Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

The Vegan Kitchen by Sulo


All your favorite food, vegan and healthy!



අපේ සමහර යාළුවො ඉන්නවා මසක් මාළුවක් නැතුව බතක් කන්න බැරි උදවිය. හැබැයි මස් මාළුවල දාපු හැන්දක් ගෑවුණත් ඒ බත් නොකන අයත් ඔය අතරේ ඉන්නවා. කොහොම වුණත් ඕක තමතමන්ගේ කැමැත්තනේ. ඔන්න ඔය මස් මාළු නොකන අය අතරේ තවත් කට්ටියක් ඉන්නවා සත්ත්ව නිෂ්පාදන කිසිම දෙයක් පාවිච්චියට නොගන්න අය. අඩු තරමේ පිටිකිරි වීදුරුවක්වත් බොන්නේ නැහැ. මේ කට්ටියට කියන්නේ වීගන් කියලා.

ලංකාවේ වෙජිටේරියන් රෙස්ටෝරන්ට් ඕනේ තරම් තිබුණත්, අපි දන්නා තරමින් වීගන් රෙස්ටෝරන්ට් එකක්වත් තිබුණේ නැහැ. හැබැයි ඔන්න දැන් ඒකත් හරි. වීගන් අයට හරි යන තැනක් දැන් කොළඹ ම තියෙනවා. මේකේ නම “වීගන් කිචන්’ස් කොෆී ලෞන්ජ්”.

තැන

මේක තියෙන්නේ වැල්ලවත්තේ රාම ක්‍රිෂ්ණා පාරේ. ඒ කියන්නේ වැල්ලවත්තේ ෂෙඩ් එක ළඟින් හැරෙන්න තියෙන පාර. මේ පාර දිගේ මීටර් සීයක් විතර යද්දී මුණගැහෙන වීගන් කිචන් එක ලේසියකට මගහැරෙන තැනක් නෙවෙයි. මොකද පාර අයිනේමනේ තියෙන්නෙත්. ඉස්සර මෙතැන තිබුණේ කොෆි ලෞන්ජ් කියලා එකක්.

මේක පොඩි තැනක්. ලොකුවට ඉඩක් නැහැ. ඒත් පස් හය දෙනෙක්ට එක සැරේට වාඩිවෙලා කෑම ගන්න පුළුවන් විදියට ප්ලාස්ටික් පුටු, මේස දාලා තියෙනවා.

කෑමබීම

නමේ තියෙන විදියට ම මේකේ තියෙන්නේ වීගන් කෑම විතරයි. මෙයාලා කෑමවලට පාවිච්චි කරන චීස්, කිරි, බිත්තර හැමදෙයක් ම වීගන් ඒවා. අපට දැනගන්න ලැබුණු විදියට ඒ වෙනුවට පාවිච්චි කරන අඩුම කුඩුම ගොඩක් ඒවා එයාලා ගෙන්නගන්නේ ඕස්ට්‍රේලියාවෙන්. අනිත්වා එයාල ම හදාගන්නවලු.

අපි කෑම මෙනුවෙන් ග්‍රිල්ඩ් චීස් (රු.300) එකකුයි, ස්පැනිෂ් ඔම්ලට් (රු..300) එකකුයි ඕඩර් කළා. බීම විදියට ගත්තේ නෙස්කැෆේ (රු.60) එකකුයි, ඔරේන්ජ් ජූස් (රු.100) එකකුයි.

මෙයාලා දෙන්නේ අර මැෂින් එකෙන් එන නෙස්කැෆේ නෙවෙයි. නෙස්කැෆේ කෝපි එකට සෝයි මිල්ක් දාලා හදන එකක්. නුහුරු රසක් වුණත් දිනිතියි මායි දෙන්න ම මේක බිව්වේ ආසාවෙන්. එළකිරි, පිටිකිරිවල තියෙන උකු ගතිය හෝ කිරි රස අනූන ගතියක් මේකේ නොතිබුණත්, අවුලක් නැතුව බීගෙන යන්න පුළුවන්. සීනිත් ගානට දාලා, උණුවෙන් ම මේසෙට ආව නිසා තවත් මරු.

ඔරේන්ජ් ජූස් එකත් හොඳයි. එවෙලේම හදලා දෙන එකක් නිසා හරි ම රීෆ්‍රෙෂින්. සීනි නැතුව වුණත් බීගෙන යන්න පුළුවන්. රුපියල් 100ට කිසිම පාඩුවක් නැහැ.

අපි ඕඩර් කරපු ස්පැනිෂ් ඔම්ලට් එක නම් නියමයි. බිත්තර දාලා නෑ කියලා වගක්වත් තේරුණේ නැහැ. අලයි, ලූණුයි, වෙජි සොසේජ්ස්නුයි කෑලිවලට කපලා, අර වීගන් බිත්තර ආදේශකයත් එකතු කරලා, ගම්මිරිස්, ලුණු පදමට දාලා තමයි මේ ඔම්ලට් එක හදලා තිබුණේ. වෙජි සොසේජ්ස් එකට නම් මට ඒ හැටි ආසාවක් හිතුණෙ නැහැ. ඒ වුණාට අනිත් ටික හොඳට ම හොඳයි. ටෝස්ට් කරපු බනිස් කෑලි ටිකකුත් මේ පිඟානේ තිබුණා. ඒ විතරක්යැ, රස ම රස සෝස් එකකුත් මේකත් එක්ක ලැබුණා. ඒවත් මේ කඩෙන් ගත්ත සෝස් එකක් නෙවෙයි. වීගන් කිචන් එකේ ම නිෂ්පාදනයක්.

ග්‍රිල්ඩ් චීස් එකත් ෂේප්. හැබැයි සාමාන්‍ය චීස් තරම් මට මේකේ තිබුණු චීස් එක ඇල්ලුවේ නැහැ. සමහර විට අනිත් චීස්වල රසට දිව හුරුවෙලා නිසා ම වෙන්න ඇති. මේ චීස් හදන්නෙත් වීගන් කිචන් එකෙන්මයි. අපට දැනගන්න ලැබුණු විදියට ඒකට පාවිච්චි වෙන්නේ කජු.

කෑම බීම ගොඩක් ඒවට ආස හිතුණු නිසා ම, අපි චොකලට් මෆින් (රු.60) එකකත් රස බලන්න කල්පනා කළා. චොකලට් ගතිය හොඳට ම තිබුණත්, මේක ටිකක් වේලිලා වගේ. මොකද වීගන් කේක්වලට ඔරිජිනල් බටර් හෝ බිත්තර දාන්නේ නැහැනේ. ඒ නිසා මේවා ගොඩක් කන්න අමාරුයි.

සර්විස් එක

අපි මෙතනට ගියේ උදේ 10.30 වගේ. සාමාන්‍යයෙන් වීගන් කිචන් එකේ උදේ වරුවේ බිස්නස් ඉවර වෙන්නේ 11ට. ආයේ වැඩ පටන්ගන්නේ හවස 4ටලු. කඩේ වහන්න ඔන්න මෙන්න තියලා ගිය නිසාදෝ කොහේදෝ කෑම බීම ටික එන්න ටිකක් වෙලා ගියා. චෙෆ් ආවෙත් අපි ඇවිදින් ටික වෙලාවකට පස්සේ. හැබැයි වෙලාවට කෑම ටික දෙන්න බැරි වුණු නිසා ඒ කට්ටිය  සෑහෙන්න කණගාටුවෙන් හිටියේ. මොනවා වුණත් මෙතැන වැඩට ඉන්න උදවිය හරි ම සුහදශීලියි. තමන්ගේ තැනකට ගියා වගේ අපට දැනුණා.  

අවසාන වශයෙන්

ඔයත් මස්, මාළු, කිරි, බිත්තර කිසිම දෙයක් කටේ තියන්නේ නැති කෙනෙක් නම්, බයක් සැකක් නැතුව වීගන් කිචන් එකට යන්න. මේක 100%ක් ඔයාට ගැලපෙන තැනක්.  


TIP

Try the Spanish Omelette, it's amazing!

Similar Places

See 7 Comments