Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

The Vegan

117/B/1 Raththanapitiya, Colombo - Horana Rd, Boralesgamuwa


A restaurant in Boralesgamuwa that takes our normal food and makes it vegan.



ලංකාවේ ඕන කෙනෙක් දන්නව නෙ වෙජිටේරියන්ස්ලා ගැන. ඒ කියන්නේ නිර්මාංශිකයෝ. හැබැයි වීගන්ස්ලා ගැන හැමෝම ඒ තරම්ම දැනුවත් නෑ. වෙජිටේරියන්, වීගන් කියන වචන දෙකටම සිංහලෙන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ‘නිර්මාංශික’ කියන වචනය නේ. ඉතිං මේ දෙක අතර තියන වෙනස ගැන හුඟ දෙනෙකුට අවබෝධයක් නැති වෙන්න බොහෝ දුරට ඒක හේතුවක් වෙන්න ඇති. කොහොම වුණත් ඒ නිසා මේ ගැන පොඩි අදහසක් දීලම කතාවට බහින්නම්.

වෙජිටේරියන් කියන්නේ මස් මාළු නොකන අය. හැබැයි එයාලා සතුන් මඟින් ලැබෙන කිරි, බිත්තර වගේ ආහාර නිෂ්පාදන පරිභෝජනය කරනවා. වීගන් අය ඊට වෙනස්. එයාලා සතුන් ආශ්‍රිත කිසිම ආහාරපාන වර්ගයක් හෝ නිෂ්පාදනයක් ලබා ගන්නෙ නෑ. මේ වගේ කාලයක ජීවත් වෙනකොට ඒක ටිකක් කරන්න අමාරු වැඩක් බව තේරෙනව නේ. හැබැයි ඉතිං හිතට එකඟව සම්පූර්ණයෙන්ම වීගන්ස්ලා වුණු අය අපි අතරෙ ඉන්නවා.

තැන

දැන් ඊළඟට එන ප්‍රශ්නෙ තමයි සතුන් ගෑවුණු කිසිම දෙයක් කන්නෙ බොන්නෙ නැත්තං වීගන්ස්ලට කන්න බොන්න තියෙන්නේ මොනවද කියන එක. ඉස්සර ඉඳලම ඕන තරම් වෙජිටේරියන් රෙස්ටොරන්ට් හොයාගන්න තිබුණට, යන්තම් දැන් දැන් තමයි වීගන් රෙස්ටොරන්ට්ස් විවෘත වෙන්නෙ.

මේ පාර අපිට හම්බුණා මීට මාස කීපයකට කලින් අලුතින් දාපු වීගන් රෙස්ටොරන්ට් එකක් ගැන ආරංචියක්. ඒකෙ නමම ‘ද වීගන්’. තියෙන්නේ බොරලැස්ගමුව රත්තනපිටියේ. එයාලගේ කෑමබීම කොයි වගේ ද කියල ඇති වුණ කුතුහලය නිසාම, වීගන්ස්ලා නොවුණත් අපිත් ගියා ඒ පැත්තෙ.

මෙතෙන්ට ඇතුල් වෙනකොටම  දැනෙන්නේ හරිම පිරිසිදු ගතියක්. වීගන්ස්ලගේ අවිහිංසාවාදී ආහාර රටාව පිළිබිඹු කරන්නම වගේ මේ රෙස්ටොරන්ට් එක ඇතුළ සම්පූර්ණයෙන්ම සුදු පාටයි. ඒ නිසාම ප්‍රසන්නයි. එක පාර විසි දෙනෙකුට විතර වාඩි වෙලා ආහාර ගන්න පුළුවන් තරමට ලස්සනට පුටු මේස සෝෆා ඇරේන්ජ් කරල තිබුණා.

කෑම 

අපි ගිහින් වාඩි වෙලා මෙනු එක අතට ගත්තෙ ඕඩර් කරන්නෙ මොනවද කියල අදහසක් ඇතුව නෙමෙයි. හැබැයි මෙනු එකේ තිබුණා අපිට හිතාගන්න බැරි තරම් කෑම බීම ගොඩක්! ස්ටාටර්ස්, සයිඩ් ඩිෂස්, සැලඩ්, සුප් වගේම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස්, පැස්ටා, බර්ගර්ස්, සබ්මැරීන්, සැන්ඩ්විචස්, රැප්ස් මෙකී නොකී ජාති. මේ ඔක්කොම අවේලබල් ද කියල අපි කෝකටත් කියල මුලින්ම එයාලගෙන් ඇහුවෙ, ඕඩර් කළාට පස්සෙ ‘අද නං මේක නෑ’ කියල අහගන්න එක සාමාන්‍යයෙන් හැම තිස්සෙම අපිට වෙන එපාම කරපු සිද්ධියක් හින්ද. වාසනාවකට ‘ඔක්කොම ජාති තියනවා’ කියල සතුටුදායක උත්තරයක් අපිට ලැබුණා.

ඉතිං ඔන්න අපි තෝරලා තෝරලා අන්තිමේ කොච්චි කොත්තු එකයි (රු. 475) මික්ස්ඩ් ෆෘට් බෝල් එකයි (රු. 340) එක්ක, ස්වීට් ටෝස්ට් (රු. 150) ඕඩර් කරන්න එකඟ වුණා.

හැමදාම මස්මාළු දාල හදන කොත්තු කන එකේ වෙනසකටත් එක්ක වීගන් කොත්තුවක රහ බලන්න අපි පුල පුලා හිටියෙ. ඒකත් එක්ක ආව කඩල කරියක් සහ චිලි පේස්ට් ටිකක්. ප්‍රසන්ටේෂන් එක පංකාදුයි. කටක් කාල බැලුවමයි තේරුණේ රහත් ඊට දෙවෙනි නෑ කියල. කුළුබඩු, කරපිංචා එහෙම මදි නොකියන්න දාල. කඩල කරියෙයි චිලි පේස්ට් එකෙයි සැර එක්කහු වුණාම මේකේ රහ ඩබල්. කොහොම හරි කට දැවිල්ලට හායි හූයි ගගා කොත්තුව සම්පූර්ණයෙන්ම ඉවර කරලයි ඔන්න අපි පස්ස බැලුවෙ.

කොච්චි කොත්තුවෙන් දැවිල්ල ගත්ත හින්දා ස්වීට් ටෝස්ට් එක දැනුණේ නිකං කටට මීපැණි වක් කළා වගේ. චොක්ලට් ෆිලිං එකක් එක්ක ආපු, කරකර ගාල හැපෙන්න ටෝස්ට් කරපු පුංචි පාන් පෙති දෙකක්. මට නම් මේකෙන් පොඩි මාමයිට් රහකුත් ආව ද මන්දා. මගෙ යාළුව නං ඒක පිළිගත්තෙ නෑ. කොහොම වුණත් මේ ටෝස්ට් එක නියම ස්නැක් එකක් කියන්න පුළුවන්.

මික්ස්ඩ් ෆෘට් බෝල් එක මේන් එකක් විදිහට වුණත් ඩෙසට් එකක් විදිහට වුණත් කන්න පුළුවන්. මේකට දාල තිබුණ ගස්ලබු, ඇපල්, කෙසෙල්, කොමඩු වගේ පලතුරු ඔක්කොම හොඳට ෆ්‍රෙෂ්. ලොකු පෝෂන් එකක් නිසා බඩ පිරෙන්න කන්න පුළුවන්.

බීම 

තේ, කෝපි, ෆෘට් ජූස්, සෝයි අයිස් කෝපි, චොක්ලට් ඩ්‍රින්ක් වගේ ජාති මෙනු එකේ තිබුණා. ඒ අතරින් විශේෂ එකක් විදිහට අපිට පෙනුණේ චොකෝ එනර්ජි ෂේක් එක. (රු. 580) මේක රටකජු ගොඩක් දාපු කූල්ම කූල් චොක්ලට් ෂේක් එකක්. චොක්ලට් රහට වඩා ඉස්මතු වුණේ මේකට බ්ලෙන්ඩ් වුණ රටකජු රස. දෙන්නෙකුට හොඳටම ඇති.

සර්විස් එක

ඉතාම යහපත් මිත්‍රශීලී සර්විස් එකක් අපිට ලැබුණ බව කට පුරාම කියන්න පුළුවන්. එකම අවුල වුණේ කෑමබීම එන්න විනාඩි විස්සක් විතර බලන් ඉන්න වුණ එක. එවෙලේ අපේ බඩගින්න සෑහෙන්න උත්සන්න වෙලා තිබුණ නිසා වෙලාව යන්නෙත් නෑ වගේ දැනුණ ද මන්දා.

අවසාන වශයෙන් 

මේවට අමතරව මෙයාල ළඟ වීගන් පුඩිං, වීගන් වොෆල්ස් වගේ විශේෂ අතුරුපස වර්ගත් තියනවා. ඒ වෙද්දි අපි හුස්ම ගන්නත් බැරි තරම් බඩ පුරෝගෙන හිටපු නිසා ඒව ගන්නෙ නැතුව ඉන්න තීරණේ කළා. කොහොමටත් මෙතන තියන අනෙක් කෑමබීම ජාතිවල රහ බලන්න ආයෙත් දවසක් ඒ පැත්තෙ යැවෙයි කියල නං හොඳටම ෂුවර්.

වීගන් කෑම කන්න වීගන් වෙන්නම ඕන නෑ! බොරු නං ගිහිං බලන්නකො.

Address

117/B/1 Raththanapitiya, Colombo - Horana Rd, Boralesgamuwa

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment