Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

කොරෝනා වසංගතය මධ්‍යයේ රට රටවල් වෙසක් සමරන හැටි

මෙවර වෙසක් වෙනදාට වඩා වෙනස්

Posted by

බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවීම සංකේතවත් කරන වෙසක් උත්සවය, සාමාන්‍යයෙන් ලොව විවිධ රටවල බෞද්ධයන් උත්සවශ්‍රීයෙන් සමරනවා. ඒත් මේ අවුරුද්දේ ලොව පුරා පැතිරිලා තියන කොරෝනා වසංගතය හේතුවෙන් වෙසක් සැමරුම් ඒ තරම් උත්සවාකාරයෙන් සිදු කරන්න හැකියාවක් නෑ. ඒ නිසා මෙවර වෙසක් වෙනදාට වඩා වෙනස්..

රූපය: www.hindustantimes.com

වෙසක් උත්සවය ජාත්‍යන්තර උත්සවයක් වශයෙන් ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මහා සභාව මඟින් නිල වශයෙන් පිළිගැනීමට ලක් වුණේ 1999 වසරේදී. ඉන් පසුව 2000 වසරේදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ප්‍රථම වෙසක් සැමරුම පැවැත්වුණා. මෙවර තායිලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම කොරෝනා වසංගතය හේතු කොටගෙන අවලංගු කිරීමට, වෙසක් දිනය පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය හෙවත් International Council for the Day of Vesak (ICDV) විසින් තීරණය කරනු ලැබුවා.

ලොව පුරා බෞද්ධයන් වෙත වෙසක් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරස් විසින් සිදු කරන ලද ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේයි.

“ලොව පුරා විසිරී සිටින වෙසක් උත්සවය සමරන මිලියන ගණනක් බෞද්ධ බැතිමතුන් වෙත මම සුබ පැතුම් එක් කරනවා. බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවීම සමරනු සේම අපට උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් ද ආලෝකය ලැබිය හැකියි. මුළුමහත් මානව පවුල ම කොවිඩ්-19 වසංගතයෙන් පීඩා විඳින මේ මොහොතේ, එය ව්‍යාප්තිය පාලනය කිරීමට සහ ඉන් මිදීමට හැකි වන්නේ සියලු දෙනාගේ සහයෝගයෙන් පමණයි. ඉතින් මේ වෙසක් දිනයේදී අන්‍යයන් සමග කරුණාවෙන්, සමගියෙන් විසීමට සහ සාමය රජයන ලොවක් ගොඩනැඟීමට කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.”

ඉතින්, කොරෝනා වසංගතය මධ්‍යයේ එක් එක් රටවල බෞද්ධයන් මේ අවුරුද්දේ වෙසක් උත්සවය සැමරූ ආකාරයයි මේ..

ඉන්දියාව

රූපය: www.buddhistdoor.net

මේ වන විට රට වසා දමන්නට ඉන්දීය බලධාරීන් කටයුතු යොදා තිබෙන නිසා මෙවර වෙසක් උත්සවය වෙනදා තරම් උත්කර්ෂයෙන් පැවැත්වුණේ නෑ. බුද්ධගයාවේ වෙසක් දින සැමරුම ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කරන්නට බුද්ධගයාහි කළමනාකාර කමිටුව පියවර ගෙන තිබුණා. ඊට අමතරව විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ධර්ම සාකච්ඡා මෙහෙයවන්නට ඉන්දීය ජාතික බෞද්ධයන් කටයුතු කළා.

බංග්ලාදේශය

පොදු ස්ථානවලට ඒකරාශී වීමෙන් තොරව සරලව සහ සහයෝගයෙන් වෙසක් දිනය සමරන ලෙස බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් සහ අගමැති ෂෙයික් හසීනා සිය රටවැසියන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් මේ බව පැවසුවේ වෙසක් උත්සවය නිමිත්තෙන් බෞද්ධයින්ට සුබ පැතුම් පණිවිඩ නිකුත් කරමින්.

තායිලන්තය

පන්සල්වල වෙසක් උත්සව පැවැත්වීමට භික්ෂූන්ට පමණක් තායිලන්ත බලධාරීන් ඉඩ ලබා දී තිබුණත්, ඒවා කළ යුත්තේ දුරස්ථකරණ පියවර අනුගමනය කරමින්. නිවෙස්වල සිට ධර්ම දේශනයන්ට සවන් දීමටත්, බණ භාවනා කිරීමටත් බැතිමතුන්ට උපදෙස් දී තිබෙනවා.

වියට්නාමය

වියට්නාමයේ වෙසක් සැමරුම වියට්නාම් බෞද්ධ සංඝ මධ්‍යම කමිටු මූලස්ථානයේ පැවැත්වෙනු ඇති බව එරට ප්‍රවෘත්ති වාර්තා කළා. එය යූටියුබ්, ෆේස්බුක් වැනි වේදිකා මඟින් එරට බෞද්ධ භක්තිකයන්ට ප්‍රදර්ශනය කෙරෙනවා. සැමරුම් සඳහා 20 දෙනෙකුට වැඩි පිරිසක් රැස් කිරීමෙන් වළකින ලෙස පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව

අපේ රටෙත් වෙනදා වගේ ධර්ම දේශනා, සිල් සමාදන් වීමේ වැඩසටහන්, දන්සල් වගේ දේවල් මෙවර පවත්වන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. ඒ වෙනුවට පවුලේ හැමෝම එකට එකතු වෙලා පුළුවන් විදිහට වෙසක් කූඩු හදනවා දකින්න ලැබුණා. ටීවී එකෙන් රේඩියෝ එකෙන් වගේ ම අන්තර්ජාලෙනුත් ධර්ම දේශනාවලට සවන් දෙන්න පුළුවන්කම ලැබුණා.

තායිවානය

1966 දී චෙන්ග් යෙන් නම් බෞද්ධ භික්ෂුව විසින් අරඹන ලද ජාත්‍යන්තර සංවිධානයක් වන තායිවානයේ ට්සු චි පදනම වෙසක් දිනයේදී සිදු කෙරෙන බුදුන් දෝවනය කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය ඉටු කිරීම සඳහා අලුත් වෙබ් අඩවියක් හඳුන්වා දුන්නා. එමඟින් බැතිමතුන්ට නිවසේ සිට ම සජීවීව මේ හා සම්බන්ධ විය හැකියි. “බුදුන් දෝවනය කිරීමේ චාරිත්‍රය නිවසේ සිට ම ඉටු කිරීම මඟින් අපි අදහස් කරන්නේ හුදු චාරිත්‍රය ඉටු කිරීම ම නොවෙයි. බැතිමතුන් කළ යුත්තේ එයින් අර්ථවත් වන සැබෑ අදහස හිතට ගැනීමයි.” එම සංවිධානය ප්‍රකාශ කළා.

මැලේසියාව

සාම්ප්‍රදායික වෙසක් සැමරුම් අවලංගු කිරීමට සිදු වීම නිසා මැලේසියානු බෞද්ධ සංගමය බැතිමතුන්ට නිවසේ සිට ම සහභාගි විය හැකි ඔන්ලයින් වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබෙනවා. බුදුන් දෝවනය, පිරිත් සජ්ඣායනය, ධර්ම සාකච්ඡා යනාදිය මීට අයත්. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන වටහාගනිමින් සිය අධ්‍යාත්මය වෙත අවධානය යොමු කිරීමට බැතිමතුන්ට මෙමඟින් හැකි වෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

 

කවරයේ ඡායාරූපය: www.hindustantimes.com
Leave a comment