ඇත්තනෙ ඉතින් වැස්ස දවස්වලට යකෙක් කන තරමෙ බඩගිනි එනවනෙ. හැරත් ඒකට ඔය පොඩි පොඩි දේවල් කාලා හරියන්නෙත් නෑ. හිතට බඩට අල්ලන්න හොඳ රහට හදපු බතක් මාළුවක් කන්න ම ඕන. එහෙම නැත්නම් අඩුම තරමෙ උණු උණුවෙන් මේසෙට එන පොඩි ස්නැක්ස් පාරක්වත්!
වැඩේ කියන්නෙ ඉතින් රාජකාරි කටයුතුවලට එළියට බැස්සට පස්සෙ අපි ගෙදරින් ගේන බත් එක කන්න පරක්කු වෙනවනෙ. බාග වෙලාවට ඒක සීතල වෙලා. අනේ… අම්ම, බිරිඳ කොච්චර රසට හදල දුන්නත් ඒකෙ තියෙන ගතිය ගොඩක් වෙලාවට අපිට විඳින්න වෙන්නෙ නෑනෙ.
එහෙමයි කියල ඉතින් කඩෙන් කෑවට ඒ රස ගන්නත් බෑ.
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ, දවල් බත් එකේ දුක මැකෙන්නත් එක්ක කියල හැන්දෑවට ගෙදරට ගොඩවෙච්ච ගමන් කරන්න පුළුවන් සුපිරි කෑම වැඩකිඩ ටිකක් කියන්න. ගොඩක් දුරට ඒක ඔයාගෙ රෑ කෑම වේල වෙන්නත් පුලුවන්. නැත්නම්… වැහිබර හැන්දෑවෙ ප්ලේන්ටියක්, කෝපි වීදුරුවක් එක්ක යන කතාබහ අතරට, පොඩි ස්නැක් එකක් වෙන්නත් පුලුවන්.
කොහොම වුණත් මොකද, කෑවොත් බඩටනෙ කියල මොනව කරන්නත් කලින් ඔය පහළින් තියෙන කෑම ටික බලල ඉන්නකො. කුස්සියෙ වැඩ ඔයාලට එච්චර හුරු නැත්නම් ඉතින් අම්මට හරි බිරිඳට හරි සපෝට් එකක් දීලා වුණත් හදා ගන්න පුලුවන්නෙ, නේ…!
1. චීස් යීස්ට් රොටි
මේකට ඕන කරන්නෙ පාන් පිටි, ග්‍රෑම් 250ක් වගේ අරගෙන ඒකට ලුණූ මේස හැඳි බාගයක්, පොල් තෙල් මේස හැන්දක් එක්ක වතුර කෝප්පයකුත් දාලා හොඳ හැටි අනා ගන්න ඕන. හැබැයි පිටි පිපෙන්න නම් ටික වෙලාවක් තියන්න වෙනව. කොහොම වුණත් පිටි ටික පිපීගෙන එද්දි ඒකට හීනියට ලියා ගත්තු කුකින් චීස් හරි පනීර් හරි වගේ චීස් එකක් දාන්න ඕන. ඒ හැරුණාම ඉතින් අමු මිරිස් කරලක්, ගම්මිරිස් පොඩ්ඩක්, ලූණු ගෙඩියක් එහෙම වුණත් හීනියටම ලියල දැම්මට අවුලක් නෑ. මොකද අන්තිමට ඉතින් ඔක්කොම ටික අනල ආයෙත් පොඩි වෙලාවක් තියලනෙ රොටි ටික තුනී කරගන්නනෙ. හැබැයි මතක තියාගන්න නාන් රොටි තුනී කරල පුච්චන්න කලින් ඒකට පාන් පිටි ටිකක් නිකම් උඩින් ඉහින්නත් ඕන, හරිය!
2. දුමේ චිකන්
ඔන්න ඔය උඩින් කියපු රොටි කන්න කියාපු කෑමක් තමයි දැන් කියන්න යන්නෙ.
නම වගේම මේ චිකන් එකත් ටිකක් අමුතුයි. මොකද මේක අපේ පරණ කෑමක්. වෙනසකට කියල තියෙන්නෙ ඒ කාලෙ මේ විදියට හැදුවෙ දඩ මස් විතරයි. ඇත්තටම චිකන් දුමේ දාලා ගන්න එකත් හරිම ලේසියි. කරන්න තියෙන්නෙ කටු නැති චිකන් පළුවක් අරගෙන ගොරක, සියඹල, දෙහි, ලුණු, කහ, මිරිස්, ගම්මිරිස් දාපු ඝන මිශ්‍රණයක් හොඳට තවරල කෙසෙල් කොළයක හරි දෙක තුනක හරි හොඳට සීල් වෙන්න ඔතල දුම් මැස්සෙ තියෙන එක. ඒත් අද කාලෙ ගෙවල්වල දුම් මැසි නෑනෙ. අනික තිබ්බත් ඒ වැඩේට සතියක් දෙකක් යනවනෙ. ඒ නිසා හොඳම වැඩේ තමයි දර ටිකක් අවුලල චිකන් එක අඟුරු අස්සෙ දාන එක. හැබැයි මතක තියා ගන්න මෙතනදි ගින්දර නැත්තටම නැති වෙන්න ඕන. කොහොම හරි අන්තිමට මේ චිකන් එක සැලඩ් කරල කෑමට අරගෙන බලන්නකෝ…
3. බටර් හතු බත්
මේක ඉතින් කෙලින්ම රෑ කෑමට තමයි. හැබැයි පොඩි දේවල් ටිකකින් සුපිරි රසක් හිටින්න හදා ගන්න පුළුවන් බත් එකක්.
මේ බත හදාගන්න කලින් හතු ග්‍රෑම් 100ක් විතර අරගෙන පොඩියට කපල බටර් ද දා පෑන් එකේ කර කර ගන්න ඕන. ඒ අතරට මතක ඇතුව ලුණු, ගම්මිරිස් ටිකකුත් එකතු කරන්න. කරවෙච්ච හතු ටික ලිපෙන් බාලා, හාල් හුණ්ඩු බාගයක විතර බතකුත් හදා ගන්න. අන්තිමට කරන්න තියෙන්නෙ අර බාගත්තු හතු ටිකයි, බතුයි කලවම් කරල ඒකට කජු, ග්‍රීන් පීස් ටිකකු දාලා හීනියට ලියා ගත්තු ස්පයිස්ඩ් කුකින් චීස් හරි නැත්නම් නිකම් කුකින් චීස් හරි එක්ක, මිරිස් කුඩු එකතු කරල පොඩි වෙලාවක් බේක් කරගන්න එක. හැබැයි අවන් එකට දාලා හොඳට බලාගෙන ඉන්න වෙනව, මොකද චීස් ටික ගොඩක් දියාරු වුණොත් බත සවුත්තු වෙන්න ඉඩ තියෙන නිසා, හොඳේ!
4. බිත්තර බත්
ලේසියකට හිතෙන්නෙ නැති ඒත් හිතල හැදුවොත් බඩ පැලෙන්න කන්න පුළුවන් සුපිරිම බතක්.
කරන්න තියෙන්නෙ හාල් හුණ්ඩුවක විතර බත් ටිකක් ලිපේ තියල ඒ අතරට බිත්තර 5ක් කඩල ඒකට ලුණු, කෑලි මිරිස්, අමු මිරිස්, ගම්මිරිස්, හීනියට ලියාගත්තු ලූණු, කරපිංච, කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා දාලා හොඳට ගහගන්න එක. ඊට පස්සෙ ඉදිච්ච බත හොඳට ඇට වෙන් වෙන්න පොඩි කරල දාන්න බිත්තර එකටම. දාලා ආයෙත් හොඳට ගහගන්න. ඊට පස්සෙ ඉතින් නෝර්මල් ඔම්ලට් දාන විදියට ලොකු පෑන් එකක හරි, තාච්චියක හරි දා ගන්න තියෙන්නෙ. හැබැයි ඔම්ලට් එක දාලා, පිපෙනකම් හොඳට වහල තියන්න නම් ඕන.
5. රෝස් පාන් ඩෙවිල්
හදන්නම දෙයක් නැති වුණා කියන්නකො. ඔන්න එනව චූන් පාන් මල්ලි. නිකම් බොරුවට රෝල්ස් පැටිස්වලට සල්ලි වියදම් නොකර ගන්න හොඳ කර වෙච්ච රෝස් පාන් ගෙඩි දෙකක්. අරගෙන වාටි අයින් කරල ඇඟිලි පුරුකක් සයිස් විතර කෑලිවලට කපාගන්න. ඊට පස්සෙ ඒ ටික ලාවට පෑන් ෆ්‍රයි පාරක් දාගත්ත නම් හරි. හැබැයි ඒ අතරට තෙල් ටිකක් ලිපේ තියල ඉඟුරු, සුදු ලූණු, අබ, කරපිංච, කෑලි මිරිස් ටිකකුත් බැදෙන්න අරින්න ඕන. බැදුම හරියාගෙන එද්දි අර පාන් ටික, හොඳ හැටි බිත්තර සාරුවල දවටල තෙලට දාන්න. දාලා පොඩ්ඩ අඩි අල්ලගෙන එද්දි සෝයා සෝස් ටිකක්, ලොකුවට ලියාගත්තු මාළු මිරිස්, බී ලූණු ටිකක් එහෙමත් එකතු කරන්න ඕන. ඊට පස්සෙ ඉතින් ආයෙ… ඩයට් එකට විතරක් නෙවෙයි බයිට් එකට වුණත්!
6. පලතුරු රොටි
රෑ කෑමට අම්ම උණු උණුවෙන් මොනව හරි හදල තිබ්බොත්?
ඒත් අත අරින්න එපා. පොඩි යෝජනාවක් දාලා තේකත් එක්ක කන්න පොඩි ඩෙසට් එකක් හදාගන්න. ඒකත් ඉතින් රොටියක් ම වුණාට අවුලක් නෑනෙ.
වැඩේ හරි ලේසියි. ඇත්තටම මේකට ඕන කරන්නෙ වේලපු පලතුරු. කෙසෙල්, අන්නාසි, ඇපල්, මිදි, අඹ වගේ නම් නැගලම යනව. ඒත් එකක් මතක තියාගන්න පලතුරු රොටියෙ, රොටිය හදද්දි තෙල් දාන්න එපා. සාමාන්‍ය පොල් රොටි මිශ්‍රණයම වගේ හදල ෂුගර් සිරප් මේස හැන්දක් වගේ දාන්න. දාලා, පලතුරු කෑලිත් පොඩියට එකතු කරල හොඳ හැටි අනාගන්න තියෙන්න. මේ රොටිය පිපෙන්න තියන්න ඕනත් නැති නිසා එවෙලම වුණත් පුච්ච ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් හොඳ හැටි බටර් තවරපු තැටියක පුච්ච ගත්තොත් තමයි පංකාදු පහට තියෙන්නෙ.
එහෙනම් හරිනෙ! ආයෙත් ළඟදිම දවසක අළුත්, සුපිරි කෑම රෙසිපි ටිකක් අරගෙන එනකම් ඔය ටික හදල රස බලන්න. හැබැයි ඒ අතරට ඉතින් ඔයාලා දන්න අමුතු අමුතු කෑම ජාති තියෙනව නම් ඒවත් අපිට එවන්න. මොකද අපිත් ආසයිනෙ ඔය එක එක අලුත් කෑම කාලා බලන්න, නේ…!