අපේ 'යමු' වෙබ් අඩවිය බලන ගොඩක් දෙනා කොළඹ පැත්තෙ නිතර දෙවේලෙ කරක් ගහන කට්ටිය නිසා මට හිතුණා, එයාලට හොඳ දවල් කෑම වේලක් කන්න තැන් ටිකක් කියන්න. බලන්න මේ බත් කඩ වලට සමහර විට ඔයාලත් ගොඩ වෙලා ඇති.
Kollupitiya
Green Cabin – නිස්කලංක, සිසිල් පරිසරයක ඉඳන් ලංකාවෙ අපේ රහට හදපු රසම රස බත් වේලක් සාධාරණ ගාණකට කන්න පුළුවන් නියම තැනක්.
New Banana Leaf – විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ කකුළු කරිය එක්ක හරි එළු මස් කරිය එක්ක හරි බත් වේලක් කාපු කෙනෙක්ට ජීවත් වෙන තුරාවට මතක හිටින රසක් තමයි තියෙන්නෙ.
Bambalapitiya
Bath Amma – 'ගෙදර හදනව වගේ' නෙවෙයි 'ගෙදර හදනව තමයි'. හැබැයි ඉතින් ගමේ රසයෙන් අනූන එළවළු, මාළු ටිකක් එක්ක මේසෙට එන මේ බත් පිඟානෙ රස බලන්න නම් දවල් දෙකට කලින් වත් යන්න වෙයි. ඉතින් හිතා ගන්නකො බත් අම්මගෙ කෑම වල රසට කී දෙනෙක් ඇදිල එනවද කියල.
Hotel New Amirthaa – කෙසෙල් කොලේකට බෙදෙන සෑහෙන්න හොඳයි කියන්න පුළුවන් මට්ටමේ නිර්මාංශ ඉන්දියානු බත් වේලක් කන්න කියාපු තැනක්. ඒක නෙවෙයි, බත් කාලා කිරි තේ එකක් බොන්නත් අමතක කරන්න එපා.
Hotel de New Pilawoos – රසම රස මස් කරියක් එක්ක බත් ටිකක් රස බලනව නම් මෙතන තමයි තැන. අනිත් ව්‍යංජන බෙදෙන හැඳි ටිකත් පොඩ්ඩක් ලොකු වුනානනම් තමයි හොඳ.
Greenlands Hotel – අහිතක් හිතන්න එපා මෙතන අනිත් කෑම කෙසේ වෙතත් බත් කාපු කෙනෙක් නම් ආයෙ එන්නෙ නැති වෙයි.
Saraswathie Lodge – නිර්මාංශ ඉන්දියානු බත් වේලක උපරිම රසයක් අත් විඳින්න පුළුවන් සුපිරිම තැනක්. කෙසෙල් කොලේට බෙදෙන බත් පත වටේට තියෙන වංජන වර්ග දහයෙන් දොළහෙන් මොන ජාති දාගත්තත් බත් ටික කන්න පුළුවන් බඩ පැලෙනකම්. ඒ අතරට එකතු වෙන බැදපු මෝරු මිරිස් කරලෙ ලුණු මිශ්‍ර සැර ගතිය බත් එකට ගේන රස, මතක් වෙද්දි කටට කෙලත් උනනවා.
Wellawatta
Yarl Hotel – බත් කඩ නම් අන්න බත් කඩ. මොනවද ඕන, ඕන දෙයක් තියෙනවා. මෙයාල හරිම ප්‍රසිද්ධයි යාපනේ කකුළු කරියට වගේම එළු මස් කරියටත්. කඩේ දැක්කාම නම් සමහරු හැරිල යන්නත් හිතාවි. ඒත් කාපු කෙනෙක් නම් හැමදාම ඒවි. ගොඩක් අඩු ගාණකට බැදපු මාළුවෙක්, බැදපු මිරිස් කරලක් එක්ක හොඳට තුන පහ දාලා උයපු රසම රස ව්‍යංජන තුන හතරකුයි මස් හරි මාළු හරි කරියකුයි එක්ක කෙසෙල් කොලේට බෙදෙන යාල් හෝටලේ බත් එක මම කියනවට එක පාරක් කාලා බලන්නකො.
New Hotel Mayuri – මුහුදු ආහාර පිසීමේ විශේෂඥයො කියල කට ඇරල කියන්න පුළුවන්. කකුළු කරියක් හදනවා, සුපිරි රසක් තියෙන්නෙ. මිරිස්, තුන පහ ගැලපිල්ලත් ලංකාවෙ අපිටම කියාපු ගාණට; කන් දෙකෙන් දුම් දාන්න සැර. එක පෙළට බත් කටවල් ටික උගුරෙන් පල්ලෙහාට යන්නෙ රස නහර පිස්සු වට්ටගෙන. ඒ වගේමයි මෙයාලගෙ දැල්ලො කරිය. මිරිස් මාළු එකත් පංකාදු පහයි. ගාණත් සැර නැති එකේ මම නම් කියන්නෙ යන එන ගමනෙ හරි මෙතනට ගොඩ වෙලා යන්න.
Rolex Hotel – කියන්න සතුටුයි අන්තිමටත් සුපිරි කඩයක් ගැන කියන්න ලැබුණ එක. මෙයාල ලඟත් ලංකාවෙ අපිට හරියන විදියට හදපු මුහුදු ආහාර ව්‍යංජන තිබුණට ඒ හැම එකකටම උඩින් තියෙන්නෙ මෙයාලගෙ එළු මස් කරිය. කටට සැරට හොඳ පදමට කුළු බඩු ටික දාලා හදපු මේ එළු මස් කරියත් එක්ක පාන් ගෙඩියකට වුනත් වග කියන්න පුළුවන්. ඒ තරම් රසයි.
Dehiwala
New Star Hotel – පිලාවූස් එකේ බත් පිඟානට ගොඩක් දුරට සමානයි. හැබැයි එළවළු ව්‍යංජන ටිකක් නම් පිලාවූස් එකට වැඩිය බෙදනවා. ඒත් මස් කරියෙ රස අතින් නම් පිලා එක තමයි උඩින් තියෙන්නෙ.