නියමිත වෙලාවේ හරියට කැමරාවට අල්ලාගන්නවානම් කොළඹ ඉතා මනරම් දසුන් මවන තැනක්. එහි නිරුවත් ස්වාභාවික සෞන්දර්යය චමත්කාරයි. පුරවරයේ ලස්සන අවන්හල්, කැෆේ හා නිවෙස් තිබෙනවා. ඒත් ඒ කිසිවක් පැහැදිලි පෝය අහසක හෝ ගාලුමුවදොර නිල්ලේ මළහිරු බැස යන නිමේෂයක ඇති සුන්දරත්වයට සමාන වන්නේ නැහැ.
අපි හිරු බැසයාම නරඹන්න හරිම ආසයි. කොළඹ පුරයේ සිටිද්දී ඔබ බොහෝවිට සිටින්නේ මුහුදට ගලක් විසිකරන්න පුළුවන් තරම් එයට ළඟින්. ඒ නිසා ඔබ ඉන්නේ නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ පළ කරන්න පුළුවන් පිංතූරයකට අතේ දුරින් බව මතක තබාගන්න. පැහැදිලි අහස ඇති දවසක වෙරළට හෝ කොළඹ බොහෝ නිවෙස්වල ඇති හිරු බැසයාම නරඹන්න උචිත වහල්තලයකට හෝ සඳළුතලයකට හෝ නැග්ගොත් ඔබට විස්මිත දර්ශන ටිකක් නෙතට හෝ කැමරාවට හසුකරගන්න පුළුවන්.
දින කීපයකට පෙර මැරීන් ඩ්රයිව්හිදී අප අල්ලාගත් හිරු බැසයාමේ සේයාරූ කීපයක් අපි මෙහි පළ කරනවා. පාරට සමාන්තරව විහිදෙන දුම්රිය පාර තරණය කර එහි විසිරී ඇති අවන්හල් හා කැෆේ පසුකර ගියවිට ඔබට හමුවෙනවා අනතුරුදායක පෙනුමක් ඇති පුළුල් ගල්තලාවක්. පරිස්සමෙන් ඇවිදිමින් ටිකක් මහන්සි වුණොත් පය සමබරව තබාගන්න පුළුවන් පැතලි ගලක් සොයාගන්න පුළුවන්. දැන් ඉතින් සූදානම්වන්න වැඩේට. දවස හොඳනම්, වාසනාවත් තිබේනම් ඔබට පුළුවන් තිරය පුරා විහිදුණු මනස්කාන්ත දර්ශනයක් කැමරාවට හසු කරගන්න. අගනගරයේ ජීවත් වෙමින්ම සොබාදහමේ සුන්දරත්වය සමග එක්වන්න මේ තමයි ඉතාම හොඳ විධිය.
හෙමින් මුහුදේ ගිලෙන හිරු දෙස ඔබ තවමත් බලාහිඳ නැද්ද? එහෙනම් දැන්වත් ඒ වෙනුවෙන් විනාඩි කීපයක් ගතකරන්න. ඒතරම් සුන්දර තවත් දෙයක් නැතිතරම්. ඔබේ සිත භාවනාවකදී සේ සන්සුන් වේවි. ඒ වෙනුවෙන් කිසිවක් වැය නොවන බව කියන්න ඕනෑ නැහැනේ.