චොක්ලට් කිව්වොත් වෙන මොනවද ඉතිං. ගෑනු පිරිමි බාල මහලු උස් පහත් වෙනසක් නැතුව ඕනම කෙනෙක් රස කරන කෑමක්. චොක්ලට්වල හොඳ නරක ගැන එක එක අය එක එක කතා කියනවා. චොක්ලට්වල භයානකකම ගැන සමහරු කතා වෙනකොට තවත් සමහරු කියන්නෙ, නෑ චොක්ලට් එච්චර නරක කෑමක් නෙමෙයි කියල.
කොහොම වුණත් මේ ගැන තියන පරස්පර අදහස් පොඩ්ඩක් හොයල බලපු අපි මේ කියන්න හදන්නෙ චොක්ලට්වලට පෙම් බඳින අය දැන ගත යුතුම සරල කාරණා 7ක්.
1 චොක්ලට් ජාති
කඩේකට හරි සුපර් මාර්කට් එකකට හරි ගිහින් බැලුවම කොච්චර චොක්ලට් ජාති සහ වෙළෙඳ නාම අපි දකිනවද? හැමෝටම මේ අතරින් තමන් කැමතිම චොක්ලට් ජාතියක් තියනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තම මේ ඔක්කොම චොක්ලට් වර්ග, ප්‍රධාන චොක්ලට් ජාති තුනකට බෙදන්න පුළුවන්.
ඒ තමයි වයිට් චොක්ලට්, මිල්ක් චොක්ලට් සහ ඩාක් චොක්ලට්.
2 වයිට් චොක්ලට්
කොකෝවා බටර්, සීනි, කිරි, වැනිලා, ලෙසිතින් දාල හදන වයිට් චොක්ලට් තමයි මේ තුනෙන් වැඩිම කැලරි සහිත, වැඩිම පැණි රස, නැත්තං ‘ස්වීට්ම’ එක. කොකෝවා බටර් අඩංගු වුණාට වයිට් චොක්ලට්වල ඝන කොකෝවා අඩංගු වෙන්නෙ නෑ. ඒ නිසා මේක නියම චොක්ලට් ජාතියක් කියල කියන්න බැරි තරං.
3 මිල්ක් චොක්ලට්
වෙළෙඳපොළේ කවදත් වැඩිම ඉල්ලුම තියෙන්නෙ මිල්ක් චොක්ලට්වලට. සම්පූර්ණ කිරි රස එක්ක එකතු වෙලා එන චොක්ලට් රසට නෙ හුඟක් අය කැමති. කොකෝවා, කිරිපිටි, නැත්තං උකු කිරි එක්ක සීනි ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරල තමයි මිල්ක් චොක්ලට් හදන්නෙ.
4 ඩාක් චොක්ලට්
ඩාක් චොක්ලට්වල තියෙන්නෙ පැණි රස එක්කම මිශ්‍ර වුණ තිත්ත රසක්. ඒකට හේතුව, චොක්ලට් හදන්න ගන්න ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන කොකෝවා වැඩිපුරම අඩංගු වෙන්නේ ඩාක් චොක්ලට්වල වීම. කොකෝවාවලට මේද සහ සීනි එකතු කරලා හදන ඩාක් චොක්ලට්වලට තමයි අඩුවෙන්ම කිරි සහ සීනි පාවිච්චි කරන්නෙ.
5 වාසි
සරලවම කියන්න පුළුවන් කරුණ තමයි චොක්ලට් කියන්නෙ මූඩ් ෆික්ස් කරන කෑමක් කියන එක. ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක වුණත් චොක්ලට් රස දිවට දැනුණාම මූණට හිනාවක් එනව කියල තමයි කට්ටිය කියන්නෙ.
ඩාක් චොක්ලට් දිනපතා ආහාරයට ගත්තොත් අධිරුධිර පීඩනය, තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ බ්ලඩ් ප්‍රෙෂර්’ අඩු වෙනව කියල පර්යේෂකයො කියනවා. ඒ වගේම හදවතේ මනා ක්‍රියාකාරිත්වයට, මතක ශක්තියේ වර්ධනයට ඩාක් චොක්ලට් උපකාරී වෙන බව විද්‍යාත්මකව ඔප්පු කරන්න ඇතැම් විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියනවා.
කොහොම වුණත් චොක්ලට් කිරි, චොක්ලට් කේක්, චොක්ලට් බීම ජාති, චොක්ලට් අයිස්ක්‍රීම් වගේ කෑමබීමවලින් නං මේ කියපු හොඳ බලාපොරොත්තු වෙන්න එපා. මොකද චොක්ලට්වල තියන සීනිවලට අමතරව ඒවට තවත් රසකාරක පාවිච්චි කරනව නෙ. එතකොට ඒවයෙ තියන සීනි ප්‍රමාණය හිතාගන්න පුළුවන් නෙ!
6 නරක බලපෑම
ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනව නෙ. ප්‍රමාණය ඉක්මවා ගත්තම බෙහෙතක් වුණත් අහිතකරයි. ඒ වගේ ඕනවට වඩා චොක්ලට් කෑවොත් අපේ සිරුරට ඇතුළු වෙන කැලරි ප්‍රමාණය වැඩි වෙලා බර වැඩි වීම, මහත් වීම වගේ සෞඛ්‍ය ගැටලු උද්ගත වෙන්න පුළුවන්. ඒ විතරක් ද! චොක්ලට් ‘ඕවර්ඩෝස්’ ගත්තොත් ඇඟට ඇතුළු වෙන අධික සීනි ප්‍රමාණය නිසා දියවැඩියාව හැදෙන්න හොඳටම ඉඩ තියනවා.
7 හිතකර චොක්ලට්
ඇත්තටම නරක කොකෝවා නෙමෙයි, චොක්ලට් හදන්න පාවිච්චි කරන අධික කිරි සහ සීනි ප්‍රමාණය කියන එකයි අවසන් වශයෙන් පැහැදිලි වෙන්නෙ. මිල්ක් චොක්ලට්, වයිට් චොක්ලට් සහ ඩාක් චොක්ලට් කියන ජාති තුනම සංසන්දනය කරල බැලුවොත්, අපේ ඇඟට හානිය අඩුම සහ වඩාත්ම හිතකර වර්ගය ඩාක් චොක්ලට් බව ඒකෙන් පේනවා.
ඉතිං වයිට් චොක්ලට් සහ මිල්ක් චොක්ලට් කෑම ටිකක් අඩු කරලා, ඩාක් චොක්ලට් පැත්තට බර වුණොත් තමයි හොඳ!