5/5

Tsukiji Uoichi

Arcade Independence Square, Clock Tower 1st Floor, Independence Square, Colombo 7


Over a year since first opening its doors Tsukiji Uoichi is still going strong. They've got one of the most impressive Japanese menus in Colombo and they're execution is excellent. Their prices are on the higher end but the food is well worth it and the service is as efficient as it gets.


ඉන්දියන් කෑමත් කෑවා. ඉතාලි, අරාබි, චීන කෑම ඉඳන් තුර්කියට වෙනකම් කෑවා. හැබැයි තවම කන්න බැරි වුණානේ ජැපනීස් කෑම වේලක්. ඔන්න ඔහොම හිතිච්ච නිසා තමයි දැන් සුමාන තුන හතරකට උඩදී මම ට්සුජිකි යුඔයිචි එකට ගියේ.

තැන සහ වාතාවරණය

“ඉරාශෛමසේ"

රෙස්ටෝරන්ට් එකේ දොරින් ඇතුළට එද්දී ම අපට ඇහුණේ ඔය වචන ටික. ජපන් භාෂාවෙන් “Welcome” කියලා කියන්නේ එහෙමයි.

ට්සුජිකි යුඔයිචි එක තියෙන්නේ කොළඹ හතේ ආකේඩ් ෂොපින් කම්ප්ලේක්ස් එකේ. හරියට ම කිව්වොත් අර ඔරලෝසුව එල්ලලා තියෙන ක්ලොක් ටවර් එකේ උඩ තට්ටුවේ. මේක හෙන හයිෆයි තැනක්. ඉඩකඩත් සෑහෙන්න තියෙනවා. වාතාවරණයත් හරි ම නිස්කලංකයි, වගේ ම සුවපහසුයි. නිදහස් චතුරශ්‍රය හරියේ තියෙන ලස්සනත් බලබල ම කන්න පුළුවන් නිසා අපි ජනේලයක් අද්දර තියෙන මේසෙක වාඩි වුණා.

කෑම බීම

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, ජපනගේ කෑම සේරම වාගේ මෙහෙ තියෙනවා. සුෂී, සශිමි, තෙම්පුරා, යකිතොරි, රාමෙන් ජාති මෙයාලගේ මෙනුවේ පිරිලා.

අපි මුලින් ම රස බැලුවේ “එබි තෙම්පුරා” (රු.1180) එකක. දන්න සිංහලෙන් කියනවනම් මේ තියෙන්නේ දවටනයක් දාලා බැදපු ඉස්සෝ. හැබැයි අපට ඔය සමහර වෙලාවට කන්න ලැබෙන ජාතියේ, තඩි පිටි ගොඩක් ඇතුළේ ඇහැට නොපෙනෙන සයිස් එකේ ඉස්සෙක් රිංගගත්ත බැටර් ෆ්‍රයිඩ් ප්‍රොන්ස් වගේ නෙවෙයි මේක. බොහොම ලා දැවටුමක් තියෙන්නේ. ඒ නිසා ඉස්සන්ගේ රස හොඳට ම එනවා. අනික බලන්න එපායැ ඉස්සන්ගේ සයිස් එක. හෙන පත සයිස්.

ඊටපස්සේ අපි නිගිරි ජාති තුනක රස බැලුවා. ඒ "මගුරෝ නිගිරි" (රු.280), "උනාගී නිගිරි" (රු.380) සහ "ශිරොමි නිගිරි" (රු.180) විදියට. නිගිරි කියන්නේ සුෂී කාණ්ඩෙ ම තවත් කෑමක්නේ. බත් ගුලියක් උඩ අමු මාළු පෙත්තක් තියලා තමයි හදන්නේ.

ඔය තද රෝස පාටට තියෙන මාළු පෙත්ත පේනවා නේද? ඒක මගුරෝ නිගිරි. ඒකට එහාපැත්තේ තියෙන්නේ ශිරොමි නිගිරි. අනිත් කෙළවරේ තියෙන උනාගී නිගිරි එක අනිත් ජාති දෙකට වඩා පොඩ්ඩක් වෙනස්. මේකේ උඩ තියෙන මාළු පෙත්ත බැදපු ඊල් මාලුවගෙන් හදපු එකක්. අනිත් නිගිරි දෙකේ ම තිබුනේ නියම අලුත් මාළු. යට තියෙන බත් ගුලියෙත් හොඳට ඇලෙන ගතිය තිබුණා. සේරට ම හපන් මේකත් එක්ක ලැබුණු වසාබි එක. තරු පේනවා! පට්ට ම ස්පයිසි. මොකද අබ තලියක් දාලනේ හදන්නේ. අමු මාළු කන එකට මුලදී මගේ පිරියක් තිබුණේ නැහැ. ඒ වුණාට මේකේ සැරට මට ඒක සම්පූර්ණෙන් ම අමතක වුණා. අම්මපා කට ඇතුළෙන් ගිහින් මොළේට කරන්ට් වදින සයිස්!

ඔන්න ඊළඟට මේසෙට ආවේ "මිසෝ පෝක් රාමෙන්" (රු.1300) එක. මේක සුප් එකක්. හැබැයි ස්ටාටර් එක විතරක් නෙවෙයි, මේන් මීල් එක විදියටත් ගන්න පුළුවන්. අනික ලංකාවේ හැම ජැපනීස් කඩෙන් ම රාමෙන් ගන්න ඇත්තෙත් නැහැ.

රාමෙන්වලට පාවිච්චි කරන්නේ ඒක වෙනුවෙන් ම විශේෂයෙන් හදන නූඩ්ල්ස් ජාතියක්නේ. අපේ සුප් භාජනේ පිරෙන්න ඒවා දාලා තිබුණා. ඒ විතරක් නෙවෙයි තම්බපු බිත්තරයකුයි, ලොකු පෝක් කෑලි දෙකකුයිත් තිබුණනේ. ගාණ ටිකක් සැර වුණත්, ඕවා සේරම එකතු වෙලා රස එද්දී පට්ට ම ගති. අනික දෙන්නෙක්ට බොන්න ඇතිවෙන සයිස් එකට මේ භාජනේ සුප්!

ජපන් කඩේට ඇවිත් ජපන් තේ එකක් නොබිව්වොත් එක හෙන අඩුවක්. මම නම් ඇත්තට ම ජැපනීස් තේවලට කිසිම මනාපයක් නෑ. ඒවයේ තිත්ත රස තමයි ඉවසන්න ම බැරි. මොනවා කරන්නද, රාජකාරිය දේව කාරියට වඩා ඉහළයිනේ කියලා හිතපු මම මේකෙන් තේ (රු.180) උගුරක් බිව්වා.

විශ්වාස කරන්න මහත්තයෝ මේක තිත්ත නැහැ. තේ පෝච්චිය ම තේ කොළවලින් පුරවලා. ඒත් මේ තේ එකේ කිසිම තිත්ත ගතියක් නැහැ. නිකන් කහටට තියෙන උණු වතුර එකක් බොනවා වගේ. ජැපනීස් තේ නෙවෙයි, සීනි නැතුව බොන ලංකාවේ තේ එකක්වත් මේ තරම් රස නැතුව ඇති.

සර්විස් එක

ආයේ කතා දෙකක් නා ට්සුජිකි එකේ සර්විස් එක නියමයි. ස්ටාෆ් එකේ කට්ටිය හරි ම සුහදශීලියි. කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 15න්. අනික ජැපනීස් කෑම ගැන තියෙන ඕනේ ප්‍රශ්නයක් මෙයාලගෙන් අහලා දැනගන්න පුළුවන්.

අවසාන වශයෙන්

කිව්වත් වගේ ගණන් හිලව් නං ඩිංගක් සැරයි තමයි. ඒ නිසා හැමදාම නම් යන්න බැරිවෙයි. ඉඳලා හිටලා හරි ජැපනීස් කෑම බඩගින්නක් ආවොත් ඉතින් මේක නියම පොට් එක.


TIP

They've got sake!

Address

Arcade Independence Square, Clock Tower 1st Floor, Independence Square, Colombo 7

Contacts

Open 6.00 PM to 12.00 AM

Cuisine

Japanese

Price Range

More than Rs.1500

Dish Types

Sushi Ramen

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4


Latest