මේකත් ඉතින් අපේ එක් කැළෑ ගමනක අවසාන දවස තමයි. හැබැයි එදා කණට සැරට දැනෙන ජාති තිබ්බෙ නෑ. තිබ්බෙ මහියංගන, බිබිල පැත්තෙ ඇවිදලා එන අතරමගට හම්බවුනු ඇඟ සැහැල්ලු වෙලා උඩ යන ජාති!
ඒකත් ඔන්න මිනිපේ ඇළ එපිට ඉවුරෙ, බැද්ද දිගේ, හද්ද ඉමට ඇවිදගෙන යනකොට..
අතරමග ගිමන් හරින්න නතරවුනු බිම් පැලක..
ඉස් ඉස්සෙල්ලාම පැලට ගොඩවුනේ ආගර අයියා.
“බණ්ඩෝ.. ඔ්යි?
මූ නෑනෙ මහත්තයා. මේ දැන් එන අතරමගටත් පෝං එක ආන්සර් කරපු එකා”
“ආ.. ඒකට කමක් නෑ අයියා. අපි ටිකක් වාඩි වෙලා ඉඳලා, පුලුවන් නම් තේකක් බීලා අදිමු”
“හපෝ.. ඒම පුලුවනයැ. මං මූට කිව්වෙ දවල්ට කෑම තියන්ට කියලා. මාත්තයලට වාඩි කෑමම කන්න ඔ්න කියපු නිසාත් ඔ්ං..”
“හප්පට, එහෙමෙයි? ඒනං ඔන්න ඔය ටිකක් බලමු. තාම වෙලාවත් 12යිනෙ. කැළේට යන්න ඇති මොකක් හරි වැඩකට”
“හ්ම්.. මටත් හිතෙන්නෙ මූ බැද්දෙ රිංගලා. මොකෙක් හරි එලාගෙන එන්ටවත්ද මන්දා..”
කියලා ආගර අයියා ගත්තා ගල් ලිපේ රත් වෙවී තිබ්බ කේතලේ. අරගෙන හැදුනා අපිට ප්ලේන්ටි 2ක්.
කොහොමහරි ප්ලේන්ටි 2 ආවෙ සීනි අතට කාලා බොන්න. වැඩේ වුනේ ඒ එක්කම ආවනෙ රෝල් කරපු පත්තර වාටියකුත්..
හප්පේ.. එච්චරයි මතක. ගමන් මහන්සියටම පොඩ්ඩක් පිලේ ඔලුව තියාගත්තා. අනිවා පැය බාගයක්වත් හීන ලෝකෙක ඉන්න ඇති. ඊටත් නැගිට්ටුනේ බණ්ඩාගෙයි, ආගර අයියගෙයි දඩි බිඩියට.
“හම්මෝ.. ඒක! මරු ආ..”
“ආ.. මාත්තයා. අව්වෙ සැරටත් එක්ක මං හිතුවෙ හොඳටම නිදාගනියි කියලා. ඉන්ටකො විනාඩි 10න් කෑම හරි. අපි කාලා අදිමු”
“ආ.. ඒකට අවුලක් නෑ. ඒකට අවුලක් නෑ.
ඒක නෙවෙයි ඔය මොනවැයි හදන්නෙ?”
“මේ.. මං මේ උදේ බැද්දෙන් කඩාගෙන ආපු කඳන් හතු වගයක් ඔ්ං. ඒකයි රොටියි තමා. කමක් නෑනේ”
“ආයෙ කමක් නැද්ද අහනවා. සුපිරිනෙ දෙයියො හතුයි රොටියි. හැබැයි කඳන් හතු නම් මීට කලින් කාලත් නෑ ආ..”
“හහ්.. අපි නං ඉතිං මෙහේ ඔ්වා කනවා. හැබැයි හැම කාලෙටම බෑ. පෑවිල්ලෙන් පස්සෙ වැස්ස අල්ලන මුල් සතියෙ වගේ විතරයි. ඊටත් උදෙන්ම කඩන්න ඔ්න, ඉර එළිය වැටෙන්න කලින් ඔ්ං..
ඒක නෙවෙයි, ඒනං මාත්තයලා මේ රොටිත් කාලා නැතුව වෙන්ටැ. මේ වෑවර රොටි.
වේළිලා වැටෙන පොල් අපිට හැමදාම බැද්දෙ, ඇල කණ්ඩියෙ හොයාගන්ට නෑනෙ. ඉතින් අපි කරන්නෙ මෝරපු කුරුම්බා බානවා. බාලා මන්නෙන් හීනියටම ඉරි ගහලා, හොඳට හෝදලා රොටි පිට්ටට දානවා. දාලා රතු මිරිස්, අඟුරෙ පුච්චපු වැව් මාලු කරවල කෑලිත් දාලා ලුණු, ලූණු, පොල් තෙල් ටිකකුත් දාලා අනලා.. වරු බාගයක් විතර වහල තියලයි පුච්චන්නෙ
හුම්..!”
“හප්පේ.. ඔ්ක කියන්න එපා අර රොටි පිච්චන සුවඳ අරහෙන් එනකොට කතාවත් එක්ක කටට කෙලත් උනනවා.
ඒක නෙවෙයි එතකොට හතු හදන්නෙ?”
“හතූ.. හොඳට හෝදලා පොත්තෙ දුඹුර මන්නෙන් හූරලා, තෙලේ තුනපහ, මිරිස්, ඉඟුරු, සුදුලූණු ටිකක් බැදෙන්ට ඇරලා පොඩියට කපපු කෑලි දානවා. දාලා.. හතු කෑලිත් බැදීගෙන එද්දි දිය කිරෙන් හොද්ද බාගෙට තියෙන්න හින්දලා බානවා..”
කියලා, බණ්ඩාගෙ කතාව ඉවර වෙද්දි..
මට නිකම් තරු පන්තියෙ හෝටලයක් මැවිලා තිබ්බෙ. ඊටත්.. අඩ නින්දෙන් ඉඳපු යාළුවත් ඇවිල්ලා බිත්ති කොනේ ඇණ තියාගෙන.. හූමිටිය!
ඊට පස්සෙ කොහොමහරි කෑවනෙ පැය කාලෙන් විතර…
වැඩක් නෑ හොඳේ කියලා..
සැරයි, හැබැයී..
රොටියෙ කිරි රසයි, හතු මාලුවෙ අපේ රහයි එක්ක..
කිව්වට විශ්වාස කරන්න එක්කෙනෙක් තඩි රොටි 3යි,
කාලා ආයෙත් බුදි මතට පැයයි!