Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

The Chaat Co

5 Rohini Rd, Colombo


A tiny little resto at the edge of Rohini Road serving up a delicious range of Indian street food.



ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් හෙවත් චාට් ලංකාවෙන් හොයාගන්න පුළුවන් තැන් කීපයක් තියනවා. ඉන් එකක් ගැනයි මේ කතාව. කෙටියෙන් කිව්වොත් රසම රස ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න යන්න හොඳම තැනක් ගැන ඔත්තුවක්.

තැන

කඩේ නම තමයි The Chaat Co. තියෙන්නෙ ඉන්දියන් කෑමබීමවලට සුප්‍රසිද්ධ වැල්ලවත්තේ, ගාලු පාරෙන් රෝහිණී පාරට හැරෙව්ව ගමන්ම. එළියට වගේම ඇතුළටත් සම්පූර්ණයෙන්ම නිලුයි සුදුයි පාට දෙක විතරක් පාවිච්චි කරල තියන හින්ද හොයාගන්න ලේසියි. විසි දෙනෙකුට විතර වාඩි වෙලා කන්න බොන්න පුළුවන් තරමේ ඉඩක් සහ සාමාන්‍ය පෙනුමක් තියන තැනක්.

කෑම

මෙනු එකේ තිබ්බ සමහර කෑම ජාති කලින් කාල තිබුණට මොකද සමහර ඒවා අහලවත් නෑ. තව සමහර ඒවා හින්දි ෆිල්ම්ස්වල දැකපුවා! කොහොම හරි ටිකක් එහෙ මෙහෙ ලත වෙවී ඉඳල ඔන්න අපි ගත්තා පානි පූරි (රු. 270) එක්ක වඩ පව් (රු. 120).

මතකයි නේ Rab Ne Bana Di Jodi එකේ රාජ්ගෙයි ටානිගෙයි ගෝල් ගප්පා තරගේ? ගෝල් ගප්පා කියන්නෙත් පානි පූරිවලට සෑහෙන සමාන චාට් ජාතියක්. ඒක මතක් කර කර ඉද්දි අපේ පානි පූරි එකත් මේසෙට ආවා. ඒකට ස්පයිසි සෝස් වගේම චිලී සෝසුත් හම්බුණා. ඒ දෙකේ පොඟවල ගත්තම සැරයි පැණි රහයි දෙකම මික්ස් වෙලා නිසා කටට දෙකට පානි පූරි ටික කන්න පුළුවන්.

වඩ පව් කියන්නෙ දෙකට කපපු බනිස් ගෙඩියක් ඇතුළට අල මිශ්‍රණයක් දාපු, බර්ගර් එකක් වගේ පේන කෑමක්. ගෙනාපු ගමන් රහ බලන්න ගිහින් මේකට දාල තිබුණ අල මිශ්‍රණේට කට පිච්චුණා. ගින්දර වගේ උණුයි! ඒ වගේම රසයි. මේකටත් සෝස් එහෙම වෙනම හම්බ වෙනවා.

බීම

බීම විදිහට ඔප්ෂන්ස් ගොඩක්ම නැතත් තෝරගන්න පුළුවන් විදිහෙ ජාති කීපයක් තියනවා. ඉන්දියාවේ ක්‍රමේ අත්විඳින්න හිතාගෙන ගිය අපි ගත්තේ ඉන්දියන් මසාලා තේ. (රු. 100) උණු උණුවේ මසාලා රහට ආපු කිරි තේ එක සුපිරි!

අතුරුපස

අපේ ඩෙසට් එක වුණේ දුම් දාන, පැණි පිරිල ඉතිරෙන ජිලේබි ප්ලේට් එකක්. (රු.120) දුටු පමණින්ම හිතාගන්න පුළුවන් නෙ රස. රස්නෙයි පැණි රසයි විතරක් නෙමෙයි, මේකේ ක්‍රිස්පි ගතියත් උපරිමයි. ඒ වගේම මිල ගාණට හරි යන විදිහටම, එක පෝෂන් එකකට ලෝබ නැතුව ජිලේබි හෙන ගොඩක් දාලා.

සර්විස් එක

හුඟක්ම මිත්‍රශීලී නැතත් සර්විස් එකේ වරදක් කියන්න බෑ. එයාල පොඩි වෙලාවක් ඇතුළත අපිට ඔක්කොම කෑමබීම ටික සර්ව් කළා.

අවසාන වශයෙන්

ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් කන්න ඉන්දියාවේ යනකන් බල බල ඉන්න ඕනෙයෑ! හිත හිත ඉන්නෙ නැතුව The Chaat Co පැත්තෙ යන්න.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment