සංගීතයයි, සාහිත්‍යයි එකට එක්කාසු වෙන්නේ ගීතයෙන්. මොකද ගීතයක් ජනප්‍රිය වෙන්න බලපාන්නේ ඒකේ තනුව විතරක්ම නෙවෙයි. ඒකෙ පද පෙළටත් ඒ විදියෙම වැදගත්කමක් ලැබෙනවා. කොච්චර ලස්සන තනුවක්, මිහිරි ම හඬින් ගායනා කරත් වැඩක් නෑ, ඒ ගීතයේ පද පෙළේ තේරුමක් නැත්තන්.
ඉතින් මේ ගී පද රචනා වෙන්නේ කොහොමද? සමහර ගීත රචනා වෙද්දී එළියට එන්නේ ඒ රචකයන්ගේ යටිහිතයි. සමහර වෙලාවට තමන්ගේ අත්දැකීමක් මේවට පාදක වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් තමන් අහපු, දැකපු, තවත් කෙනෙක්ගේ අත්දැකීමක් වචනවලට පෙරළෙන්නත් පුළුවන්. ගීතවලට මුල් බීජ වුණු මේ වගේ කතන්දර, මේ ගීත තරම්ම රසවත්.
අන්න ඒ වගේ ගීත බොහොමයක් ගැන විස්තර අපි පහුගිය කාලේ කතා කළා. ඒ වගේ තවත් කතන්දර කීපයක් තමයි මේ.
1. ගිනි මලක්
"ගිනි මලක් පිපුණාය දොරකඩ – වරක් නොව තව වතාවක්
සඳක් සේ දිලිසුණා පුරපස – පිපුණි දොරකඩ රන් මලක්"
ලංකාවේ ගීත රචනා ඉතිහාසය ගත්ත ම, රචකයෝ කීපදෙනෙක් එකතුවෙලා ගීත ලියපු වෙලාවල් තියෙන්නේ තරමක් අඩුවෙන්. කිත්සිරි ජයසේකර මහත්මයා ගායනා කරන මේ ගීතය අන්න ඒ වගේ විරල එකක්. මේක රචනා කළේ ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන දෙපළයි. දැන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් වුණත්, මේ ගීතය රචනා වෙද්දී ඔවුන් දෙන්න ම තරුණ සරසවි සිසුන්. ඒ කාලේ මේ දෙන්න ම නැවතිලා උන්නේ එක ම බෝඩිම් කාමරේක. ඉතින් එක්තරා දවසක මේ බෝඩිම් කාමරේ දොර ළඟට බොහොම ලස්සන තරුණියක් ආවා. මොකක්දෝ පණිවිඩයකට ආව ඇයව මේ තරුණයෝ දෙන්නගේ හිතේ රැඳුණේ හරි පුදුම විදියට. පණිවිඩය දුන්නු ඒ තරුණිය එතැනින් ගියාට පස්සෙත් ඔවුන් දෙන්නා කතා කළේ ඇය ගැනමයි. හැබැයි වැඩිවෙලා ගියේ නැහැ. ඇය තවත් වරක් ආවා කාමරේ ළඟට. දෙසැරයක් ම තමන් ඉදිරියේ පෙනී ඉඳපු මේ රූමත් තරුණිය ගැන සිතුවිලි සමූදාය “ගිනි මලක්” විදියට එළි දැක්කේ ඔවුන් දෙදෙනාගේ ම වචනවල එකතුවෙන්. අහම්බෙන් වගේ දැකපු ඇගේ රූපයට මේ තරුණයෝ දෙන්නා වශී වුණු හැටි මේ ගීතයෙන් හොඳින් ම නිරූපණය වෙනවා.
2. දම් පාටින් ලා සඳ බැස යනවා
"දම් පාටින් ලා සඳ බැස යනවා – ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි – නොදොඩා ඉන්නේ ඇයි"
ලූෂන් බුලත්සිංහල මහත්මයා අපේ රටේ ඉන්න අග්‍රගණ්‍ය ගීත රචකයන් අතරින් කෙනෙක්. එතුමාගේ අත්දැකීමක් පාදක කරගෙන ලියවුණු මේ ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහත්මයයි, මාලිනී බුලත්සිංහල මහත්මියයි.
තරුණ ලූෂන් බුලත්සිංහල මහත්මයා පාසල් යන කාලයේ ඔහුට පෙම්වතියක් හිටියා. උසස් පෙළින් පස්සේ මේ දෙන්නා තේරුණේ විශ්ව විද්‍යාල දෙකකට. ලූෂන් මහත්මයා ඇතුල්වුණේ පේරාදෙණිය සරසවියට. ඔහුගේ පෙම්වතිය ඉගෙනගත්තේ කොළඹ සරසවියේ. ඉස්සර වගේ දෙන්නට මුණගැහෙන්න විදියක් තිබුණේ නැතත්, ඔවුන් දෙන්නා හැකි සෑම වෙලාවක ම කතාබහ කළා. වෙසක් නිවාඩුවට කොළඹ ආවට පස්සේ, මුහුදු වෙරළට ගිය ඔවුන් දෙන්නට ම ඒක හිතපු තරම් රසවත් අත්දැකීමක් වෙලා නැහැ. මොකද ඒ දෙන්න ම වයසින් මුහුකුරා ගිහින්. දවසේ වැඩි කාලයක් ගෙවන්නේ වෙනස් පරිසරවල්වල. ඒ නිසා සිතුම් පැතුම් පවා වෙනස් වෙලා. ඔන්න ඔය හේතුව නිසා මේ යුවල වෙන්වෙන්න තීරණය කළා. ගීතයේ කියන විදියට හැන්දෑවක මුහුදු වෙරළක මේ වෙන්වීම නොවුණත්, මේ පද රචනාව අහද්දී ඒ ආදරවන්තයන් දෙදෙනාගේ හැඟුම් අපේ හිතටත් දැනෙන්නේ ඉබේට ම.
3. තිරය ඇරෙනවා තිරය වැහෙනවා
"තිරය ඇරෙනවා තිරය වැහෙනවා – ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන් – තාලෙට ඉඟසුඟ නටවනවා"
බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයා හා හා පුරා කියලා ලියපු පළමුවෙනි ගීතය වෙන්නේ මේක. ඔහු ඉපදුණේ ඇහැලියගොඩ, පරණගම කියන සශ්‍රීක ගමේ. බණ්ඩාර මහත්මයාගේ පියා ගොවියෙක්. ඒ නිසා පොඩි කාලේ ඉඳල ම ගොවිතැන් වැඩවලට සම්බන්ධ වෙන්න ඔහුට අවස්ථාව ලැබුණා. කුඹුරු කෙටිලි, හරක් එළවිලි, ගොයම් කැපිලි, පෑගිලි ඔය කොයි දේටත් ඔහු දායක වුණා.
ගමේ පාසලෙන් අකුරු කරපු ඔහු ඊළඟට ඉගෙනගත්තේ ඇහැලියගොඩ පැත්තේ ලොකු ඉස්කෝලෙක. දවසක් මේ ඉස්කෝලේ ලොකු කොන්සර්ට් එකක් තිබුණා. මේකෙදී “බතේ උපත” නර්තනය ඉදිරිපත් කරන්න කොළඹ කාන්තා විද්‍යාලයේ දැරිවියන් ඇවිදින් හිටියා. මේ නැටුම බලාගෙන ඉඳපු බණ්ඩාර මහත්මයට තමන් උදේ හවස ගොවිතැන් වැඩවල නිරත වුණු හැටි මතක් වුණා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි ඔහුගේ මනසේ ඇඳුණේ ඉබේට ම. ඒත් මේ කොළඹින් ආව අය ඒ ගැන දන්නේ මොනවද? ජීවිතේට කුඹුරක් නොදැකපු, මඩක්, කැත්තක් අත නොගාපු ඔවුන් බත කරන හැටි ගැන නැටුම් පෙන්වනවා. ඒත් කුඹුරු කරන හැටි ගැන හොඳින් ම දන්නා, ඒ අත්දැකීම ඇති උදවිය වේදිකාව පහළ බලාගෙන ඉන්නවා. 1970 ගණන්වලදී එතුමා ලබපු මේ අත්දැකීම සහ සිතුවිලි පෙළ ගේය පද රචනාවක් වුණේ 1983දී. සුනිල් එදිරිසිංහ මහත්මයා තමයි ඒ ගීතය ගායනා කරන්නේ. තමන් ලියපු පළමුවෙනි ගීතයෙන් ම සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියන්න බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා සමත්වුණේ ඒ විදියටයි.
4. මාස්ටර් සර්
"පනම් අටෙන් මට වැඩිකර දුන්න – හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ – අනේ සර් අනුකම්පා නොසිතේදෝ"
නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන මේ ගීතය ලිව්වේ කරුණාරත්න අබේසේකර මහත්මයයි. ඒ කළු දිය දහර චිත්‍රපටයට. හැබැයි මේක ඊට කාලෙකට ඉහතදී ලියවුණු ඉංග්‍රීසි සින්දුවක සිංහල පරිවර්තනයක්. ඇත්ත ම කිව්වොත් මේ ඉංග්‍රීසි ගීතය ලිව්වේ, ගායනා කළේ ශ්‍රී ලාංකිකයෙක්මයි. ඔහු නිමල් මෙන්ඩිස්. ඒ ගීතයේ වචන පෙළ ගැහෙන්නේ මෙන්න මේ විදියට.
"There's a long long way for us to go – Before this struggle war and ever is
When that day will be, I don't know – Master Sir, when can I call you friend?"
නිමල් මෙන්ඩිස් මහත්මයා තමන්ගේ තරුණ කාලේ ගතකළේ එංගලන්තේ. එහෙ සමාජ ශාලාවක පියානෝ ගහලා ජීවිකාව රැක ගත්ත ඔහු හැමදාම තමන් නැවතිලා උන්නු තැනට ආවේ රාත්‍රියට එන අන්තිම බස් එකේ. හැබැයි එක දවසක් ඔහුට බස් එක මිස් වුණා. ඒ නිසා ගෙදර එන්න වුණේ පයින්. ටිකක් දුර මේ විදියට ඇවිදගෙන එද්දී වෑන් එකකින් ආව කීපදෙනෙක් ඔහුව වට කරගෙන පහර දෙන්න වුණා. කළු සුදු වර්ණවාදය සැරට ම තිබුණු කාලයක්. මේ පහරදීම ට හේතුව වුණෙත් නිමල් මෙන්ඩිස් මහත්මයාගේ හමේ පාට කළු වීම. කොහොමින් කොහොමහරි ඔවුන්ගෙන් බේරිලා පැනලා දුවන්න ඔහුට පුළුවන් වුණා. නිමල් මහත්මයා කියන්නේ සුදු ජාතික යාළුවන් හුඟක් හිටියත්, ඒ සිද්ධිය නිසා මුළු එංගලන්තය ම එපා වුණු බවයි.
ටික කාලෙකට පස්සේ, එංගලන්තය අත හැරලා ලංකාවට ආව ඔහු, මස්කෙළියේ නෝටන්බ්‍රිජ්වලට ඇවිත් ඉඩම් අක්කර 10ක් අරගෙන ඒකෙ වගා කරන්න පටන්ගත්තා. මේ වගා බිමේ වැඩට ඉඳපු දෙමළ මිනිස්සු සේරම නිමල් මහත්මයාට කතා කළේ “මාස්ටර්" නමින්. සිංහල මිනිස්සු කතා කළේ “සර්" කියලා. එංගලන්තයෙන් එකතු කරගත්ත වර්ණවාදයේ අත්දැකීම් වගේ ම, ලංකාවේ වර්ගවාදයේ අත්දැකීම් සේරම එකතු කරලා තමයි ඔහු මාස්ටර් ඉංග්‍රීසි ගීතය රචනා කළේ.
සමහර ගීතවල පද රචනාවන් දැක්කම ඒ පිටිපස්සේ මේ වගේ ගැඹුරු කතාවක් නිදන් වෙලා තියෙනවා කියලා හිතන්නත් අමාරුයි නේද යාළුවනේ? තමන් ආසාවෙන් අහන ගීතවල තියෙන මේ වගේ පසුබිම් කතන්දර කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්න තවත් මේ වගේ කතාන්දර තියෙනවා නම්, අපට කියන්න. එතකොට ඒ ගැන තවත් දවසක අපට කතා කරන්න පුළුවන්නේ.