Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

5/5

The Colombo Food Court

126/5, YMBA Building, Colombo 01


A great place to have some fine Sri Lankan rice and curry in the heart of Colombo.



“කොටුවේ බත් කඩේකින් කමු?”

ඔහොම කිව්ව ම ගොඩක් අයගේ මුහුණුත් බෙරි වෙනවා. ඇයි මතක් වෙන්නේ පිටකොටුවේ බෝ ගහයි, ඒ පිටිපස්සේ තියෙන කොත්තු කඩ ටිකයිනෙ. ඒවා නැත්තන් කොටුවේ  කන්න තියෙන්නේ තරු පහේ හෝටල් ටික තමයි. ඕවයෙන් හැමදාම කන්න ඉතින් කාටද සල්ලි තියෙන්නේ?

හැබැයි ඔය අවුල් මුකුත් නැතුව, සාධාරණ ගාණකට, පිරිසිදුවට, පිළිවෙලට කන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකක් කොටුවේ තියෙනවා කිව්වොත්, විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්ත ම කිව්වොත් මටත් හිතාගන්න බැරි වුණා මේක දැක්ක ම. සිද්ධිය වුණේ මේකයි. පහුගිය දවසක කොටුවේ ගිය වෙලාවක මායි මගේ යාළුවෙකුයි කන්න තැනක් හෙව්වා. රුහුණු ෆුඩ්ස් එක අලුත් කරලා කියලා ආරංචියකුත් ආව නිසා අපි කෙලින් ම ගියේ එතැනට. රුහුණු ෆුඩ්ස් එකේ කෑම ගන්න බිලක් දාගන්න මං පොඩ්ඩක් ඔළුව කරකවලා වටපිට බැලුවේ නිකමට වාගේ. මට මීටර් වුණා කියන්නකෝ මරු වැඩක්! මේකට ම අල්ලපු බිත්තියේ අනිත්පැත්තේ තවත් රෙස්ටෝරන්ට් එකක් තියෙනවනේ. ඒසී එහෙම කරලා ටිකක් පොෂ් ටයිප් තැනක්. රුහුණු එකේ බිල දාන එක පැත්තකින් තිබ්බ අපි ටක් ගාලා එහා පැත්තට පැන්නා.

තැන

කොළඹ දිහා ආඩම්බරෙන් බලාගෙන ඉන්න කාගිල්ස් බිල්ඩිම දන්නවනේ? ඔය වරායට පොඩ්ඩක් මෙහාපැත්තේ තියෙන්නේ. මේක ඉස්සරහ තියෙනවා ඩියුක් ස්ට්‍රීට් එක. අපි මේ කියන “කලම්බෝ ෆුඩ් කෝට්” එක තියෙන්නෙත් මෙන්න මේ පාරේ. ඒ නැත්තන් රුහුණු ෆුඩ්ස් එක මැද්දෙන් ආවත් හරි. මොකද කිව්වත් වගේ මේ රෙස්ටෝරන්ට් දෙකම තියෙන්නේ එක බිත්තියෙන් වෙන්වෙලා.

ෆුඩ් කෝට් කියන නම තිබුණට මේක මේ මැජෙස්ටික් සිටි එකේ, ක්‍රෙස්කැට් එකේ තියෙනවා වගේ කඩවල් ගොඩක් පිරිවරාගත්ත තැනක් නෙවෙයි. මේක ලංකාවේ රසට කෑම හදපු තඩි බුෆේ එකක්. එක කෙළවරක තියෙන්නේ නෝමල් රයිස් ඇන්ඩ් කරි. අනිත් කෙලවරේ ෆ්‍රයිඩ් රයිස්. දුම් දමදමා හට්ටි මුට්ටිවල දාලා තියෙන කෑම ටික දැක්ක ම හරි ආස හිතෙනවා. එක සැරේට සීයකට විතර අත පය දිගෑරලා ඉන්න පුළුවන් සයිස් එකට ඉඩ. ඒසී කරලා නිසා රස්නයක් ඇත්තෙත් නැහැ. අනික ටේක්අවේත් තියෙනවනේ.

කෑම බීම

රතු බත්, සුදු බත්, කහබත්, සහ ෆ්‍රයිඩ් රයිස් ජාති දෙකක් මෙයාලගේ බත් මෙනුවේ දැකගන්න පුළුවන්. මස්, මාළු, එළවලු කරි ජාතිත් තොගයක් තියෙනවා. ඒ විතරක්යැ, ඩෙසර්ට්නුත්.

අපි මාළු දාපු කහ බත් (රු.250) එකකුයි, චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු.390) එකකුයි ඕඩර් කළා. බීම විදියට විශේෂයක් නැති නිසා අපි ගත්තේ කොකාකෝලා බෝතලයක්.

මුලින් ම කියන්නම්කො ෆ්‍රයිඩ් රයිස් එක ගැන. ෆ්‍රයිඩ් රයිස් ජාති දෙකෙන් එකක් ටිකක් ස්පයිසි එකක්. අනික එහෙම නෑ. මේකට එන චිකන් ජාතිත් දෙවර්ගයක් තියෙනවා. එකක් ක්‍රිස්පි වෙන්න බැදපු එක. අනිත් එක ග්‍රිල් කරපු එක. මම ඔය අතරින් තෝරගත්තේ ස්පයිසි ෆ්‍රයිඩ් රයිස් එකයි, ක්‍රිස්පි චිකන් එකයි. චොප්සියක් සහ චිලි පේස්ට් එකකුත් මේ බතට ලැබෙනවා.

බලන්න එපෑයැ මේකේ තිබුණු චිකන් කෑල්ලේ ලොකු! පිඟානෙන් කාලක් වැහෙනවා ඒකෙ සයිස් එකට. පිටින් කරස් සද්දෙන් හැපුනට මොකද, ඇතුළේ මස ගොඩක් සොෆ්ට්. බතත් ගානට තැම්බිලා. තෙල් ගතියෙත් වැඩියක් නැහැ. හෑස් හූස් ගාලා කන්න තරම් ස්පයිසි නැති නිසා ගොඩක් හොඳයි. වියලි මිරිස් එහෙම කෑලි කපලා දාලා තිබුණා. ඒ විතරක්යැ, කජු, මිදිත් යහමින් එකතු කරලා. ඒ නිසා නියමයි. මේකට ලැබුණු චොප්සියේ තිබුණු එළවලු ටික හරි ම ෆ්‍රෙෂ්. ඒ නිසා හුඟක් රසයි. චිලී පේස්ට් එකත් අවුලක් නැහැ.

කහ බතත් මරු. මේකටත් ලැබුණනේ තඩි තලපත් මාළු කෑල්ලක්. කිරට උයලා තිබුණු මේ මාළු එක පංකාදු පහයි. සුපිරියට හදපු කොස් මැල්ලුමකුත් තිබුණා (ඇත්ත ම කිව්වොත් කොස් ම හදලා තිබුණා විදි තුනකට. අපි තෝරගත්තේ මලවපු එක). පරිප්පුවත් රසයි. ළාවට හොද්දක් එන්නනේ හදලා තිබුණේ. කොළ මැල්ලුම හදලා තිබුණේ තෙබු කොළවලින්.

මට නියමෙට ම අල්ලලා ගියේ මේකේ තිබුණු බණ්ඩක්කා එක. අපි සාමාන්‍යයෙන් බණ්ඩක්කා කන්නේ එක්කෝ උයලා, නැත්තන් තෙල් දාලානේ. මේක හදලා තිබුණේ පිටි දවටනයක් තවරලා ගැඹුරු තෙලේ බැදලා. අම්මපා කාලෙකට පස්සේ කෑව නියම කෑමක්! දැනටත් මතක් වෙද්දී කටට කෙළ උනනවා.

කාලා බීලා ඉවරවෙලා ඊළඟට අපි හිතුවා ඩෙසර්ට් එකකත් රස බලන්න. මේකේ තිබුණා කියන්නකෝ ඩෙසර්ට් පුරවපු ෂෝ කේස් එකක් ම. ඒකෙ තියෙන ඩෙසර්ට් තොගේ දැක්ක ම ඇත්තමයි පිස්සු හැදෙනවා. චොකලට් මූස්, චොකලට් බිස්කට් පුඩින්, වටලප්පන්, කැරමල් පුඩින්, ජෙලි කස්ටඩ් ඒ අතරේ තිබුණා. කොහොමින් කොහොමහරි අපි ගත්තේ වටලප්පන් (රු.120) එකකුයි, කැරමල් පුඩින් (රු.140) එකකුයි.

හප්පටසිරි! මේ කැරමල් පුඩිමේ තිබ්බ රස! අඩියේ තිබුණු කැරමල් තට්ටුව නියමයි. ඔරිජිනල් කොලිටි කැරමල් පුඩිමක තියෙන සොෆ්ට් ගතිය හරි ගානට මේකේ තිබුණා. අනික තඩි පුඩින් කෑල්ලක් ලැබුණනේ රු.140කට. කිසිම පාඩුවක් නැහැ.

වටලප්පන් එක භාජනෙන් එකයි කියන්නකෝ. රුපියල් 120කට කොහොම දෙනවද මන්දා. රස අඩුවක් නම් කමක් නැහැ. මේක එහෙමත් නෙවෙයිනේ. හැබැයි ඔය ගෙදර හදන වටලප්පන්වල තියෙන කිතුල් රස නම් මේකේ නැහැ. ඒ වුණාට මේකත් රසයි. පැණි රස නියමෙට බැලන්ස් කරලා තිබුණා.

සර්විස් එක

මෙතන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරෙන් බිල දාලා කෑම බෙදලා දෙන තැනට ගියා නම් හරි. ඔය වටේ පිටේ තියෙන ආණ්ඩුවේ කන්තෝරුවල අය සෙට් පිටින් ඇවිල්ලා කන්නේ මෙතැන. හැබැයි ඒකයි කියලා මෙතැන සර්විස් එකේ ස්ලෝ එකක් නැහැ. පටපට ගාලා බත් ටික බෙදලා දෙනවා. අනික කෑම බෙදන අය ඉන්නෙත් ග්ලවුස් දාගෙන, අර කෝකියෝ අඳින සූට් එකත් ඇඳගෙන. ඒ නිසා පිරිසිදුකම ගැන සැකයක් තියාගන්න ඕනෙත් නැහැ.

අවසාන වශයෙන්

ආයේ කතා දෙකක් නෑ ඉතින්; මේක සුපිරි ම බත් කඩයක්! ගෙවන හැම රුපියලකට ම වටිනාකම ලැබෙන විදියටනේ මේ අය කෑම දෙන්නේ. ඒ නිසා කොළඹ ම ඉන්න අයට විතරක් නෙවෙයි, තකහනියක් කොළඹට ගිහින් කාලා ආවත් පාඩු නැති තැනක් විදියට මේ කලම්බෝ ෆුඩ් කෝට් එක හඳුන්වන්න පුළුවන්.

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments