සත්තයි යාලු මෙච්චර නිවාඩු ලැබිලත්, මේ අළුත් අවුරුද්දෙවත්.. කෑම, රසකැවිලි ටික ගෙදරදි හදාගන්නෙ නෑ කියන්නෙ ඉතින් වැඩක්ම නෑ ආ…
ඔන්න පහුගිය අවුරුදු වලදි නම් කිව්ව කියමුකො, “වැඩ වැඩියි.. සල්ලි නෑ.. හදන්න කවුරුත් නෑ..” කියල. ඒත් මේ අවුරුද්දෙ?
දැන් සති 3ක් තිස්සෙ කට්ටියම ගවල්වල. අම්මල තාත්තල, ආච්චිල සීයල සියළු දෙනාමත් ඉන්නව. එක එක කඩචෝරු කඩෙන් අරගෙන කන්න සල්ලි තියෙනව නම් කැවිලි ටිකකට අඩුම කුඩුම ටික ගන්න සල්ලි නැතිවෙන්නත් බෑනෙ?
ඒ නිසා.. අඩුම තරමෙ,
හැමදාම කන කැවුම් කොකිස් ටික කාලා එපා වෙලා නම්..
අපි මෙන්න මේ කියන අමුතුම රසකැවිලි ටිකවත් හදල කාලා බලන්නකො.
සමහරවිට.. මේකෙන්, මේ අළුත් අවුරුද්දෙ කෑම මේසෙට සුපිරි වෙනසක් කරන්නත් බැරි වෙන එකක් නෑ හොඳද.
1. පැණී කිරිබත්
හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම ලුණුමිරිස් නැතත් රස බලන්න කියාපු කිරිබතක්. මේකෙදි කරන්න තියෙන්නේ.. සාමාන්‍ය කිරිබතට හාල් ටික ලිපේ තියද්දි ඒකටම එනසාල් ටිකක්, කරාබු නැට්ටක්, කුරුඳු පොත්තක් තලල දාන එක. ඊට පස්සෙ කිරි දාලා බත ඉදෙන අතරට.. වෙනමම හදාගන්න පැණි පොල් එකක්. ඒකත් පුලුවන් නම් සීනි උණු කරපුවයින් නෙවෙයි, කිතුල් පැණි ටිකකින් වගේ. හදාගෙන.. බත ඉදුනට පස්සෙ පොල්කටු හැන්දෙන් පුරවල අරගෙන කෙහෙල් කොලේක, ඇඟිල්ලක ඝනකම තියෙන්නෙ රවුමට තුනී කරල මැද්දට පැණි පොල් තලියක් තියල, දෙපැත්තෙන් මැද්දට නවල හක්ගෙඩිය වගේ හදාගන්න.
ආයෙ ඉතින් ඒ වගේ ගුලි 8ක් 10ක් හදාගත්ත කියන්නෙ ගෙදර සියල්ලටම පැහැදිලිවම ඇති.
2. කොස්ඇට බත්
පෞරාණික පහතරට කෑමක්. මම මේක හොයාගත්තෙත් හරිම අහම්බෙන්. ඇත්තම කියනව නම් ගාල්ල පැත්තෙ ඇතුලෙම තියෙන ගමකින්.
එයාලා මේකෙදි මුලින්ම කරන්නෙ කොස්ඇට ටික හොඳ හැටි තලාගෙන ටිකක් බෙරි වෙන ගානට තම්බ ගන්න එක. එහෙම තම්බද්දි ඒකට ලුණු ටිකකුත් දානව. ඊට පස්සේ.. ඒ ටික රස්නෙ පිටින්ම අරගෙන කෙහෙල් කොල වලින් අල්ලල හොඳ..ට පොඩි කරගන්නව. පොඩි කරගත්තට පස්සෙ ඒක තියෙන්නෙ කැට සහිත පිටි මෝලියක් වගේ. කෙහොමහරි ඔය අතරට වෙනමම ලිපක හැදෙනව පැණි දාපු අඩුම කුඩුම මිශ්‍රණයක්. ඒකෙදි එයාලා පාවිච්චි කරන්නෙ කිතුල් පැණියි පොඩියට කපපු වරකා, කජු මද, කෙහෙල් වගේ දේවල්. ඒත් ඉතින් අපිට ඒවා හොයාගන්න ටිකක් අමාරු නිසා.. අපිට පුලුවන් සීනි පැණි හරි අරගෙන ඒකට පොල්, මුද්දරස්පලම්, කජුමද, එනසාල්, කරාබු නැටි වගේ ටිකක් දාලා වැඩේ ගලපගන්න. ගලපගෙන අහවර වෙලා.. ඒ මිශ්‍රණය ලාවට ඝන වීගෙන එනකොටම, අර කොස්ඇට පිටි ටික දාලා කැට ගැහෙනකම් හැඳි ගාන්නයි තියෙන්නෙ. හැඳි ගාලා උණු උණුවෙ කෙහෙල් කොලේකට බාලා අතින් තලල කරල කැට කපාගත්ත නම්..
3. උඩු බැලුම්
මේකත් දකුණු රටේ.. ප්‍රසිද්ධ රසකැවිල්ලක්.
හදාගන්න ඕන කරන්නෙ හාල් පිටියි, පැණියි, පොල්, එනසාල්, කුරුඳු වගේ ටිකකුයි විතරයි. මේකෙදි මුලින්ම කරන්නෙ හාල් පිටි ටික පොල් කිරිත් එක්ක පිටි මෝලියට වගේ සෙට් වෙන්න අනල, හොඳ හැටි තලල, පොඩි පොඩි ගුලි හදල පිපෙන්න අරින එක. ඊට පස්සෙ වෙනමම හදාගන්න ඕන පැණි ටිකක් උණු වෙන්න තියල, ඒක බැදපු හාල්පිටි, එනසාල්, කුරුඳු කුඩු මිශ්‍රණයකට දාලා කවලම් කරල, හීනි කැට කැට වගේ මිශ්‍රණයක්. අන්තිමටම.. තෙල් තාච්චියක් ලිපේ තියල අර මුලින් හදාගත්ත ගුලි අතට අරගෙන හොඳට තලල, බැදල ගත්ත නම්.. එන පපඩම් වගේ ටිකක් ඝනකම් බෝලෙ, පොඩි හිලක් ගහල අර පැණි පිටි, ටික ටික පුරව ගන්නයි තියෙන්නෙ. එහෙම පුරවලා.. කිතුල් පැණි ටිකක් එක්ක…
ගාගත්ත, කෑවා.. ගාගත්ත කෑවා..
ආයෙ මත්වෙනකම්ම කෑ හැකි හොඳද යාළු!
4. මඤ්ඤොක්කා කැවුම්
ඇත්තම කියනව නම් නිකම් කැවුම් හදනවට වඩා ලේසියි මේක. අනිත් එක දැනට තියෙන තත්වෙත් එක්ක අඩුම කුඩුම ටිකත් ඉතුරු කරගන්න පුලුවන්නෙ. ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නෙ.. ලොකු මඤ්ඤොක්කා අලයක් අරගෙන සුද්ද කරල, හෝදල පොඩි පොඩියට කපල, වේලල පිටි කරගන්න එක. ඊට පස්සේ.. ඒ පිටියි, කැකුළු හාල් පිටියි, කිතුල් හරි පොල් හරි පැණියි 1:1:2 අනුපාතයට මිශ්‍ර කරල හොඳ හැටි අනාගන්න. ඒකෙදි මිශ්‍රණයෙ ඝනකම වැඩියි වගේ නම් උණු වතුර ටිකක් දාලා දියාරු කරගන්නත් පුලුවන්. කොහොමහරි.. ඒක පයකට එහා පැත්තෙවත් පිපෙන්න අරින්න ඕන. එහෙම පිපුනට පස්සේ.. තල, සූදුරු ටිකකුත් එකතු කරලා.. නටන තෙලේ කැවුම් අච්චුවකුත් රත් කරලා.. කොණ්ඩකැවුම් හදන එක්ස්පර්ට් කෙනෙක්ට වැඩේ බාර දෙන්නකො.
එපමණයි, අවුරුදු මේසෙ පංකාදු පහයි කියයි.
5. කිරි දොදොල්
කළු දෙදොල් හැමදාම කන එකේ..
ආ මෙන්න, කිරි දොදොල්.
හදාගන්න ඕන කරන්නෙ හාල් පිටි හුණ්ඩු 2යි, හකුරු බෑයයි, පොල් ගෙඩියයි, එළකිරි බාගයයි, ඉඟුරු, කුරුඳු, කජුමද, මුද්දරස්පලම් ටිකකුයි.
මුලින්ම පොල්ගෙඩියම ගාලා කිරි වට දෙකක් ගන්න. අරගෙන.. ඒකට හකුරු බෑය හීනියට ලියල දාලා හොඳට දියකරගන්න. ඊට පස්සෙ ඒකට එළකිරි, හීනියට ලියාගත් ඉඟුරු, කුරුඳු, මුද්දරස්පලම්, කජු එක්ක හාල්පිටි ටිකත් දාලා, ලිපේ තියලා.. දිගටම හැඳි ගාන්නයි තියෙන්නෙ. එහෙම හැඳි ගාලා, හැඳි ගාලා.. තලපෙ ටිකක් ඝන වේගෙන එනකොටම කෙහෙල් කොලේකට බාලා, තුනී කරල, කෑලි කපාගන්න..