This is a translation of Future Expressways of Sri Lanka.
ලක්වාසී ජනතාව නිතැතියෙන්ම බලාපොරොත්තු වනුයේ ක‍්‍රමවත්ව විහිදුණු මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියක උපකාරයෙන් මහ මගදී මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් මග හරවා ගැනීමටය. දවස ආරම්භයේත් අවසානයේත් සෙනඟින් පිරීගිය බස් රථයක් තුළ තෙරෙපෙන විවිධ සමාජ මට්ටම් වල ජනතාව තරමක් සුවපහසුව ගමන් කළ හැකි පොදු බස් රථ හෝ දුම්රිය සේවාවක් බලාපොරොත්තුවෙන් සිටිති. රාජකාරී බහුල වේලාවන් හීදී පවා මුහුණ දීමට සිදුවන වාහන තදබදය නිසාවෙන් මහමගට ගෙවී යන වැදගත් කාලය ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන වාහන හිමිකරුවන් හට ද ඊට සාධාරණ පිළිතුරක් අවශ්‍යව ඇති බව YAMU අප නිරීක්ෂණය කළෙමු. මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරයන් හීදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න පිළිබඳ කෙටි සංක්ෂිප්තයක් ඔබ හට ගෙන හැර පෑම අපගේ අරමුණ වෙයි.
වර්තමාන තත්ත්වය, දකුණු පළාත
මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇත. කඩුවෙල සිට ගාල්ල හරහා මාතර නගරය තෙක් ඉදිවී ඇති මෙය අධි සුඛෝපභෝගී බස්රථ සේවාවකින් සමන්විත වේ. කඩුවෙල සිට ගාල්ල නගරය දක්වා ගමන් කිරිමට රුපියල් 420ක ද මාතර දක්වා ගමන් කිරීමට රුපියල් 500ක ද ටිකට් පතක් ඒ සඳහා ලබාගත යුතුය. රමණීය පරිසරයක් මධ්‍යයෙහි පිහිටා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය නිසාවෙන් කඩුවෙල සිට ගාල්ල නගරය දක්වා පැයක පමණ කාලයකින් ද මාතර දක්වා පැය 1 1/2ක පමණ කාලයකින් ද ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. නුදුරු අනාගතයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට නගරය දක්වා දීර්ඝ කිරීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතී. එමගින් කතරගම, යාල, අම්පාර වැනි ගිණිකොණ දිග මුහුදු තීරය වෙතද බුත්තල මොණරාගල, ඇල්ල, වැල්ලවාය වැනි දිවයින අභ්‍යන්තර කලාපයන වෙතද කෙටි කාලයකින් ප‍්‍රවේශ වීමට අවස්ථවා උදාවෙනු ඇත.
මීගමුව
කටුනායක ගුවන්තොටුපල සිට මීගමුව නගරය තෙක් ඉදිකර ඇති අධිවේගී මාර්ගය සංචාරක කර්මාන්තය ඉහල නැංවීමෙහිලා තුඩු දෙන හේතුවක් වී ඇත. තවද කටුනායක ගුවන්තොටුපල සිට කඩුවෙල නගරය දක්වා මෙම අධිවේගී මාර්ගයන් සංවර්ධනය කිරීම මගින් කොළඹ නගරයෙහි නිරන්තයෙන් පවතින වාහන තද බදයට හසු නොවී සෘජුවම ගාල්ල හෝ මාතර නගරය වෙත ගමන් කිරීමට ද නුදුරු අනාගතයේදී ලක් වැසියනට සහ සංචාරකයිනට අවස්ථාව උදා වේ යැයි අප සිතමු.
වසර 05 කට පසුව, මහනුවර
නුවර පාර නිරන්තරයෙන් වාහන තදබදයට මුහුණ දෙන මාර්ගයකි. ඇතැම් විට එය කඩුවෙල සිට බැලූම්මහර දක්වා දික් වූවක් වෙයි. කෑගල්ල නගරයෙහිද සතියේ වැඩ කරන දිනයන්හිදී නිරන්තරයෙන් වාහන තදබදය දැකිය හැකිය. මෙම හේතූන් නිසා කොළඹ සිට කිලෝමීටර් 115 ක් පමණ දුරින් පිහිටා ඇති නුවර නගරය වෙත ගමන් කිරීමට ආසන්න වශයෙන් පැය 03 කට අධික කාලයක් ගත වේ. ඊට විසඳුමක් ලෙසින් 2002 වර්ෂයේදී යෝජනා වූ මධ්‍යම අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ විසින් 2014 වර්ෂයේදී මුල්ගල් තබනු ලැබිණි. 2018 වර්ෂයේදී සාදා නිම කිරීමට නියමිතව තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වර්තාමානයේදී උත්තර අධිවේගී මාර්ගය යන නාමය භාවිතා කරනු ලබයි. මීට හේතුව උතුරු මැද පළාත හරහා උතුරු පළාතට සෘජුවම පිවිසීමේ හැකියාව එමගින් ලැබෙන බැවිණි. පැය 2 ක පමණ කෙටි කාලයකින් නුවර නගරය වෙත ළගා වීමේ පහසුකම් සලසන උත්තර අධිවේගී මාර්ගය ලක්වැසි ජනතාවට නිතැතියෙන්ම අස්වැසිල්ලක් වනු ඇත.
වසර 07 කට පසුව, රත්නපුර
කොළඹ, රත්නපුර ප‍්‍රධාන මාර්ගය යනු තවත් බාධා රැසකින් හෙබි මාර්ගයකි. ඇඹිලිපිටිය සහ බදුල්ල යන ප‍්‍රධාන නගර වෙත ද පිවිසුම් මාර්ගයන් පිහිටා ඇත්තේ කොළඹ, රත්නපුර මාර්ගය ඔස්සේය. බොහෝ දිනයන් හිදී අවිස්සාවේල්ල නගරයෙහි පවතින වාහන තදබදය සඳහා කදිම විසඳුමක් ලෙසින් රුවන්පුර අධිවේගී මාර්ගය 2014 වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි. නමුත් සිදුවූ දේශපාලන විපර්යාසයන් හේතුකොට ගෙන අතපසු වී ගිය මෙම අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු නුදුරු දිනයකදී ආරම්භ වනු ඇති අතර අවුරුදු 5 – 7 අතර සංවර්ධන කාලයක් ඒ සඳහා ඇස්තමේන්තු කර ඇත. කොළඹ නගරයෙහි සිට කිලෝමීටර 95කට ආසන්න දුරකින් පිහිටි රත්නපුර නගරය වෙත ගමන් කිරීම සඳහා වර්තමානයේදී පැය 03 ක පමණ කාලයක් ගතවන අතර රුවන්පුර අධිවේගී මාර්ගයෙහි නිමැවුමෙන් පසුව මිනිත්තු 45 ක පමණ ඉතා කෙටි කාලයකින් රත්නපුර නගරයට ළගා වීමට ලක්වාසීනට හැකි වනු ඇත.
වසර 10 කට පසු, ත්‍රිකුණාමළය හා මඩකලපුව
වසර 10ක හෝ 15ක කාල පරාසයක් අතරතුර නැගෙහිර පළාත සඳහා ද අධිවේගී මාර්ගයක් අවශ්‍ය වනු ඇතැයි අප සිතමු. ඒ අනුව උත්තර අධිවේගී මාර්ගය කුරුණෑගල, දඹුල්ල හරහා ත්‍රිකුණාමළය නගරය දක්වා දීර්ඝ කිරීමටත් දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට සිට අම්පාර හරහා මඩකලපුව නගරය දක්වා දීර්ඝ කිරීමටත් හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.
වසර 15 කට පසුව, යාපනය
2014 වර්ෂයේදී යාල්දේවි දුම්රිය යාපනය දක්වා ධාවනය වීම යලි ආරම්භ වූ බැවින් කොළඹ සිට කිලෝමීටර් 395කට ආසන්න දුරකින් පිහිටි යාපනය නගරය වෙත ගමන් කිරීමට ගත වනුයේ පැය 08 කට ආසන්න කාලයකි. නමුත් දුම්රිය තුළ ඉඩ පහසුකම් සීමාසහිත බැවින් තදබදයකින් තොරව යාපනය නගරය වෙත ගමන් කිරීම සඳහා උත්තර අධිවේගී මාර්ගය දඹුල්ල, වව්නියාව හරහා යාපනය නගරය තෙක් ඉදිවෙනු ඇතැයි අප සිතමු. එමගින් පැය 04ක පමණ කෙටි කාලයක් තුළ යාපනය නගරය වෙත ගමන් කිරීමේ පහසුකම ලක්වාසී ජනතාව හට ලබාදීමට උත්තර අධිවේගී මාර්ගය සමත් වෙනු ඇත.
වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන, වාණිජ සහ දේශගුණික විපර්යාසයන් හමුවේ නොසැලී ඉදිවෙන මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන්තොටුපල වැනි සංවර්ධනයට තුඩුදෙන ගොඩනැගීම් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමෙහිලා වූ දිගු ගමනේ පුරෝගාමීන් වෙති. ඒ අනුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ මෙම අපූරු දිවයින තුළ විවිධ පළාත් වල ජීවත් වන විවිධ ජාතීන් අතර සහයෝගීතාවය නංවාලීම පිණිස මෙම සංවර්ධන කි‍්‍රයාවලිය ඉවහල් වනු නොඅනුමානය.