මම ඉතින් හැමදාම වගේ උදේ පාන්දර 10.30ට විතර ඔෆිස් එකට ගොඩ වෙන එකා නිසා දෙයියනේ කියල අපේ කස්ටිය උදෑසනින්ම කෙලින පිස්සු වලින් පැයක් විතර මට මිස් වෙනව. හැබැයි ඉතින් එහෙමයි කියල පාඩුවක් නෑ, මොකද අපේ කට්ටිය හවසටත් සෑහෙන්න ආතල් ටිකක් දෙනවනෙ. කොහොම හරි එක දවසක් බස් කාරයගෙ වැරැද්දෙන් මට 9.45 විතර වෙද්දි ඔෆිස් එකට යන්න වුනා. අන්තිම පඩි පේලිය නගිද්දි හෙණ ගාල ගෝට්ටියක සද්දෙ. මටත් ඉතින් ඉන්න බෑනෙ, අනික උදෙන් ආපු දවසෙ චාන්ස් එක නිසා, අඩියට දෙකට පඩි පෙළ නැගපු මම දඩ බඩ ගාලා ඇතුලට ගියා.
හුටා, උදේ පාන්දරම අපේ කෙල්ලො ටික හෙන බුලක් කෙලිනව. මැද මේසෙට සෙට් වෙලා, මොනවදෝ තඩි කෝප්ප ටිකකුත් වට කරගෙන. මාත් කිට්ටු කරල බැලුවට මොකද ඉංගිරීසි ටෝක්ස් නිසා මෙලෝ දෙයක් ඒ හැටි තේරෙන්නෙ නෑ. තේරෙන දේකට කියල තිබුනෙ ‘බබල් ටී’ කියන වචනෙ විතරයි. එන පොටත් එච්චරටම හොඳ නැති නිසා මම සද්ද නැතුව කස්ටිය මොකක්ද කරන්නෙ කියල ටික වෙලාවක් බලන් හිටියා.
සරුවත් වීදුරු දන්නව නේ. අන්න ඒ සයිස් විතර ඇති ප්ලාස්ටික් කෝප්ප ටික. හැම එකේම පාට පාට බීම කට කැපෙන්න පුරවල. එතකොට ඒවයෙ අඩියෙ ටීක් බෝල වගේ මොනවදත් තියෙනව. වැඩේ කියන්නෙ මුන් ඒව බොන්නෙ අඟල් කාලෙ බට වලින්නෙ. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ කියල මම හෙමිහිට සීන් එකෙන් කැපුනා. කැපිලා ගිහින් කොම්පියුටරේ ලඟින් වාඩි වුනා. වාඩි වුන ගමන් සර්ච් කලේ ‘බබල් ටී’ කියල. ආ.. ඒක නෙවෙයි, ඔය අතරට අපේ චන්දනගෙ අතට ආපු බුබුලු තේ වීදුරුවකින් උගුරක් රස බලන්න මටත් චාන්ස් එකක් සෙට් වුනා.
වෙච්ච සිද්ධිය කෙටියෙන් කියනව නම් මම ඇදපු ඇදිල්ලට මයෙ හිතේ බුබුලු හතර පහක් එක්ක අර ජූස් කාලක් විතරත් බඩට ගියා. කියන්න සතුටුයි යාළු අන්න ඒ වෙලාවෙ තමයි මට තේරුනේ මේවට බබල් ටී කියන්නෙ ඇයි කියල. හිතන්නකො අයිස් කෝපි වීදුරුවක රසට ගැලපෙන්න අයිස් ටී ත් එකතු කරල, ජෙලි වලින් හදපු බෝල තොගයකුත් එකතු කලාම.
ඇත්තටම කිරි තේ, කහට තේ වගේ නෙවේ මල්ලි මේ ‘බුබුලු තේ’ අමුතුම හැබැයි මාරම රසක් තියෙන්නෙ.
ඔන්න පල්ලෙහායින් තියෙනව මම අර සෙනිකව සර්ච් කරපු වෙලාවෙ සෙට් වුනු ‘බුබුලු තේ’ කඩ ටිකක්, ගොඩ වෙලා බලන්නකෝ..
1. Mabroc Bubble Tea
මේ ප්ලේස් එක ගැන ලියල තිබුනෙ අපේ ඩිලි. තියෙන්නෙ ලිබර්ටි ප්ලාසා ෆුඩ් කෝට් එකේලු. ඩිලිගෙ ආර්ටිකල් එක කියවගෙන කියවගෙන යනකොට තමයි දැන ගත්තෙ මේ බබල් ටී උපන්නෙ තායිවානෙ කියල. එතකොට අර ජෙලි බෝල වගේ තියෙන ඒව හදන්නෙ ජෙලි වලින් නෙවෙයිලු. මයියොක්කා වලින්ලු. අනේ මන්දා, කොහොම වුනත් මොකද කොළඹ පැත්තෙ තරු 5ට බබල් ටී බොනව නම් මේක තමයි කියාපුම තැන. ක්ලැසික්, ෆෘටීස්, ස්නෝව්, ෂේක්ස්, හර්බීස්, කබ්ස් කියන ජාති 6ට එන බබල් ටී 10කට වැඩියෙන් තියෙනව මෙයාල ලඟ. අනික හොඳ, කොලිටි තේ රසකුත් එනවලු. ගාණත් රු. 200-300 අතර වගේ වෙන්නෙ.
2. Bubble Me Bubble tea
මේ ආර්ටිකල් එක කියවල මම ආපු පූර්ණ නිගමනය තමයි මේ කඩෙන් බබල් ටී බොනවට වැඩිය හොඳයි ගෙවල් ලඟ කඩෙන් කිරි තේ 5ක් 6ක් බොනව කියල. මොකද මේ තිඹිරිගස් යාය බබල් මී එකේ බබල් ටී එකක් රු. 350-500 අතර වගේ වෙනව. ඒ වුනාට රස නම් පංකාදු පහට තියෙනවලු. හැබැයි මෙයාල ලඟ මැබ්රොක් එකේ තරම් ලොකු කලෙක්ෂන් එකක් නෑ. බබල් ටී ජාති 6,7යි තියෙන්නෙ, මිල්ක්, අයිස්, යෝගට්, ස්ලෂීස් වගේ.
3. Bubblelement
බෝල බෝල තේ එක එක ගන්නව
බිල ගෙවන්න වෙන එකෙක්ට කියනව
කියල තමයි කියන්න වෙන්නෙ. පට්ට රසට බබල් ටී හැදුවට මොකද කොල්ලුපිටිය ක්වීන්ස් පාරෙ තියෙන බබල්ලෙමන්ට් එකේ බබල් ටී එකක් රු. 400ක් 500ක් විතර වෙනව. එතකොට බබල් ටී ජාතිත් සෑහෙන්න තියෙනව, විශේෂයන්ම පට්ට රස චොකලට්, පළතුරු වගේ රස වලින්. ආරංචියෙ හැටියට නම් මෙයාලගෙ බබල් ටී වල හොඳ තේ රසකුත් තියෙනව. ඒ හැරුනාම රස වෑහෙන පනීනි එහෙමත් තියෙන නිසා හිතේ හැටිය බඩ කට පුරව ගන්න ගමන්ම වුනත් බබල් ටී රස බලන්න බැරි නෑ.
4. Which Way West
කොල්ලුපිටිය ලිබර්ටි ආර්කේඩ් එකේ තියෙන විච් වේ වෙස්ට් එක ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අන්න එතනත් තියෙනවලු පට්ට රස බබල් ටී, හැබැයි රු. 400-500 අතර ගණන් වලට. පංකාදු පහට තිබුනට මෙයාලා ලඟත් රස ජාති 4,5යි ලු තියෙන්නෙ. අනේ මන්දා ඉතින් කල්පනා කරල බලල යන්නකො. නැත්නම්, නිකම් ගියපු වෙලාවක එකක් අරන් රස බැලුවත් කමක් නෑ මයෙ හිතේ.
මේ, ඒක නෙවෙයි කඩ 4කින් ලැයිස්තුව නතර වෙද්දි තමයි මට කල්පනා වුනේ අපි දන්නෙ බබල් ටී කඩ සෑහෙන්න පොඩ්ඩයිනෙ කියල. ඒ නිසා ඔයාලා දන්න කඩයක් දෙකක් හරි එකතු කරල මේ ලැයිස්තුව දිග් ගස්ස ගන්න පොඩි මෙව්වා එකක් දෙන එක ඔයාලගෙ මෙව්වා එක හොඳද.