Artwork for KAMU TOP BANNER
Artwork for KARAMU TOP BANNER

Thudugala Waterfall

Thudugala Falls, Dodangoda, Kalutara


Thudugala Ella is a waterfall located near Kalutara, in an rubber estate once owned by a British. It is quite popular as a fine bathing place.



බස්නාහිර පළාත කිව්ව ම ගොඩක් අයට මතක් වෙන්නේ කොළඹ හතයි ඒ අවටයි විතරනේ. ගොඩක් අයට මේකේ ඇතුළේ කළුතර, ගම්පහ කියල දිස්ත්‍රික්ක දෙකක් තියෙනවද කියලවත් වගක් නැහැ. අනික දිය ඇල්ලකින් එහෙම නාලා එන්න ඕනේ නම් මේ පළාතේ හතර මායිමෙන් පිටට යන්න ඕනේ කියලනේ අපේ බහුතරයක් දෙනා හිතන්නේ. අන්න එහෙම හිතලා දුක් වෙන අයට, දවසින් ගිහින් එන්න පුළුවන් විදියේ දිය ඇල්ලක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

පිහිටීම

කලින් කිව්වා වගේ ම තුඩුගල ඇල්ල තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. කොළඹ පැත්තේ ඉඳලා එනවා නම්, කළුතර - කටුකුරුන්ද - මතුගම පාර - තුඩුගල හන්දිය හරහා මේ ඇල්ලට යන්න පුළුවන්. හොරණ ඉඳන් එන කෙනෙක්ට නාර්තුපාන - තොබුවන හරහා තුඩුගලට එන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ගමන පටන්ගත්තේ කළුතරින්. ත්‍රීවීල් එකකින් කළුතර ඉඳල ම තුඩුගල ඇල්ලට යන්න ගන්නේ රුපියල් 600 - 700 අතර ගාණක්. තුඩුගල හන්දියෙන් වීල් එකක් ගත්තොත් යන්නේ රුපියල් 250ක් වගේ.

මේ කොයි විදියට ආවත්, වීල් එකේ ගමන ඇල්ල කිට්ටුව හරියේ තාර පාර අහවර වෙලා ගුරු පාර පටන්ගන්න එද්දී නවතිනවා. ඊටපස්සේ තියෙන්නේ රබර් වත්තක් මැදින් වැටුණු පයින් ගමනක්. හෝ ගාලා ඇද හැලෙන ඇල්ලේ හඬ අපට අහන්න ලැබුණේ, අපි අපේ ගමනාන්තයට කිට්ටු බව කියන්න වගේ.

ස්වභාවය

හෙක්ටයාර 400ක වගේ භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන තුඩුගල ඇල්ල අවට පරිසරය හරි ම දකුම්කලුයි. රබර් කිරි කපන ගැමියන් වගේ ම, අත්තෙන් අත්තට පැන පැන යන රිලා, වඳුරන් එහෙමත් මේ හරියේ ඉන්නවා.

ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ආරම්භ කරපු මුල් කාලෙ දි, තුඩුගල ඇල්ල ආශ්‍රිතවත් ජල විදුලි බලාගාරයක් හැදුණලු. තුඩුගල රබර් කම්හලටත් බලය සපයපු මේ විදුලි බලාගාරය 70 ගණන්වලදී වැහිලා ගිහින්.

තුඩුගල ඇල්ල ආශ්‍රිත මේ වත්ත මුලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ සුද්දෙක්ට. ඒ සුද්දගේ ගරාවැටුණු ගේ තමයි මේ තියෙන්නේ.

ඊටපස්සේ තියෙන්නේ බම්බුවලින් හදපු පුංචි පාලමක්. ඔය බම්බු පාලමෙන් ගොඩවෙලා ටිකක් උඩහට නගින්න ඕනේ. මේ ටික පහු කරගෙන යද්දී දකුණු පැත්තෙන් දැකගන්න ලැබෙන්නේ තුඩුගල ඇල්ලේ අන්තිම බාගයයි.

මේක කාලයක් ඇල්ල පහළ ඇල්ල විදියටත් හැඳින්වුණාලු. ඒකට හේතුව තමයි තුඩුගල ඇල්ල මහල් දෙකකින් යුතු එකක් වීම. මේ රූපයෙන් පේන්න තියෙන්නේ තුඩුගල ඇල්ලේ පහළ මහල. මේක  මීටර 8ක් වගේ උසයි. උඩු මහලට යන්න නම් මේ පහළ මහල තරණය කරන්න ම වෙනවා. මේ හරියේ තියෙන ගල් මතින් ඒ තරණය කිරීම කරන්න පුළුවන්. හැබැයි වතුර පාර සැර වෙද්දී මේ ගල්කුළු ලිස්සන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා දකුණු පැත්තෙන් තියෙන කැලේ මැද්දෙන් වැටෙන අඩි පාරෙන් යන ගමන ඊට වඩා පරිස්සම් බවයි අපේ හැඟීම.

මේ තියෙන්නේ තුඩුගල ඇල්ලේ උඩු මහලයි. මේක මීටර් 6ක් වගේ උසකින් යුතුයි.

තුඩුගල ඇල්ලට ඇවිදින් නාන්න කැමති උදවියට ඒ වැඩේට පැහැදිලිව ම හරියන තැන් තුනක් තියෙනවා. එකක් තියෙන්නේ මේ උඩු මහලේ. හැබැයි මෙතැන වතුරේ ගැඹුර පොඩ්ඩක් වැඩි බවක් අපට තේරුණා. දිය ඇල්ලේ පහළ මහලේ තියෙන නාන තොටුපළ මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙන්නෙත් මේ නිසා ම වෙන්නැති.

මේක ගල්කුළුවලින් වටවුණු, ගැඹුරින් අඩු වතුර වළක්. උඩ ඉඳලා වේගෙන් ඇදගෙන හැලෙන වතුර කඳ ගල්වල හැපිලා කිති කැවිලා වගේ විසිරිලා යන්නේ කිරි කවඩිවල පාට ගනිමින්. මේ ගල්වලට පිට දීගෙන ඉද්දී දැනෙන සනීපය කියලා වැඩක් නැහැ. දාස් ගණන් දීලා ස්පා ගානේ යන්නේ මොකටද මේ විදියට ස්වභාවික පරිසරයෙන් ම අපට ඒ අවස්ථාව හදලා දීලා තියෙද්දී?

අනිත් නාන තොටුපළ තියෙන්නේ ගමන් පටන් ගනිද්දී ම වගේ අපට මුණගැහුණු බම්බු පාලම කිට්ටුව. පරිස්සම් ඇති වතුර වළක් මෙතැන තිබුණත්, කලින් කිව්ව තැන තරම් පහසුකම් නැහැ. ඒ නිසා හොඳ ම නාන තොටුපළ වෙන්නේ පහළ මහලේ තියෙන තැන තමයි.

ජෛව විවිධත්වය

කහ හැලපෙන්දා (Yellow Magtail) නමැති සංක්‍රමණික පක්ෂි විශේෂ වගේ ම, ළය සුදු පිළිහුඩුවා (White-throated kingfisher), කැහිබෙල්ලා (Sri Lankan - Blue Magpie) වගේ කුරුල්ලන් මේ තුඩුගල ඇල්ල ආශ්‍රිත පරිසරයේ දැකගන්න පුළුවන් බවයි අපට දැනගන්න ලැබුණේ. ඒ වගේ ම, ලංකාවේ පොඩි ම කුරුල්ලා විදියට හැඳින්වෙන තුඩු පිලළිච්චාත් (Pale-billed flowerpecker) මෙහෙ ඉන්නවලු.

තුඩුගල ආශ්‍රිත කැලයේ මීමින්නන් (Mouse Deer), ඉත්තෑවා (Porcupine) ඉන්න බව ආරංචි වෙනවා. ලංකාවට ආවේණික මිරිදිය මසුන් වන වැලි ගොව්වා (Stiphodon Martenstyni), හල්මල් දණ්ඩියා (Rasboroides Vaterifloris) එහෙමත් මේ දිය ඇල්ලේදී දැකගන්න ලැබෙන බව අපට අහන්න ලැබුණා.

අවසාන වශයෙන්

කොළඹ අවට ඉන්න කෙනෙක්ට, දිය ඇල්ලකට ගිහින් නාලා විනෝද වෙන්න හිතුණොත්, තුඩුගල ඇල්ල ඒකට කියාපු තැන. මොකද දවසින් ගිහින් එන්නත් පුළුවන්නේ.

ඒ කොහොම වෙතත්, අපේ සමහර ඈයෝ මේ දිය ඇල්ලට සලකලා තියෙන විදිය දැක්ක ම නම් සෑහෙන්න කණගාටු හිතෙනවා. කෑම කොළ, ප්ලාස්ටික්, පොලිතින් තැනින් තැන ගොඩ ගහලා. සමහරු ඉතුරු වෙන බත් ටික දිය ඇල්ලේ අද්දරට එකතු කරලා. ඒවායින් දිය ඇල්ලේ වතුරත් අපිරිසිදු වෙනවා. ඒ මදිවට අරක්කු, බියර් බෝතල් බිඳලා ඒවත් එහෙ මෙහෙ විසි කරලා. මේ සේරම කරන්නේ ඊට නුදුරින් ඒවා බැහැර කරන්න පුළුවන් විදියේ කුණු බාල්දි තියෙද්දීමයි.

අනිත් දේ තමයි මේ පැත්තේ වෙන කටු පොල් හෙවත් පාම් ඔයිල් වගාව. තුඩුගල ආශ්‍රිත පරිසරයේ වෙන මේ වගේ දේවල් නිසා, මේ ඇල්ල සිඳීගෙන යාමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් “අපි සිංහලේ ලාංකිකයෝ” කියලා මොන කයිවාරු ගැහුවත් වැඩක් නැහැ, තමන්ගේ රටේ මෙච්චර ස්වභාව සෞන්දර්යයක්, ජෛව විවිධත්වයක් තියෙන තැනක් රැකගන්නවත් උවමනාවක් නැත්තන්. ඒකේ වගකීම ඔබට, මට, අපි හැමෝට ම තියෙනවා.

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

Thudugala Falls, Dodangoda, Kalutara

Directions

Turn right at Nagoda Junction onto Kalutara-Matugama Rd, and take a slight left at Deeptha Chaya building onto Thudugala Rd.

Report Inaccuracy
Similar Places

See 3 Comments