279 Pannipitiya Road, Palawatta, Battaramulla
Closed right now
A bar and a restaurant in Battaramulla.
කර්ෆිව් එක රිලැක්ස් කරපු ගමන් යමු එකේ අපි හා හා පුරා කියලා බාර් එකකට ගොඩවුණේ ගිය ඉරිදා. හැබැයි බාර් එකක් කියලා කිව්වට, මේක බොන්න ම හදපු තැනක් නෙවෙයි. හොඳට කන්නත් තියෙනවා. ඔය ග්‍රිල් කරපු මස් මාළු එහෙම! ඒ නිසා බීමට තියෙන මනාපකම් කෙසේ වෙතත්, කෑමට මනාපයි නම්, මේක ඔප්ෂන් එකක්. විශේෂයෙන් ම බත්තරමුල්ල අවට ඉන්න අයට.
තට්ටු දෙකකින් සමන්විත Urban Grill එක බොහොම සුවපහසු විදියට කෑම කන්න පුළුවන් විදියට හදපු තැනක්. කන බොන ගමන් රස විඳින්න විව් එකක් ඕනේ නම් මේකේ රූෆ්ටොප් එක පැත්තට යන්නත් ඇහැකි. ඩිම් ලයිට්ස් සහ ලී කැටයම්වලින් මෙතනට අමුතු ම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ අවට තියෙන බාර්වලට වඩා ගොඩක් වෙනස්, තරමක හයි එන්ඩ් වයිබ් එකක් තියෙන තැනක් කිව්වොත් වඩාත් නිවැරදියි.
ග්‍රිල් කරපු මස් මාළු විතරක් නෙවෙයි, බයිට්ස්, බර්ගර්ස්, පැස්ටා, සුප්, සැලඩ් වගේ ජාති තොගයක් ම Urban Grill මෙනුවේ තියෙනවා. ඉතින් අපි වැඩේ පටන්ගත්තේ මෙන්න මේ ඩෙවිල් කරපු ඉස්සෝ (රු. 1350) පිඟානෙන්.
අම්මපා! පංකාදු පහයි! පොත්ත අයින් කරපු පොඩි ඉස්සෝ 15ක් විතර ලොකුවට කපපු ලූණු, අමු මිරිස්, මාළු මිරිස් එක්ක මික්ස් කරලා, ගම්මිරිස් එහෙම යහමින් දාලා තමයි මේක හදලා තිබුණේ. කටට සැරට කියන එකේ උපරිම ලෙවල් එක. හැබැයි ඒක බැලන්ස් වෙන්න ළාවට දැනෙන පැණි රසකුත් තිබුණා. ඕනේ ජාතියක ඇල්කොහොල් බීමක් බොන්න කියාපු බයිට් එක.
ඊටපස්සේ අපි ගත්තේ මික්ස්ඩ් ග්‍රිල් (රු. 2150). මේකට සාමාන්‍යයෙන් එන්නේ ග්‍රිල් කරපු චිකන් බ්‍රෙස්ට් එකයි, පෝක් චොප් එකයි, චිකන් සොසේජ් එකයි, ලෑම්බ් පෝෂන් එකකුයි. හැබැයි අපි ගිය දවසේ එයාලගේ කුස්සියේ ලෑම්බ් නැතිලු. ඉතින් අපේ ඉල්ලීම පරිදි ඒ වෙනුවට වැඩිපුර චිකන් සොසේජ් එකක් දෙන්න ඒ කට්ටිය කටයුතු කළා.
චිකන් බ්‍රෙස්ට් එක සෑහෙන්න හොඳට ග්‍රිල් කරලා තිබුණා. හරි ම ජුයිසි. ළා ගම්මිරිස් රසකුත් එන විදියට මැරිනෙට් කරපු බවක් තමයි පේන්න තිබුණේ. පෝක් චොප් එක ගැන නම් අපේ ඒ හැටි මනාපයක් නැහැ. මස් එකේ පොඩ්ඩක් විතර තද ගතිය වැඩියි. ඒ නිසා තරමක වෙලාවක් ඒක හපන්නත් වුණා. චිකන් සොසේජ් එකේ කියන්න තරම් වරදක් නැහැ.
බීමට අපි ගත්තේ කොක්ටේල්ස් දෙකක් - කොස්මොපොලිටන් (රු. 850) එකයි, සිංගපෝ ස්ලින්ග් (රු. 850) එකයි.
කොස්මොපොලිටන් එකේ වොඩ්කා රස පොඩ්ඩක් සැර වැඩියි. ක්රැන්බෙරි රස ආවේ යන්තමට වගේ. ඒ නිසා බැලන්ස් වෙච්ච ෆ්ලේවර් එකක් තිබුණේ නැහැ. හැබැයි හරි ම රිෆ්රෙෂින් කොලිටි එකක් තිබුණා.
සිංගපෝ ස්ලින්ග් එකේ රස ලොකු අවුලක් නැහැ. සෝඩාවලින් එක රිෆ්රෙෂින් ගතිය අඩුවක් නැතුවම තිබුණා. අනික ජින් රසත් හොඳම ගානට. හැබැයි සාමාන්‍ය සිංගපෝ ස්ලින්ග් එකක එන්න ඕනේ පැණිරස ගතිය දැනුණේම නැති තරම්.
මාස්ක් දාගෙන, මීටරේ දුර පවත්වාගෙන තමයි ස්ටාෆ් එකේ අය හැමවෙලාවේ ම කටයුතු කළේ. දහදොළොස්දෙනෙක් ම කෑම කන්න ඇවිල්ලා හිටියත්, අපේ කෑම බීම ටික කිසිම පරක්කුවක් නැතුව මේසෙට එවන්න එයාලට පුළුවන් වුණා.
කොක්ටේල්ස්වල සහ පෝක් චොප් එකේ අවුල හැරුණා ම, Urban Grill එකේ අපේ අත්දැකීමේ කියන්න තරම් වෙන වරදක් නැහැ. අහ්! කියන්න අමතක වුණා නේ. මේ කට්ටිය BYOB පහසුකමත් දීලා තියෙනවා. හැබැයි රු. 1000 සිට රු. 2500 දක්වා වෙනස් වෙන කෝකේජ් ෆී එකකට. මේ පැත්තට ගියොත් මතක ඇතුව අර ඩෙවිල්ඩ් ඉස්සෝ එක ගන්න හොඳේ! ඒක තමයි සුපිරි ම.
The new pub at Excel World that replaces the good old Keg.
Comfortable restaurant with an amazing view of paddy fields,…
Delete Comment