Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

වයස අවුරුදු 26දි.. ලක්ෂක් පඩිගන්න නයිට් කඩේ රයිස් බාස්!

පඩි බේරන්නෙ නෑ වෙලාවට, නිවාඩුවක් ගන්න දෙන්නෙම…

Posted by

කාටත් හිනාවෙලා කතාකරන, කොච්චර වැඩ තිබ්බත් එහෙන් මෙහෙන් ගහල දාලා එපා කරවන්නෙ නැති අමුතු කොල්ලෙක්..

මුණ ගැහුනෙ හැම සිකුරාදම වගේ ගොඩවෙන හංදියෙ නයිට් කඩේදි. කොහොමහරී.. දෙවනි තුන්වෙනි සතිය වගේ යද්දි කොල්ලට මගේ ඩයල් එක හොඳට හුරුයි.

“අයියෙ! ඉතින්..

බිත්තර නේ? ෆුල් එකක් දාන්නද හාෆ් එකක් දාන්නද?”

“අද.. ෆුල් එකක් දාන්න මල්ලි”

ඔය විදියට.. සති ගණන්, මාස ගණන් ගියා. කොල්ලත්, මාත් එක්කයි, මගේ යාළුවත් එක්කයි හොඳටම ෆිට් වුනා. කොටින්ම කියනව නම් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ, පහු පහු වේගෙන එද්දි අපිව පෝලිම් වලවත් තිබ්බෙ නෑ.

ඔහොම කාලෙ ගෙවෙන අතරට.. දවසක් අපි ඩබල කන් සාක්කුවෙ දාගන්න ගහල නයිට් කඩේට ගොඩවුනා පාන්දර 1ට විතර. ගොඩවෙලා පුරුද්දට ගියේ අපේ රයිස් මල්ලි ඉන්න පැත්තට. ගිහින් බලද්දි කොල්ල එතනම බංකු දෙකක් දාගෙන පොඩ්ඩක් ඇලවෙලා..

මහන්සියට වෙන්න ඇති කියල හිතල අපිත් කරදර කලේ නෑ. ආපහු ඇවිත් මේසෙට වාඩිවෙලා වේටර්ටම දැම්ම ඔ්ඩරේ.. ‘චිකන් රයිස් එකක්’

හැබැයි කවදාවත් නැතුව එදා රයිස් එක ගෙනාවෙ කොල්ලමයි.

“අයියෙ, පොඩ්ඩක් නින්ද ගියා අනේ.. අද නිකම් ඇඟට ටිකක් හරි නෑ වගේ”

“හප්පට.. ඒමද මල්ලි. ඉතින් නිවාඩුවක් ගන්න එපෑ..”

“නෑ අයියෙ මේ උදේ ඉඳන් පොඩ්ඩක් අවුල් වගේ තිබ්බ. ඒත් හවස තමා ටිකක් වැඩිවුනේ. කඩේ වැඩ බාගෙට දුවන අතරෙ දාලා යන්නත් බෑනෙ. අනික හවසට රයිස් කොත්තු ටික හරියට ආවෙ නැත්නම් එදාට බිස්නස් නෑ වගේ තමා”

“ඒක නම් සහතික ඇත්ත මල්ලි. මොකද ඔයා අර අවුරුදු නිවාඩුවට එහෙම ගියපු දවස් ටිකේ අපි මේ පැත්ත පලාතක ආවෙ නෑ.

ඒක නෙවෙයි මල්ලි මෙච්චර කාලෙකට ඔයා අපිත් එක්ක ෆිට් වෙලා හිටියට ඉතින් අඩුම තරමෙ ඔයාගෙ විස්තරයක්වත් දන්නෙ නෑනෙ අපි. කඩේ සෙනඟත් නැති නිසා වාඩිවෙන්නකො කිට්ටුවෙන්. තෙහෙට්ටුව ඇරිල යන්න දාමුද පොඩි චැට් එකක්.

මේ.. ඒක නෙවෙයි, මොනවහරි කරනවද මල්ලි. අපි ලඟ බියර් ටිකක් එහෙම තියෙනව”

“අනේ දැන් බෑ අයියෙ. මම 2ට ඉවරයි. ඊට පස්සෙ නිදි තමයි. මම බියර් නම් බොනව හැබැයි අද බෑ. හෙට සෙනසුරාදනෙ. උදේ නැගිට්ටාම වැඩ කෝටියයි”

“හෑ.. ඒ කියන්නෙ මල්ලි? උදේට ඔයා රයිස් කොත්තු වලට ඔ්න දේවල් ලෑස්ති කරල තියනවද? නැත්නම්..”

“නෑ නෑ අයියෙ. මම රයිස් කොත්තු දානව විතරක් නෙවෙයි. අනිත් කෑම ඔක්කොමත් බලනව. මාත් එක්ක වැඩට ඉන්නව 6 දෙනෙක්. අපි තමයි දවල් එකයි රෑ එකයි බලන්නෙ. හැබැයි අපේ බොසා මට කිව්ව පුලුවන් නම් උදේ කෑම ටිකත් නග්ගල ගන්න කියල. ඉතින් මම කල්පනා කලා මේ හරියෙ අනිත් කඩවල නැති ඔය කිරිමාලු, පිට්ටු, ආප්ප වගේ ටිකක් උදේට දාන්න. ම්.. දැන් සති 2ට විතර කලින් පටන් ගත්ත වැඩේ. දැන් දැන් කට්ටිය පොඩ්ඩක් උදේටත් එනව. ඉතින් උයන කෑම බුෆේ එකට දාන්න කලින් මම බලන්න ඔ්න, ඒකයි”

“මල්ලි උඹ..

පට්ට පොරක්නෙ බං. ඒ කියන්නෙ ඔයා තමයි කඩේ චෙෆ්!”

අමුතුම හිනාවක් එක්ක.. “හිහ්.. ඒ වගේ තමා අයියෙ. ඒත් හැබැයි එහෙමත් නෑ. අපි ඔක්කොම යාළුවො වගේ වැඩ. බොස් වුනත් එහෙමනෙ. කට්ටිය අඩු වෙච්ච දවසට එයත් බහිනව උයන්න. අපි එහෙම තමා..”

එතනින් පස්සෙ නම් යාළු අපි දෙන්නටම කතාව මාර ඉන්ටරස්ටින්ග් වුනා. ඊටත් කඩෙත් වහන්න කිට්ටු නිසා සෙනඟත් නෑ. ඔක්කොමත් හරි අපිත් ගසලනෙ නසරාණි වෙන්න..

“මල්ලි මෙහෙමයි. දැන් නං ඔයාගෙ කතාව අපිට කෙටියෙන් හරි අහන්න ඔ්න. කියන්නකො ගෙවල් කොහෙද කියල”

“හ හ.. අයියෙ. ඒකෙ එච්චර ලොකු කතාවක් නෑ. ඇත්තටම මගේ ගෙවල් දික්ඔය. කොළඹ ඇවිල්ල දැන් අවුරුදු 5කට කිට්ටුයි. මුලින්ම වැඩකලේ පෑලියගොඩ ස්ටෝරුවක. ඒ වැඩකරන කාලෙ බෝඩ් වෙලා හිටියෙ අපේ අයිය කෙනෙක්ගෙ ගෙදර. ටිකක් දුරින් නෑදෑ කෙනෙකුත් වෙනව. ඒ බෝඩිම කිට්ටුව තිබ්බ රයිස් කඩයක්. ඉස්සර මම කන්නෙ ඔතනින්මයි. හැබැයි රස්සාව මාස 8ක් විතර කරගෙන යද්දි මට පොඩි කේස් එකක් වුනා. මම නයිට් එකේ ඉඳපු දවසක සුපර්වයිසර් මහත්තයෙක්ගෙ ෆෝන් එකක් නැතිවෙලා, ඒකට අපේ 6 දෙනෙක් අයින් කලා. හපෝ.. තව පොඩ්ඩෙන් හිරේ..

ඊට පස්සෙ මම ආයෙ ගමේ යන්න හැදුවෙ. මොනව කරන්නද කියල අයිඩියා එකක් තිබ්බෙත් නැති නිසා. ඒත් ගෙදරින් ආවෙත් තාත්ත එක්ක කේස් දාගෙන නිසා, පස්සෙ කල්පනා කලා කොළඹටම වෙලා මොකක් හරි කරනව කියල. ඒ හිතල ගිහින් තමයි රයිස් කඩේ අයියගෙන් අහල ගෝලයට සෙට්වුනේ. එහෙම සෙට්වෙලා ඉතින්.. අවුරුදු 2ක් විතරම වැඩ කලා. හැබැයි ඒ කඩේ අන්තිම කාලෙ හෙන අවුල්. අයිතිකාරය වත්තෙ හෙන කේස් කාරයෙක්. තව පොඩ්ඩෙන් දවසක් අපිටත් එක්ක පෝරියල් එක වදිනව. මොකක්ද පරණ කෝන්තරේකට සෙට් එකක් ඇවිල්ල කඩේ කුඩු කරල.. 

බුදු අම්මෝ.. මම අඬාගෙන දිව්වෙ ටී ෂර්ට් එකත් නැතුව. දුවල ගිහිල්ල අයියගෙ බෝඩිමට වෙලා සතියක් විතර හිටිය එළියටවත් බහින්නෙ නැතුව, බය වෙච්ච පාරට. කොහොමහරි වාසිය තිබ්බෙ අයියෙ, මට ඒ වෙද්දි හොඳට රයිස් කොත්තු වැඩ පුලුවන්. මොකද බාස් ගමේ ගියාම මමනෙ වැඩ බැලුවෙ. ඉතින් අයිය මට සෙට් කලා ආයෙ රයිස් කඩේක වැඩක් රාජගිරියෙ. එතන.. ඇත්තටම හරි ගියේම නෑ. පඩි බේරන්නෙ නෑ වෙලාවට, නිවාඩුවක් ගන්න දෙන්නෙම නෑ. නිකම් ගහගන්න වගේ එන්නෙ ඒකෙ බොස්. මට ඉතින් හරියට දුක හිතෙනව එහෙම වුනාම. ඇයි අප්ප කර කියාගන්න දෙයක් නෑනෙ අයියෙ අපිටත්. දන්න අඳුනන කවුරුත් ඇත්තෙත් නෑ..

අර රස්සාවක් නැති කමට හිටිය මිසක්.. 

දවසක් කොහොමහරි ඔයාල වගේම, මම ඉන්නව විතරක් නම් රයිස් ගෙනියන මහත්තයෙක්, මේ වගේම රෑක ඇවිල්ල කාලා බීලා කතා කරල එයාගෙ නොම්මරේ දීලා ගියා මොනවහරි උදව්වක් ඔ්න නම් කියන්න කියල. ඉතින් මම එයාට පස්සෙ කතා කරල කිව්ව, මහත්තය මට මෙහෙම මෙහෙම දේවල් උයන්න පුලුවන්. පුලුවන් නම් ටිකක් හොඳ තැනක අඩු පඩියට හරි කමක් නෑ වැඩක් හොයල දෙන්න කියල.

සතියක් ගියේ නෑ අයියෙ, කෝල් එකක් ආවා එයා එනව කියල මාව ගන්න වාහනෙන්. මාත් ගියා පාරට. ගිහිල්ල එයා කෙලින්ම එක්කගෙන ආවෙ මෙතන මීට කලින් තිබ්බ කඩේ.. අර මංජු මහත්තයගෙ.. එයා ලඟට. ඇවිල්ල මට වැඩ කරන්න කියල, කඩේ උඩම නවාතැන් දීලා මාව තියාගත්ත. ඒ දවස්වල අයියලට මතකද දන්නෑ මං තමයි ආප්ප දාන්න හිටියෙ. මාමා කෙනෙක් හිටියෙ අර සරම ගහල රයිස් දාන්න..

මංජු මහත්තය ඊට පස්සෙ කඩේ වහල රට ගියානෙ. ඒ යද්දි එයාගෙම නෑයෙක් වෙන්න ඔ්න මං හිතන්නෙ ප්‍රේමෙ අයියත්, ඔය දැන් කඩේ කරන. එයා මාර හොඳයි ආ.. එයා මේ කඩේ පටන් අරගත්ත දවසෙ ඉඳන් අද වෙනකම් වැඩට ආපු කට්ටියගෙන් ගිහින් තියෙන්නෙ දෙන්නයි. අපිට බෝනසුත් දෙනව අයියෙ අවුරුද්දට. ඇඳුම් අරන් දෙනව. මේ අවුරුද්දෙ ඉඳන් අපි ට්‍රිප් එකකුත් යන්න ඉන්නෙ…”

කියල කතාව තව පොඩ්ඩක් දිගට ගියා. මොකද කඩේ වහන්නෙ නැතුව බලාගෙන හිටියනෙ අපි යනකම්. කොහොමහරි ඔය අතරට තමයි මල්ලිගෙ පඩියත් එළියට ආවෙ, හ්ම්…!

Leave a comment