීස් කෑම වේලක රස බලන ගමන්, ෂොට් එකක් දාන්න කැමති අයටත් යන්න පුළුවන් තැනක් විදියට සන් හිල් හෝටලය නම් කරන්න පුළුවන්.


TIP

Better for group dining.

Address

26, Palymyrah Avenue, off Marine Drive, Kollupitiya

Directions

Head towards Kollupitiya side on Marine Drive, and it is few meters ahead of HUA XIANG JU restaurant.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Chinese

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment