කොවිඩ් නිසා පහුගිය අවුරුද්ද පුරාවටම ටුවර් එකක් යාගන්න බැරුව ගෙදරට හිර වෙලා හිටපු මම මේ අවුරුද්ද ලබපු ගමන්ම වගේ.. ලැබුන නිදහසෙන් හපුතලේ පැත්තෙ රවුමක් ගහන්නයි කල්පනා කලේ.
ඉතින් ඒ කල්පනාව පිට අඩුම කුඩුමත් ලෑස්ති කරගෙන.. අදාළ දවසෙ කොළඹින් පිටත් වුනාට, ගමන නම් ටිකක් පරක්කු වුනා. ඒ නිසාම මම ඇඩිෂම් බංගලාවට කිට්ටු කරනකොට හැන්දෑවෙ 4ට ඔහොම මෙහෙම. වැඩේ කියන්නෙ 4 වෙද්දි ඇඩිෂම් එක බලන්න සංචාරකයන්ට ලැබෙන කාලය ඉවරයිනෙ. දැන් මොකද කරන්නේ.. කියලා කල්පනා කරල, ඉස් ඉස්සෙල්ලාම කොළඹ ඉඳන් ආපු ගමනෙ පොඩි මහන්සි ගතිය නිවෙන්නත් එක්ක එතනම තිබුණු රොටි කඩෙන් රොටියක් කාලා තේකක් බිව්වා.
ඊට පස්සෙනෙ.. බොලේ, මෙන්න ගතහිත පණගැහිලා ඇවිල්ලා.. තේ බොන අතරට කඩේ මාමා කියපු විදිහට තංගමලේ අභය භූමිය මැද්දෙන් වැටිලා තියෙන අඩි පාර දිගේ හෙමින් සැරේ ගමනෙ. හැබැයි ඒකෙ අර දිග කිලෝ මීටර 4ක් වගේ කියපු නිසා මිසක්. ඊටත් අවසානය ඉදල්ගස්හින්න ස්ටේෂම කිව්වනෙ.
කරුමෙක මහත!
අනේ හරි ආසාවෙන් පටන් ගත්ත ගමනෙ.. පැය කාලක් ඇවිදින්න හම්බවුනේ නෑ පටන් ගත්තා කියන්නකො පොද වරුසාවක්…
“වැස්ස නෙවේ අද හෙණ ගෙඩි පිපිරුවත්.. යන එක යනවා”
මගේ හිත කිව්වෙ එච්චරයි.
පාර වැටිලා තියෙන්නේ ඇඩිෂම් බංගලාවට ඇතුල්වෙන ගේට්ටුව ළඟින්ම.. හරියටම කිව්වොත් බංගලාවෙ වැට අයින දිගේ.. ඒ ගිහින් කැලේ පටන් ගනිද්දිම මහ විසාල ටර්පන්ටයින්, පයිනස් රොදක්. අතරට, විඩෙන් විඩේ හුළඟත් එක්ක ඇවිත් ගස් වහගන්න ඝන මීදුම.. අමුතුම ගුප්ත ගතියකුත් එකතු කරලා..
වැහි අඳුරත් එක්ක නිකම් හතර දිග්බාගයම ෂර්වුඩ් වගේ. හැරත් යන ගමනෙ ආපහු හැරිලා බලද්දි රූස්ස පයිනස් ගස් අතරින් පේන බංගලාව?
“මහවන මැද තනිවෙන්න නේද යන්නෙ..”
කොහොම කොහොමින් හරි ෆයිනස් කැලේ ඉවර වෙනවත් එක්කම වනජීවී දෙපාර්තමේන්තුවෙන් තංගමලේ අභයභූමි මායිම නම් කරපු බෝඩ් එක ඉස්සරහට!
ඇත්තටම මේක අභය භූමියක් විදියට නම් කලාට ගොඩක්ම කුරුලු, සමනල් විශේෂ වාසභූමියක් විදියට තමයි පවතින්නෙ. ඉතින්.. ගොඩක් සංචාරකයින් ඒ සත්තු බලන්න මෙතනට එනවා. ඒ ආවාම මගේ ගමනෙදි මට හම්බවුනා වගේම එයාලටත් Yellow eared bul bul, Sri Lankan jungel fowl, Sri Lankan white eye, Sri Lankan hanging parrot වගේ කුරුල්ලො ගොඩක් හම්බුවෙනවා ඇති. හැබැයි ඒ විතරක් නෙවෙයි, ඌව පළාතෙ සුවිශේෂී ශාක වර්ග, ලංකාවට ආවේණික ශාක වර්ගත් ගොඩක් මේ කැලේ පුරාවටම පැතිරිලා තියෙනවා.
ගමන පුරාම වැටිච්ච වැස්ස නිසා අඩි පාරවල් නම් හැම එකක්ම වගේ කුඩා දිය පාරවල් වෙලා. පැහැදිලි වතුර ගලාගෙන ගියාට, හරියටම අඩිය තියන්න ඕන පාර හොයාගන්නත් ටිකක් අමාරුයි. හැරත් ඒ අතරට දර කඩන්න ආ ගිය අයගෙ අඩි පාරවලුත් කවලමේනෙ. වැල්ගොමු, බඩවැටි සේරමත් වැස්සට පාත්වෙලා. සමහර තැන් තිබ්බා බඩගාගෙන වගේ ගොඩ වෙන්න තිබ්බෙ. හැබැයි වැස්සෙන් ගමන දුෂ්කර කලාට තංගමලේ මැදින් ඉදල්ගස්හින්න කඳු මුදුනට ලංකරද්දිනෙ..
ෂෑහ්…!
ළගින් ළගින් පිහිටපු රූස්ස ගස් වෙනුවට තනිකරම ඈතින් ඈතට, වෙන් වෙන්ව පිහිටපු පඳුරු විතරයි. ඒකත් ඌවෙ සුලභව දකින්න තියෙන තෘණ වර්ග. ඉතින්.. ළා කොළ පාටට කඳු මුදුන් තලයම දිස්න දෙනවා.
කඳු මුදුනෙනුත් එපිටට, හෙමින් සැරේ රේල් පාරට බහින්ට..
අතර මගත් දිගටම වැස්ස.. නිසාම ගමන නම් වෙහෙසකරම එකක් වුණා. ඒ මහන්සිය නිවා ගන්නයි ඉදල්ගස්හින්න ස්ටේෂමේ ඉඳගෙන අතේ ඉතුරු වෙලා තිබ්බ බිස්කට් ටික බඩට දාගත්තෙ.
බිස්කට් වේලෙන් පස්සෙ ඉතින්.. රේල් පාර දිගේ හපුතලේට ගමන. හැබැයි ඒ වෙද්දි රෑ අඳුරත් පේන්න නොපෙනෙන්න. වැඩේ වුනේ අඳුරත් එක්ක ආපහු මාව හොයාගෙන ආපු අනෝරාවනෙ! තව පොඩ්ඩෙන් පැත්ත දෙපැත්ත පවා මාරුවෙනවා. වෙලාවට ෆෝන් එකේ ලාවට මැප් අහුවුනේ.
කොහොමහරි ඒ විදියට අපි හපුතලේට කිට්ටු කරනකොට රෑ හතටත් කිට්ටුයි. වැඩේ කියන්නෙ ඒ එක්කම වගේ ආවනෙ බදුලු කෝච්චියත් නිකම් විහිලුවක් කරන ගානට..
“හයියෝ..” කියල හිතුන ඒ වෙලාවෙ නම් මට!
අන්තිමට ඉතින් ඉතුරු වුනේ නම්..
සුන්දර මතක ගොන්නක් එක්ක..
තෙතබරිත ඇඳුම් ටිකක් විතරයි ඔ්ං.. හ්ම්..!