Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

5/5

Udumbara JU Caterers

4, Jayaratne Mawatha, Colombo 05


JU Caterers is an awesome rice & curry place - they combine tasteful ambience with bath kade prices.



චයිනීස්, ඉටෑලියන්, ඉන්දියන්, ඇරබික් කියලා නා නා ප්‍රකාර විදියට බෝඩ් ලෑලි එල්ලපු කෑම කඩවල් ඇති තරම් ලංකාවේ තියෙන බව ඇත්ත. ඒ වුණාට ලංකාවේ අපට සමහර වෙලාවට ගෙදර රසට හැදෙන පරිප්පුවක්, මාළුවක් එක්ක බතක් තරම් හරියන තවත් කෑමක් නැති තරම්. හැමෝට ම හැම කෑම වේල ම ගෙදරින් ගන්න ලැබෙන්නේ නැහැනේ. කොච්චර රස බලන්න පුළුවන් විදියේ රෙස්ටෝරන්ට් අවට තිබුණත්, ඉඳලාහිටලා හරි බත් කඩේකට ගොඩවෙන්න අපේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ඒකයි.

පහුගිය සෙනසුරාදා දවල් වරුව කිට්ටු වෙද්දී මට ආවේ ඔන්න ඔය වගේ බත් බඩගින්නක්. සෙනසුරාදා නිසා ගොඩක් බත් කඩවල් වහලත් එක්කනේ. ඉතින් යමු ඇප් එක දිග ඇරපු මම “රයිස් ඇන්ඩ් කරි” කියලා සර්ච් පාරක් දැම්මා. උඩින් ම ආවේ උදුම්බරා කේටරර්ස් එක. අපේ යමු කාණ්ඩෙගෙන් හොඳ රෙකමදාරුවක් ලැබිලා තියෙන වග පේන්න තිබුණු නිසා ආයේ දෙතුන් සැරයක් හිතන්න වුණේ නැහැ. පැන්නා පාරට, ගත්තා ටුක් එකක්, ගියා උදුම්බරා එකට. හැබැයි තනියම නම් නෙවෙයි. යාළුවෙකුත් එක්ක.

වාතාවරණය

මේක තියෙන්නේ තිඹිරිගස්යාය පාරේ. පාරට හැරිච්ච ගමන් මීටර් විස්සක් වගේ යද්දී දකුණු වම් පැත්තේ තියෙන අසෝකාරාම පන්සල මීටර් නේද? ඒක පහුවුණු ගමන් හම්බෙන පළමුවෙනි පාර තමයි ජයරත්න පාර. උදුම්බරා එක තියෙන්නේ ජයරත්න පාරේ මුල ම. හැරෙන තැන ම ලොකු බෝඩ් ලෑල්ලක් ගහලා තියෙන නිසා ලේසියකට මඟහැරෙන එකක් නැහැ.

කොළඹ මැද්දේ කියලා නෑ, උදුම්බරා එකේ තියෙන්නේ හරි ම නිස්කලංක ගතියක්. ලස්සන චිත්‍රවලින් හැඩ වුණු බිත්ති; පිළිවෙළට අහුරපු ලී මේස පුටු; ඇත්තට ම ගෙදර කෑම මේසේ වාඩිවෙලා බත් කනවා වගේ හැඟීමක් මෙතැනදී අපට දැනුණා.

කෑම බීම

රතු බත්, සුදු බත් සහ බුරියානිවලින් හැදුණු කෑම වේලක් තමයි එදා උදුම්බරා එකේ තිබුණේ. යාළුවා බුරියානි (රු,250)  එකක් ඕඩර් කරන අතරේ, මම චිකන් රයිස් ඇන්ඩ් කරි (රු.180) එකක් ගත්තා.

ගානට තැම්බුණු සුදු බතට බෙදපු ලොකු චිකන් කෑල්ලක් එක්ක එළවළු ජාති හතරක් මගේ පිඟානේ තිබුණා. ෂහ්! චිකන් කෑල්ල පට්ට ම රසයිනේ. නියමෙට කුළුබඩු ජාති දාලා. වටේ යාන්තමින් රෝස්ට් කරපු ගතියකුත් දැනුණා. ගොරකා එහෙම දාලා හොද්ද හින්දවලයි හදලා තිබුණේ. බතට එකතු වෙද්දී නියමයි.

එළවළු විදියට තිබුණේ පරිප්පු, උයපු මඤ්ඤොක්කා, බැදපු බණ්ඩක්කා සහ පිපිඤ්ඤා සලාදයක්. පරිප්පු හොද්ද ගැන අමුතු හොඳක් කියන්න නැහැ. පොඩ්ඩක් තව ලුණු තිබුණා නම් කියලා හිතුණා. හැබැයි බත් එකත් එක්ක ඇනිලා එද්දී අවුලක් නැහැ. තෙල් දාපු බණ්ඩක්කා එක කතා දෙකක් නැහැ පංකාදු පහයි. නියමෙට කෑලි මිරිස්, කහ පහේ දාලා නිසා හොඳ ස්පයිසි ගතියට තිබුණා. ජීවිතේට බණ්ඩක්කා නොකාපු කෙනෙක් වුණත් කාවි මේක.

පිපිඤ්ඤා සලාදෙන් මේ බත් පිඟානට නියම ගැම්මක් ආවා. මොකද ෆ්‍රෙෂ් ගතියට තිබුණනේ. ගම්මිරිස්, ලුණු පදම එහෙමත් ගානට ගළපලා.

යාළුවා ගත්ත බුරියානි එකේ තිබුණේ රෝස්ට් කරපු චිකන් කෑල්ලක්, මිංචි කොළ සම්බෝලයක්, මැලේ අච්චාරුවක් සහ තම්බපු බිත්තරයක්. හොඳ ගිතෙල් රසක් මේ බුරියානි බතේ තිබුණා. මැලේ අච්චාරුවෙත් කියන්න තරම් වරදක් නැහැ. චිකන් කෑල්ල නිකන් ම රෝස්ට් කරපු නිසාදෝ හෝ ඒ තරම් රසක් නැහැ. හැබැයි චිකන් රයිස් ඇන්ඩ් කරි එක තරම් ම නැතත්, මිංචි කොළ සම්බෝලෙයි, බිත්තරෙයි එකතුවෙලා එද්දී මේකත් හොඳ රස ඇති ලංකාවේ තාලෙට හදපු බුරියානි එකක්.

සර්විස් එක

කවුන්ටරේ පිටිපස්සේ උන්නු ආන්ටි හරි ම හොඳයි. සෑහෙන්න සැලකිල්ලෙන් කෑම ටික බෙදලා දෙනවා. අපට දැකගන්න ලැබුණු විදියට වටේපිටේ කන්තෝරු ගොඩක කෑම ඕඩර මෙතැනට එනවා. ඒ නිසා කෑම ටික ඉවර වෙන්නේ උණු කැවුම් විකිණෙන ගානට.

අවසාන වශයෙන්

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. උදුම්බරා එකේ කෑම ටොප්. ගණනුත් සාධාරණයි. බඩයි, හිතයි දෙකම පිරෙනවා. ගෙදරින් කෑවා වගේ රසට හදපු බත් වේලක් රස වින්ද මායි යාළුවයි උදුම්බරා එකෙන් එලියට බැස්සේ ළඟදී ම දවසක මේ පැත්තේ අනිවා එනවා කියලා හිතාගන්න ගමන්මයි.


TIP

Go before 12 for a lunch packet. It gets busy.

Address

4, Jayaratne Mawatha, Colombo 05

Directions

JU has moved a few times, now it's off Thimbirigasaya Road. Coming up from Havelock Road, you pass Asokaramaya Temple on your left. The next left turn is Jayaratne Mw.

Contacts

Website Facebook

Report Inaccuracy

Open 9.00 AM to 5.00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
User Reviews
See 18 Comments