ඔක්තෝබර් 31 සියලු සාන්තුවරයන්ගේ දිනයයි. නැතිනම් හැලවීන් සමයයි. ලංකාවේ ළමයි ඔය සුදු රෙද්දක් ඔලුවේ දමාගෙනමුහුණේ සත්ව රැවුල් ඇඳගෙන මිනිසුන් බය කළ යුතු නැත. රාක්ෂයන්ගේ දූපත වන ලංකාවේ ඒ සඳහා හොඳ අදහස් තිබේ.
ඉතින් සම්ප්රදායික වට්ටක්කා ගෙඩිය අතහැර තැඹිලි ගෙඩියක් කැටයම් කපාගන්න. මෙන්න අලුත් හැලවීන් ඇඳුම් අදහස් ටිකක්.
ග්රීස් යකා
ග්රීස් යකා යනු පසුගිය කාලයේ ගෙවල්වලට කඩාපැන විවිධ සොරකම් කළ හා ස්ත්රින්ට අඩන්තේට්ටම් කළ අල්ලාගන්න බැරි ලිස්සා යන යකෙක්. මොහුට අඳගන්න අමුතු ඇඳුම් ඕනැ නැහැ. සරම අමුඩෙ ගසාගත්තාම ඇති. ඇෙඟේ ග්රීස් ගාගන්න. හැබැයි පසුගිය දිනවල මිනිස්සු ග්රීස් යක්කුන්ට පහර දුන් නිසා පරිස්සම් වන්න.
සුදු වෑන්
සුදු වෑන් කියන්නේ ලංකාවේ මිනිසුන් ඉතා පහසුවෙන් බියපත් කරන වාහනයක්. සුදුපාට පෙට්ටියකින් මෙවැනි ඇඳුමක් සකසාගන්න උත්සාහ කරන්න පුළුවන්. එය වාහනයක පෙනුමට සකසාගැනීම ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් බියවැද්දීම අතින් හොඳ නිසා උත්සාහකිරීම වටිනවා.
බසය හෝ බස් රියදුරා
කවුරුද බස් රියදුරන්ට බය නැත්තේ? මගියකු, පදිකයකු මෙන්ම වෙනත් රියදුරකු වුණත් එහෙමයි. කළ යුතු දේ හරි ලේසියි. සුදු වෑන් ඇඳුමේ වගේ පෙට්ටියක් ඇඟට දාගෙන බෲම්ගාගෙන ගිහින් වියරුවෙන් මිනිසුන්ගේ ඇඟට කඩා පනින්න. බස් එකක් බව දැනගත්තාම කවුරුත් බයයි.
රාවනා
රාමායනයට අනුව, රාමාගේ බිරිඳ සීතා පැහැරගෙන ගිය ලංකාවේ හතළිස් වසක් රජකම් කළ රාවනාට හිස් දහයයි. කුපිත පෙනුම ඇති හිස් දහයක් සකසාගන්න ක්රමයක් ගැන හිතන්න. ටිකක් මහන්සි වෙන්න සිදුවේවි.
ජැක්කාරයා
මොහු බස්වල මෙන්ම දුම්රියවලත් නිතර දකින්න සිටින කෙනෙක්. කරන්නේ ගැහැනුන්ට කිට්ටු වී ඇෙඟේ ඇතිල්ලෙන එක. ඉන් එහා ගිය නරක වැඩ කරන අයත් ඉන්නවා. විශේෂ ඇඳුමක් ඕනැ නැහැ. යාළුවන්ගේ ඇඟේ වැඩිපුර ඇතිල්ලුණාම ඇති. හැබැයි පරිස්සමෙන්.
ඇමති පුතා
කියන්න දෙයක් නැහැ, දැකපු ගමන් මිනිස්සු බියවෙනවා. අව්කණ්ණාඩි පැළඳ, බොරු පිස්තෝලයක් අරගෙන, තමන්ගේ රොලෙක්ස් ඔර්ලෝසුවේ මිළ හා ඊළඟට ගන්න ඉන්න කාරය ගැන කතා කරමින් හමුවන හැමටම තර්ජනය කරමින් එහෙමෙහෙ යන්න. තව කීපදෙනෙකුව ශරීරාරක්ෂකයන් ලෙස අන්දවාගත්තානම් රංගනය සම්පූර්ණයි.
මදුරුවා
පිහාටු, අඬු, ලේ බොන බට ආදියෙන් සමන්විත ඇඳුමක් සකස් කර ගත යුතුයි. ලංකාවේ මිනිස්සු සොම්බි, වැම්පයර් ආදීන්ටත් වඩා මොවුන්ට බයයි. වැඩි විස්තර ඕනැ නැහැ.
කලුකුමාරයා
කලුකුමාරයා සිංහල ජනප්රවාදයේ ඉන්න යකෙක්. කුමාරයකු වූ ඔහු පියරජු මරන්න කුමන්ත්රණය කර අසාර්ථක වූ පසු ඔහු කන්දකින් පහළට පැන සියදිවිනසාගන්නවා. පසුව කඩවසම්, කළු යකකු වී මෙලොවට පැමිණි ඔහු අහුමුළුවල සිට අවේලාවේ, හුදකලාව සිටින කාන්තාවන් බයකරන බව කියනවා. මේ සඳහා එතරම් ඇඳුම් ඕනැ නැහැ. ඇඟ තද කළු කරගන්න.
ඔන්න අපි හැලවීන් ඇඳුම් සඳහා දේශීය අදහස් අටක් ඉදිරිපත් කළා. සියල්ල මිළ අඩු, පහසුවෙන් සකස් කරගත හැකි ඒවා. ඇඳලා බලන්න.