Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

4/5

Taste of Asia (World Trade Center)

World Trade Center, Bank of Ceylon Mawatha, Colombo


Taste of Asia at World Trade Center is a pocket friendly place to grab some delicious Sri Lankan snacks.



කොටුව අවටින් බඩ අවුල් නොකරගෙන කන්න පුළුවන් තැන් ගැන හොයලාදෙන්න කියන එක, අපට කීපදෙනෙක්ගෙන් ම අහන්න ලැබුණු ඉල්ලීමක්. මොකද ඔය බෝ ගහ අවට කඩවල් තොගයක් තිබුණත්, ඒ හැම එකක ම පිරිසිදුකම හෝ, කෑමවල රසය ගැන ලොකු රෙකමදාරුවක් දෙන්න අමාරුයිනේ.

ඉතින් සාක්කුවේ තියෙන පොඩි ගාණට, හිතට හරි යන විදියට කන්න පුළුවන් කොටුවේ කඩ ගැන හොයාගෙන යද්දී අපට මුණගැහුණු තවත් තැනක් ගැන කියන්නයි මේ හදන්නේ. මේකේ නම ටේස්ට් ඔෆ් ඒෂියා. අර වැල්ලවත්තේ, කොම්පඤ්ඤවීදියේ, දෙහිවල එහෙම තියෙන ටේස්ට් ඔෆ් ඒෂියා එකේ කොටුවේ බ්‍රාන්ච් එක ගැන තමයි මේ විස්තරේ.

තැන

මේ ටේස්ට් ඔෆ් ඒෂියා එක තියෙන්නේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ඇතුළු වෙද්දී ම මේක දැකගන්න පුළුවන්. සාමාන්‍ය ටේස්ට් ඔෆ් ඒෂියා එකකට වඩා මෙතැන ගොඩක් ඉඩකඩ තියෙනවා. කොටින් ම කිව්වොත් ෆුඩ් කෝර්ට් එකක් වගේ. එක තැනක බත්, අනිත් තැන තෝසේ, පරාටා, වඩේ වගේ ජාති. ඊළඟට ජූස් බාර් එකක් තියෙනවා වෙනමම. කේක්වලට ආයේ තවත් තැනක්. ඔන්න ඔය වගේ කෑම බීම තොගයක් මෙතැනින් ගන්න ඇහැකි.

කෑම බීම

හවස 6ට විතර බත් කන්න මූඩ් එකක් නොතිබුණු නිසා, අපි හිතුවා වෙන කෑම ටිකක් ඕඩර් කරන්න. ඔය තියෙන සේරම කෑම වර්ග අතරින් අපි තෝරාගත්තේ “පූරි” (රු.100), “චිකන් ඇන්ඩ් පරාටා” (රු. 250) සහ “චිකන් රොමානි රොටී” (රු.120) එකක්. තව උලුඳු වඩේ (රු.90) සහ පරිප්පු වඩේ (රු.70) එකකුත් ඕඩර් කළා. බීමට නම් විශේෂයක් නැහැ මෙතැන. තේ, කොකාකෝලා, ස්ප්‍රයිට් වගේ ජාති තමයි.

බලන්න එපායැ මේ පරාටා එකෙයි චිකන් කරියෙයි රස! එවෙලේම හදපු නිසාදෝ කොහේදෝ පරාටාවල පුදුම ෆ්‍රෙෂ් ගතියක් තිබුණේ. චිකන් කරියත් ඒකට ම කියාපු. මොකද ඕනෑ කරන කුළුබඩු සේරම කිසිම අඩුවක් පාඩුවක් නොවෙන්න දාලනේ. මිරිස්, තුනපහවල කරි රසයි, ගොරකාවල ඇඹුල් රසයි දෙක ම එක්කාසු වෙලා එද්දී දැනෙන්නේ සුපිරි රසක්. අනික තඩි චිකන් කෑල්ලකුත් ලැබුණනේ. ඇත්තමයි මෙහෙව් චිකන් කරියක් තියෙනවනම් පරාටා විතරක් නෙවෙයි, බත්, පාන්, රොටී ඕනේ එකකට තකටතක.

අපි ගත්ත පූරි පෝෂන් එකත් නියමයි. මේක වටේ දාරෙන් ක්‍රිස්පි ගතියට තියෙන, මැද හොඳ ෆ්ලෆී විදියට දැනෙන පූරි එකක්. මහ ලොකු තෙල් ගතියකුත් නැති නිසා තවත් හොඳයි. මේක එක්ක කන්න අපට තෙල් දාපු අල කරියකුත් ලැබුණා. කියන්න තරම් ලොකු රසක් නැතත්, මේක පූරි කන්න හොඳ කරියක්. හැබැයි අපි ඇත්තට ම පූරි එකට වග කිව්වේ අර චිකන් කරියත් එක්ක.

චිකන් රොමානි රොටී එක නම් හරි නැහැ. පොඩ්ඩක් කර වෙලා වැඩියි. ඒ නිසා අතරින් පතර තිත්ත රසක් එනවා. අනික මැද පිරවුමේ චිකන් තිබුණේ ලාවට. වැඩිපුර දැනුණේ ලූණු රස.

පරිප්පු වඩේ එක මාර ම සිරා. යහමින් ලූණු, රතු මිරිස් දාපු නිසා තමයි එච්චර ම රස. අම්මපා! උණු ප්ලේන්ටියක් එක්ක කන්න ජාති භාණ්ඩේ. උලුඳු වඩේ එකත් ශේප්. අර සමහර සයිවාර්වල වගේ පිටි ගුලි නෙවෙයි.

සර්විස් එක

වට පිටාවේ තියෙන ඔෆිස් බර ගණනක උදවිය කන්න බොන්න එන්නේ මෙතැනටනේ. ඒ නිසා දවල් වරුවට කලබලේ පොඩ්ඩක් වැඩියි කියල තමයි අපට දැනගන්න ලැබුණේ. හවසටත් කට්ටිය බොහොමයක් එනවා තේ බොන්න, පොඩි කෑමක් බඩට දාගන්න වගේ. කොහොම වුණත් මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. එක කවුන්ටරේකින් බිල දාගෙන, කෑම ටික අනිත් කවුන්ටරෙන් ඉල්ලගන්න තමයි තියෙන්නේ.

අවසාන වශයෙන්

ඔන්න එහෙනම් අඩු ගාණට හොඳ කෑම ටිකක් කොටුවෙන් හොයන අයට හරි යන තවත් තැනක් ගැන අපි කිව්වා. මෙතැන හැරුණා ම Cafe Fort, Saffron Kitchens, The Colombo Food Court කියන්නේ ඔය වගේ තවත් තැන් කීපයක්. ඉස්සරහටත් අපි මේ වගේ තැන් ගැන විස්තර කියන්නම්කො.


TIP

Try the Chicken curry.

Address

World Trade Center, Bank of Ceylon Mawatha, Colombo

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu Rice And Curry Fried Rice Dosa Parata Fruit Juice

Have you visited this place?

Write your own review!
Leave a comment