ඉස්සර නං චාටර් තැනකට කොරියාව වගේ කියල කිව්වට දැන් නං කොරියාවේ එවුන් කියනව ඇති ලංකාව වගේ වෙන්න එපා කියල. දකුණු කොරියාව එච්චර දියුණුයි නේ. ඇමරිකන්කාරයින්ට වත් නෑ උන්ගේ තරං හොඳ ඉන්ටර්නෙට්. හුඟක් කල් සැම්සුන් වාගේ කොම්පැනිවලින් ඉලෙක්ට්‍රොනික් බඩු මාර්කට් එක විතරයි උන් අල්ලං හිටියේ. ඒත් දැන් කොරියන් නාට්‍ය, චිත්‍රපටි වුණත් හොලිවුඩ්, බොලිවුඩ් නාට්‍ය, චිත්‍රපටිවලට තරඟයක් දෙන තැනකට ඇවිල්ලා. ලංකාවෙත් එහෙමයි. චන්ගුමි, සුජාත දියණිය එහෙම මතක් කරන්න ඕනේ නෑ නේ?
වැඩේ තියෙන්නේ, ඒවාට කට්ටියක් බැන්නට අග්‍රගණ්‍ය දකුණු කොරියානු සිනමා කෘති තියෙනවා. පාක් චාන් වූක්, බොං ජූන් හෝ, කිම් ජී වුන් වගේ අධ්‍යක්ෂකවරු ලෝකෙම පිළිගත්තු අය. ඕන දේක වගේ අපි හරි දේ තෝරන්න දැනගන්න ඕනේ.
කොරියන් සිනමාව ගැන දැනගන්න ඕනේ නං දැන් සිරා තැනක් තියෙනවා. කොරියානු චිත්‍රපට සංචිතය නොමිලේම බලන්න චිත්‍රපටි 100කට වැඩිය ඒගොල්ලන්ගේ යූටියුබ් චැනල් එකට දාල තියෙනවා ඕන කෙනෙකුට, ඕන රටක ඉඳන් බලන්න.
අපි ඒකෙන් හොඳ මොනාද කියල හොයල බැලුවා. අපිට අහුවෙච්ච පහක් තමයි මේ.
The Day a Pig Fell into the Well (1996)
මේක හොං සං සූ අධ්‍යක්ෂකවරයාගේ පළමු නිර්මාණයයි. මෙතන එක චිත්‍රපටියක් ඇතුළේ කථා හතරක් තියෙනවා: අනියම් සම්බන්ධකම් දෙකකිනුත් සෑහීමකට පත් නොවුණ ලේඛකයෙක්, බිරිඳව සතුටු කරන්න බැරි නිසා අයාලේ යන ව්‍යාපාරිකයෙක්, ආදරවන්තයා නිසා අමාරුවේ වැටෙන අහිංසක ගෑනු ළමයෙක්, අනියම් සම්බන්ධකමක සැනසුම සොයන විවාහක කාන්තාවක්.
A Hometown in Heart (1949)
පොඩි කඳුකර පන්සලක ලොකු හාමුදුරුවෝ එක්ක ඉන්න පොඩි සාමණේර නමක් ඉන්නවා. පන්සල වඳින්න එන තරුණ වැන්දඹුව එක්ක මේ සාමණේර නම බැඳීමක් ඇතිකර ගන්නවා. ඒ ගැහැනිය සාමණේර නම පුතෙක් වගේ හදාගන්න ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒත් සාමණේර නමගේ ඇත්ත මවගේ නැවත පැමිණීමෙන් තව ප්‍රශ්න ඇතිවෙනවා.
A Coachman (1961)
මේක තමයි අන්තර්ජාතික ව සම්මාන දිනාගත්ත පළවෙනි කොරියානු චිත්‍රපටිය. වේගෙන් දියුණු වේගන එන නගරයක් ඇතුළේ තම වැඩිහිටි ළමයි එක්ක ජිවත් වෙන වයස්ගත තාත්තා කෙනෙක්, අශ්ව කරත්තෙකින් අමාරුවෙන් ජීවිකාව කරගන්න හදනවා.
Sopyonje (1993)
මේක ටිකක් ගුත්තිල-මූසිල වගේ කතාවක්. සාම්ප්‍රදායික කොරියානු සංගීතය වටා ගෙතෙන මේ කතාව තියෙන්නෙ බටහිර සංස්කෘතික බලපෑම් හමුවේ තවමත් තම කලාව රැකගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ මතුවෙන ගුරු-ගෝල සබඳතාවක් ගැන.
The Aimless Bullet (1961)
මේක කොරියාවෙන් ආපු හොඳම චිත්‍රපටිය කියල කියන අය ඉන්නවා. 1950 ගණන්වල කොරියානු සමාජය කණ්ණාඩියකට ඇල්ලුවා වගේ කියල තමයි කියන්නේ. මේකේ ප්‍රධාන චරිතේ වෙන මනුස්සයාගේ පඩියෙන් පවුල නඩත්තු කරන්න තියා, දතක් පුරවගන්නත් මදි. ඒත් කොහොමහරි මානසික ව්‍යාධියට පත්වෙච්ච අම්මා, මන්දපෝෂිත ගර්භනී භාර්යාව, වැඩක් කරන්නැති මල්ලි සහ මුදල් උපයන්න විදේශිකයින්ට විකිණෙන නංගි ඉන්න තමන්ගේ මේ පවුල කොහොමහරි බලාගන්නත් ඕනේ.